[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ

කොළඹ කොටුව, ලෝටස් පාර ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරස්ථානය හා ඉත්තදෙමලිය පුරාණ විහාරය යන උභය විහාරාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදුකරන ලෝක ශාසනික සාමාජික හා අධ්‍යාපනික සේවාව ඇගයීම් වස් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහා නායක හිමි ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් ප්‍රදානය කරන ලද සද්ධර්ම කීර්ති ශ්‍රී චන්දජෝති යන ගෞරව නාම සම්මුතිය සහිත දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝ නායක පදවියට අදාළ අක්ත පත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය පසුගියදා 9.00 කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී තෛ‍්‍රනිකායික නාහිමිවරුන් ප්‍රමුඛ සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.

කොළඹ හුණුපිටිය ගංගාරාම ඥානේශ්වර පිරිවෙනෙහි පරිවේණාධිපති රාජකීය පණ්ඩිත විතාරන්දෙණියේ චන්‍දජෝති නායක ස්වාමීන්ද්‍රයන්ගේ ශිෂ්‍යයකු වශයෙන් 1966 අප්‍රේල් මස 07 වැනි දින ප්‍රව්‍රජ්‍යා භූමියට පත් කරන ලදී.

1972 ජුනි මස 17 වැනි දින මල්වතු මහා විහාරයේ දී එවකට සංඝරාජ පරිවෙණාධිපති විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත ගෞරවාර්‍හ සිරිමල්වත්තේ ආනන්‍දාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යායව උඳුරව විනයාචාර්ය රාජකීර්ති ශ්‍රී සිද්ධාර්‍ත්‍ථ පෙමානන්‍දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දොරටියාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන දෙනම කර්මාචාර්යව විතාරන්දෙණියේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති පණ්ඩිත පලපත ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ විතාරන්දෙණියේ නායක හාමුදුරුවන් වහන්සේ යන දෙනම ආචාර්යව අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලබන ලදී.

1975 වර්ෂයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ.

1984 දී ඉන්දියාවේ සුප්‍රසිද්ධ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් එම විශ්වවිද්‍යාලයෙන් ම ආචාර්ය උපාධිය වර්ෂ 1987 දී දිනා ගත්හ.

1992 වර්ෂයේ පශ්චාත් උපාධි අධ්‍යාපන (ඩිප්ලෝමා ) විභාගයෙන් ද සමත් වී තිබේ.

1997 ඔක්. 15 දින (වප් පුරපසළොස්වක පොහෝ දින) අපවත් වීම නිසා 1997 ඔක්තෝබර් 16 වැනි දින සිට කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය ප්‍රමුඛ විහාරස්ථාන හතරක අධිපතිධුර භාර ගැනීමට සිදු විය. ඉත්තදෙමලිය පුරාණ විහාරය, මිද්දෙණියේ කුඩගල්ආර ශ්‍රී බෝධිරාජාරාමය සහ කටුවන හොරවින්න ශ්‍රී සුධර්මාරාමය යන විහාරස්ථානයන්හි භාරකාරිත්වය තම ශිෂ්‍යයන් වහන්සේලා තෙනමකට පවරා දීම විශේෂ ය. තමන් වහන්සේ වැඩ සිටින කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ අධිපති තනතුරට පත් වූ පසු එහි ධාතු මන්දිරය, විහාර මන්දිරය, කෞතුකාගාරය සහ ධර්මශාලාව සහිත සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, පැරණි සංඝාවාස ගොඩනැඟිල්ලේ දිගුවක් ලෙස අලුතින් ම තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකොට නේවාසික පහසුකම් පුළුල් කිරීමත් ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සිදු කොට තිබෙනු දැකීම විස්මයජනක ය.

තමා ඉපදී කුඩා කල උගෙන පැවිදි වූ ගම් පියෙස වූ ඉත්තදෙමලිය ගමේ පාසලට තමා මූලිකත්වය ගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකරවා පරිත්‍යාග කිරීම හා පානීය ජල පහසුකම් සැපයීම අත්‍යුදාර සමාජ සේවයකි. පාසල් සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන සිසුනට ලිපි ද්‍රව්‍ය සපයා ගැනීම ද ඉතා අපහසු ය. එහෙත් අප නාහිමියන් තමාට ශක්ති ප්‍රමාණයෙන් වාර්ෂිකව සිසුන් දහසකට අධික ප්‍රමාණයකට ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම මේ දක්වා අඛණ්ඩව සිදු කරනු ලැබීමත් උන්වහන්සේගේ සමාජ සේවාවකි. මෙයට අමතරව උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව ලබා දීම,හිසට සෙවණක් අහිමි ජනයාට නිවාස ඉදිකර ගැනීමට උපකාර කිරීම ප්‍රසංශා කටයුතුය.

පිටිසර ගමක ඉපදී සිරිලක වාණිජ අගනගරයේ හදවත වන් කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය වැනි විහාරස්ථානයක අධිපතීන් වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂුවක වීමටත් ඉගෙනීමෙන් ආචාර්ය උපාධිය දක්වා උපරිම තලයට පත්වීමටත් විශ්වවිද්‍යාලයක උපකුලපති පදවියක් ලැබීමටත් දේශදේශාන්තරයන්හි කිතු ගොස පැතිරවීමටත් ඇති හැකි අය සහ නැති බැරි ජනයා අතර භේදයකින් තොරව පහන් සිත් ඇති කර ගැනීමටත් විහාරාධිපති ධුරය දරමින් විවිධ සමාජ සේවා ඉටු කිරීමටත් ඒ සියල්ල දෙස නිහඬව නිරීක්‍ෂණය කොට මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ඇගයීමට පාත්‍රවීමටත් අප නාහිමියන්ට අවස්ථාව හිමි වූයේ අන් කිසිවක් නිසා නොව පුරාකෘත පුණ්‍ය මහිමයත්, කැපවීමත්, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සැබෑ බුද්ධ පුත්‍රයකු වූ නිසාම ය .

****

අනුරාධපුර දිශාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පොල්හේනේ විමල නා හිමි

මඩපාත පොල්හේන නම් වූ ගම් පියසේ 1962 මැයි මස 28 වන දින වීරක්කොඩි ආරච්චිගේ විල්බට් පියාට සහ සීලවතී උපාසිකාවට උපන් පින්වත් කුමරුට වීරක්කොඩි ආරච්චිගේ රංජිත් යන නාමය තබන ලදී.

වර්ෂ 1978 මාර්තු 15 වන ශනි දින ශාසනික වත් පිළිවෙත් අනුව මෙම දරුවා විහාරාධිපති කටයුතු ශාස්ත්‍රාචාර්ය කොම්පඤ්ඤවීදියේ ජිනරතන නා හිමියන්ගේ ශිෂ්‍යවර හැටියට පොල්හේනේ විමල නමින් සසුන්ගත කෙරිණි.

ඒ අතරතුර 1982 වර්ෂයේ දී බටකැත්තර සුමනාරාම විහාරාධිපති කොම්පඤ්ඤවීදියේ ජිනරතන මහා ස්වාමීන් වහන්සේගේ හා නාවල ශ්‍රී සිද්ධත්ථාරාමාධිපති බෙල්ලන්විල නන්දාරාම ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයන් ලෙස පොල්හේනේ විමල හිමියන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව වෙතින් උපසම්පදා සීලයේ පිහිටවන ලදී. තම ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු බටකැත්තර ශ්‍රී සුමනාරාම විහාරස්ථානය පේල්හේනේ විමල හිමියන්ට පවරන ලදී.

උන්වහන්සේ වරින් වර විදේශ ධර්මදූත මෙහෙවරේ ද කටයුතු කරති. තම විහාර පාර්ශ්වයට අයත් මහා සංඝරත්නයේ ද තුන් නිකායේ මහා සංඝරත්නයේ ද ආශිර්වාදය ලබමින් කටයුතු කරන ලදී.

ගිහි පැවිදි දෙපිරිසගේ ද හොඳ හිත දිනා ගනිමින් කටයුතු කරන අප නාහිමිපාණන් වහන්සේගේ උදාර ජාතික, ආගමික, සාමාජික අධ්‍යාපනික සේවාවන් අගය කළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අති ගෞරවාර්හ මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර අනුනායක කාරක මහා සංඝ සභාව විසින් 2006 වර්ෂයේ ශාසන කීර්ති ශ්‍රී ගෞරව නාමය පිරිනමන ලදී. තවදුරටත් නාහිමිපාණන් වහන්සේගෙන් සිදුවන උදාර ශාසනික සේවාව ඇගයීමට ලක් කරනු ලබන මහා සංඝ සභාව නැවතත් බටකැත්තර ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපති අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය යන උභය විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී පොල්හේනේ විමල අප නාහිමි ධර්ම කීර්ති ශ්‍රී ජිනරතන යන ගෞරව නාම සම්මුතිය සහිතව අනුරාධපුර දිශාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමූහ.

අභිනව නායක පදවි ප්‍රාප්තියට පත් අප නායක හිමිපාණන් වහන්සේට තවදුරටත් මෙම උතුම් ශාසනික මෙහෙවර ඉටු, කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

****

සසුන් කෙත බබළවන දේවහන්දියේ ජිනරතන නාහිමි

මහනුවර දිස්ත්‍රික්කයේ,උඩුදුම්බර මැතිවරණ කොට්ඨාසයට අයත්, දේවහන්දිය නම් රමණීය ග්‍රාමවරයේ දී කේ.ජී.විජේරත්න, සීලවතී කුමාරිහාමි යන දෙමව්පියන්ට 1947.12.16 දින පින්වත් කුමරෙක්ව ඉපදුණි. නමින් කේ.ජී.බණ්ඩාර විය.

ගමේ පන්සලෙන් මූලික අධ්‍යාපනය ලද බණ්ඩාර කුමරු 1960 වසරේ දී කොළඹ කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයට පැමිණ මූලික බණ දහම් ඉගෙන 1964 ජූලි 13 දින කෝට්ටේ ශී‍්‍ර රාජමහා විහාරස්ථානයේදී ශ්‍රී ජයවර්ධනාරාමාධිපති දේවහන්දියේ ශ්‍රී සද්ධාතිස්ස මහ නාහිමියන්ගේ හා බත්තරමුල්ල ශ්‍රී සුධර්මාරාමාධිපති රන්කීරියාගොල්ලේ, ජිනානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය. නමින් දේවහන්දියේ ජිනරතන හිමි විය.

කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනින් මූලික ආගමික අධ්‍යාපනය හදාරා ජිනරතන හිමි මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් හා රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යායතනයෙන් උසස් අධ්‍යාපනය ලැබූහ. මාදුළුවාවේ සෝභිත, දේවහන්දියේ ධම්මාරාම, දේවහන්දියේ පඤ්ඤාශේඛර යන නාහිමිවරු මුන්වහන්සේගේ සහෝදර හිමිවරු ය.

ජයවර්ධනපුර කෝට්ටේ සිරි මංගල උපෝසථාගාරයේ දී 1970 ජුනි 15 දින අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලද උන්වහන්සේ 1978 දී ඉන්ද්‍රජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයට පත්ව දහම් පාසලේ දියුණුවට ඉමහත් සේවයක් කරති.

2015 සිට කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සභිකයකු ලෙස ක්‍රියා කරන ජිනරතන හිමියන් පිළිබඳ ප්‍රසාදයට පත් යථෝක්ත සංඝ සභාව උන්වහන්සේට අලුත්කූරු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමූහ.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]