[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විඳිය යුතු ජීවිතය විඳවන හැටි ...

විඳිය යුතු ජීවිතය විඳවන හැටි ...

පුද්ගලයකු පිරිහීමට හේතුවන කාරණා අතර මත්ද්‍රව්‍ය මත්පැන් පානය ප්‍රධාන වේ. පරාභව සූත්‍රයට අනුව එය පිරිහීමට කාරණාවකි. සංයුත්ත නිකායේ සුරාමේරය සූත්‍ර දේශනාවට අනුව රහ මෙර පානයෙන් ඉවත්වූ සත්වයන් ඉතා අල්ප ය.

බොහෝ පිරිසක් රහමෙර පානයට ඇබ්බැහි වන්නේ ආර්ය සත්‍ය නොදැනීම මත ය. භද්‍රඝට ජාතකයට අනුව යමෙක් සුරාවෙන් මත්වූයේ ද ඔහු ප්‍රමාද වේ. ඔහු නග්නව වැනසීමට පත්වේ.

පංච ශීලයෙහි අවසාන ශික්ෂාපදයෙන් මත්ද්‍රව්‍ය, මත්වතුර පානයෙන් ඉවත්වීම මෙන් ම එසේ කිරීමේ ආදීනව දක්වා ඇත. ශික්ෂාපදයක ආදීනව දක්වා ඇති එකම ශික්ෂාව ද මෙම ශික්ෂාවයි.

මදයට හා ප්‍රමාදයට පත්වීම රහමෙර පානයෙන් සිදුවේ. ලෝකයේ ජීවිතය විඳපු සියල්ලෝ ම ජීවිතය විඳින ලද්දේ සිහියෙන් හා බුද්ධියෙනි. සුරාපාන ජාතකයට අනුව ද සඳහන් වන්නේ ජීවිතය විඳීම නොව විඳවීමයි. නර්තනය, ගායනය, නුසුදුසු ක්‍රියා, නුසුදුසු කථා සභාවට පැමිණෙන්නේ බීමත් බව නිසාමයි.

මංගල සම්මත බොහෝ අවස්ථාවන් අවමංගල අවස්ථා බවට පත්වීම සඳහා මත්පැන්වලට ගතවන්නේ ස්වල්ප වේලාවකි.

වර්තමානය වන විට ළමා සහ තරුණ පරපුර ගිලගත් ප්‍රධානතම වසංගතය මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයයි. මිනිසුන් නොමිනිසුන් කොට දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමට මත් රකුසා සමත්වී ඇත. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය, මත්වතුර සඳහා වීරත්වයක් ආරෝපණය කිරීමයි.

එහිදී දෙමාපියන්ගේ කාර්යභාරය සුවිශේෂී වේ. මන්දයත් ඇතැම් දෙමාපියන්, තමන්ගේ මංගල අවමංගල අවස්ථා සඳහා මත්ද්‍රව්‍ය යොදාගැනීම සහ දරුවන්ගේ උපන්දින වෙනුවෙන් ද මත්ද්‍රව්‍ය මත් වතුර යොදා ගැනීමට කටයුතු කිරීමයි. ඒ තුළ එය සංස්කෘතියේ අංගයක් ලෙස දෙසැම්බර් 31 ජනවාර් 01 අපේ‍්‍රල් සිංහල අලුත් අවුරුද්ද සැලකිය හැකි වේ.

අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ දී සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය භාවිතකිරීම ළමා වයසේ සිටින දරුවන් නිරන්තරව දකිනු ලබයි. එහිදී ඔවුන් සිතනුයේ මත්පැන් පානය අවුරුදු චාරිත්‍රවල කොටසක් බව ය. එවන් පසුබිමක තම දරුවන්ට මත්පැන් අගුණ අකැප දෙයක් ලෙස පෙන්වාදිය නොහැකි වේ. අවසානයේ දී දෙමාපියන් පවා තැවීමට පත්වේ.

පාසල් වෑන් රථවල ඇතැම් රියදුරුවරු, වැඩිහිටි වයසේ පසුවන ඇතැම් අය මෙන් ම කුලී රථ රියදුරුවරු මේ තත්වයට වගකිවයුතු වේ. ඔවුන් ද තමන්ගේ දරුවන්ගේ කුස පිරවීම සඳහා තවත් දරුවන් බිළිදීමට කටයුතු කරනු ලැබේ. ඔවුන් එසේ සිදුකරනුයේ පව පින පිළිබඳ කර්ම, කර්මඵල පිළිබඳ ඇති අනවබෝධය නිසා ය.

මත්පැන්, මත්ද්‍රව්‍ය සඳහා කෙනකු ඇබ්බැහිවීම සඳහා හේතු කාරණා රාශියක් පවතී. විශේෂයෙන් තරුණ වයසේ දී ඒ තත්වය බොහෝ සෙයින් වැඩි වේ. එම කාරණා අතර ආත්ම අභිමානයේ දුබලතා බලපානු ලැබේ. ඔහු තමන්ගේ හැසිරීමේ හානිකර තත්වයන් සැලකිල්ලට නොගනී. ඔහුට සමාජීය වශයෙන් හුදකලා වීමට ලැබේ. මේ තත්වය දෙමාපියන් හඳුනාගත යුතු වේ.

නිවසේ හා දෙමාපියන් අතර ඇතිවන විරසක භාවයන් මත කම්පනයන් ඇතිවේ. එහිදී එය අමතක කිරීමට මත්ද්‍රව්‍ය පරිභෝජනයට යොමු වේ. මේ සඳහා මිත්‍රයන් ද ඇතැම්විට බලපෑමක් වේ.

ඇතැම් රෝගාබාධ මත එයින් කෙටි කාලීන සැනසීමක් සිදුවනවා ය යන ආකල්පය නිසා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වේ. ඇතැම්විට මත්ද්‍රව්‍ය තුළින් සිදුනොවන දෑ සිදුවෙතැයි යන හැඟීම ඇතිවීම හෝ ඇතිකිරීම මෙයට හේතුවක් විය හැකි ය. උදාහරණ පාවෙන සැහැල්ලුබව, පාට පාට හීන පෙනීම ඒ අතර ප්‍රධාන වේ.

අවධානය සහ සෙනෙහස නැති වීම සහ අක්‍රිය පරිසරය මේ සඳහා හේතුවකි. එමෙන් ම මත්ද්‍රව්‍ය සඳහා යොමුවූ පවුල් ආශ්‍රයේ හැදී වැඩීම, ජාන මත ද, මේ සඳහා ඇබ්බැහිවීම් සිදුවිය හැකි ය. එහෙයින් වාසනාවන්ත දරුවන් අපේක්ෂා කරන දෙමවුපියන් මෙයින් වැළකීම ඉතාම වැදගත් වේ.

බාල, තරුණ, සියල්ලෝ ම හඳුනාගත යුතු ප්‍රධාන කාරණය වන්නේ මත්ද්‍රව්‍ය තුළ මහත් ප්‍රතිවිපාක ඇතිවන බව ය. ඒ අතර ශාරිරික සෞඛ්‍යය පිරිහීම, බෝවන රෝග සහ බෝනොවන රෝග ඇතිවීමේ වැඩිඉඩකඩ, දේපළ, විනාශවීම ස්වයං පාලනයක් නොමැතිවීම, සමාජ අපකීර්තිය ඇතිවීම ප්‍රමුඛ වේ.

යසලාලකතිස්ස රජුට ඔටුන්න පමණක් නොව ජීවිතය පවා අහිමි වන්නේ බේබදුකම නිසා ය. සිංහලේ අවසාන රජුට රාජකීයත්වය අහිමිවීම සඳහා මත්පැන් පානය ද යම්තාක් දුරකට බලපෑම් විය.

බුදු දහමට අනුව සලකා බැලීමේ දී තථාගතයන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී දක්වන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන අයහපත් විපාක 06ක් ඇති බව ය. මෙම කාරණා වර්තමාන ලෝකය තුළ අපට ඇස් පනා පිට දැකිය හැකි ලක්ෂණයන් ය.

බුදුරජාණන් වහන්සේ මෙම කාරණා දේශනා කළේ වසර 2600කට පෙර ය. එම කරුණු මෙසේ ය.

ක්ෂණිකව සිදුවන ධන හානිය, වියවුල් අධිකවීම, සෞඛ්‍යය පිරිහීම, අපකීර්තියට ලක්වීම, අසභ්‍ය චර්යාවන්ට පෙළඹවීම, චින්තන ශක්තිය පිරිහීම ය.

සාගත තෙරුන් මත්පැන් නිසා අපහසුතාවට පත්වූ ආකාරය බෞද්ධ ඉතිහාසය සාක්ෂි දරයි. විෂඝෝර සර්පයකු තම ඍද්ධියෙන් දමනය කළ උන්වහන්සේට ගම්වැසියෝ මධුවිතෙන් සංග්‍රහ කළහ. ඉන්පසු කසල ගොඩට ඇදවැටුණු සාගත හිමියන් අනෙක් භික්ෂූන් විසින් වත්තම්කොට ගෙන බුදුරදුන් සමීපයට ගෙන ගියහ.

එහිදී තථාගතයන් වහන්සේ සාගත හිමියන් පෙන්වා භික්ෂූන්ගෙන් විමසනුයේ මේ මොහොතේ සාගත හිමියන්ට සර්පයෙක් තියා ගැරඬියකුවත් දමනය කළ හැකි ද යන්නයි.

මෙයින් පැහැදිලි වන්නේ ඕනෑම යහපත් කෙනකු විනාශයට පත්වීම සඳහා මත්පැන්, මත්ද්‍රව්‍යයන්ට ගතවන්නේ ඉතා අල්ප කාලයක් බව ය. ශූථපාණි ජාතකය තුළින් ඉහත කාරණයට සමාන අදහසක් ජාතක පාලියෙහි දක්වා ඇත. මෙයින් කියැවෙන්නේ මද්‍යසාරයෙන් මත්වී කට පරිස්සම් කර ගැනීමට නොහැකිව විනාශ වන මැස්සකු පිළිබඳවයි. මේ හා සමාන චරිත වර්තමානයේ ද ඉතා සුලබ වේ.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]