[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුම ා- 90 කොටස: විජිතපුර බලකොටුවේ අර්බුදයක්

දුටුගැමුණු මහ රජතුමා- 90 කොටස:

විජිතපුර බලකොටුවේ අර්බුදයක්

කසාතොට බලකොටුව බිඳහෙළීමේ වගකීම දාව ආචාර්යතුමා විසින් දුර්ගම සංග්‍රාමිකයන්ට පවරා තිබිණි. යුද පෙරමුණෙහි ගමන්ගත් භික්ෂූන් වහන්සේලාගේ විවේකය පිණිස සත්බෑකෝට්ටේ ඛේමාරාමය නමින් විහාරයක් කරවා පූජා කරන ලදී.

මාගම රාජ්‍ය පාලනයෙහි යෙදෙන කාම්බෝජ බ්‍රාහ්මණතුමා ගිරි රාජ්‍ය පාලක උත්තර මහ ඇමැතිතුමාත් සමඟ කඳවුරට පැමිණීම විශේෂ සිද්ධියක් විය. මහාසිව, ත්‍රිපිටකතිස්ස මහා ස්වාමීන් වහන්සේලා ද ඛේමාරාමයට වැඩම කළහ. ඒ බව දැනගත් විහාරමහා දේවියත්, දුටුගැමුණු රජතුමාත් එදිනම එහි යන්නට පිටත් වූහ.

“යුද්ධයේ භය නැති කළ ඛේමාරාමයට පැමිණ යුද්ධ වීරයන් හමුවන්නට ලැබීම සතුටට කරුණක්.” ත්‍රිපිටකතිස්ස මාහිමියෝ කීහ.

“යුද්ධයක් නොවෙයි මහානාහිමිපාණන් වහන්ස යුද්ධයට මග පාදා ගැනීමක් පමණයි මෙතෙක් කරන්නට ලැබුණේ.”

ඔව්, ඉතා සුරක්ෂිත බලකොටුවක් විජිතපුර බලකොටුව, සිරිනාග කියන ආකාරයට උපතිස්සත් දීඝාභයත් බලකොටුවේ පාලනයෙන් ඉවත්කර සෙනෙවියන් තුළ අර්බුදයක් ඇති නොකළහොත් ජය ගන්නට අමාරු බලකොටුවක්, සතුරකුට එහි ළංවන්නට තබා සිතන්නටවත් බැරිලු” මහාසිව මාහිමියෝ කීහ.

“එසේය, මාහිමිපාණනි, විජිතපුර බලකොටුව ජයගතහොත් රජරට ජය ගත්තා හා සමානයි.” කියා ජයනාථ මහ සිටුතුමා මහනෙලට කියා තිබුණා. කෙසේ හෝ සිරිනාගගෙන් ඉඟියක් ලැබෙනතුරු විජිතපුර සමීපයෙන් කඳවුරු බැඳගෙන යුද සරඹ සන්දර්ශනයක් පැවැත්වීමට රජතුමා අදහස් කරනවා.” නන්දිමිත්‍ර මහ සෙනෙවි කීවේ ය.

“සිරිනාග සියලු අවස්ථාවන්ට ඉඩකඩ සලසා දෙපෝයක නිවාඩුවක් ගෙන රාජධානිය පුරා ඇවිදින්නට ගිහිල්ලා. එම සංචාරයෙන් පසු ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් අපට ලැබේවි.”

සිරිනාග, සත්බෑ කෝට්ටේ කඳවුරට හීපතක් එවා තිබුණා. “මහ රජතුමනි ප්‍රමාදය සුදුසු නොවේ. එළාර රජතුමාට විශාල යුද්ධ සේනාංකයක් සොළී රටින් අලුත් ආයුධ තොගයක් සමඟ ලැබෙන බව ආරංචියි.”

“සිංහල සේනාවට පඬුරු වශයෙන් විසිමහ යෝධයන් ඔවුන්ගේ සේනාංකත් සමඟ මහවැලි නදී තීරයේ බලකඳවුරුවලට ඒවි. එක වරම සිංහල කඳවුරු වටලා පහර දෙන්න. එළාර බලසේනාවේ හරි අඩක් අපට එමඟින් ජයගත හැකියි.” සිරිනාගගේ මේ රහස් තල්පත අපට ඉතා වැඩදායක වුණා. දාව ආචාර්යතුමා කීවේ ය.

“නාහිමිපාණන් වහන්ස, අපේ ආරක්ෂක කඳවුරට, තවත් හී පතක් ලැබුණා. එය මහනෙලට එවූ තල්පතක්, එය තවමත් අප රහසක් ලෙස තබාගෙන සිටිනවා.

“දේවයන් වහන්ස, මහවැලි ගඟ තරණය කරන්න. විජිතපුර බලකොටුව සමීපයේ කඳවුරු බැඳගන්න. කසාතොටින් මෙගොඩට සිංහල සේනාංක පැමිණෙන බව මම එළාර රජුට දැනුම් දෙන්නෙම්.”

“මහරජතුමනි, මුලින්ම ඔබ වහන්සේට මුහුණ දෙන්නට වන්නේ හැත්තෑ දහසකට අධික සිංහල සේනාවකටයි. එන්නට එපා රජතුමනි, විහාරමහා දේවියනි ආපසු යන්න. අපට එළාර රජුගේ පාලනය හොඳයි. සිංහල සේනාධිපතිවරුනි, ආපසු යන්න” කියමින් අපේ සේනාංක ඉදිරියට එන මේ පිරිස ජය ගන්නට ආයුධ වුවමනා නැහැ. විහාර මහා දේවියගේ රුව දැකීම පමණක් ම ප්‍රමාණවත්.

විජිතපුර සටන අරඹන්නට කලින් උපතිස්ස කඳවුරෙන් ඉවත්කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එවිට සිංහල, දෙමළ, සෙබළුන් අතර භේදයක් ඇතිකිරීම පහසු වෙනවා.

තල්පතෙහි වූ පණිවුඩය කියවූයේ මහනෙල ය. මහියංගණයේ දී ත්‍රිපිටකතිස්ස මහ තෙරුන් වහන්සේ බෝධිනාගට දුන් උපදෙස් හොඳින් ක්‍රියාත්මක වී ඇති බව මාහිමිවරුන්ට අවබෝධ විය.

“අපේ අරමුණ යහපත්. අපි ගමන් කරන්නේ පොදු ඉලක්කයට. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමත් විශ්වාසය පළුදු වන්නට නොදී රැක ගැනීමත් සිංහල රජුන්ගේ යුතුකමක්. ඒ නිසා මේ ගමන පරදින්නේ නැහැ වරදින්නේත් නැහැ.”

මහාසිව මාහිමිපාණන් වහන්සේ වදාළහ. මව්බිසොවුන් වහන්සේ ඛේමාරාමයෙහි වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාගේ සුවදුක් විමසා දුටුගැමුණු රජතුමා සමඟ ආපසු යාමට සූදානම් වූවා ය.

“කාම්බෝජ බ්‍රහ්මණතුමාත් උත්තර මහ ඇමතිතුමාත් අද රාත්‍රිය අප සමඟ ගත කරන්නට මෙහි නතර වෙනවාද? කසතොට කඳවුරු මාළිගයට යනවාද? අපත් තිස්සමහාරාමය බලා හෙට උදෙන්ම ගමන් අරඹනවා.”

“දාව ආචාර්යතුමාත් අපත් සමඟ මෙහි නවතිනවා නම් අපට බොහෝ දේ කතා කරන්නට පුළුවන්.”

විහාර මහා දේවියගේත් දුටුගැමුණු රජතුමාගේත් සිනහවෙන් එය අනුමත වනු දුටු මහනෙල “රාජකීය අමුත්තන්ට රාත්‍රී භෝජනය අපේ කඳවුරෙන්” යැයි කීය.

අශ්වයන් ගමන් ගන්නා හඬකින් කවුරුත් විමසිලිමත් වූහ. “අසරුවන් කණ්ඩායමක්” කියමින් මහනෙල ඉදිරියට ආවේ ය. ඒ සමඟම විහාරමහා දේවිය ද දුටුගැමුණු රජතුමා ද පැමිණියහ.

“රණදේව, තොප හදිසියේම මෙහි පැමිණියේ කුමක් නිසාද?”

“මහරජතුමනි, විජිතපුර සතුරු බල කොටුවෙන් පලා ආ මහ සෙනෙවියකු ඔබ වහන්සේ හමුවීමට පැමිණ සිටිනවා. සුදුසු තීරණයක් ගැනීමට වහාම මෙහි එන ලෙස උපදෙස් දුන්නේ දාඨාසේන මහසෙනෙවිතුමා”.

අසරු සේනාව විසින් මැදිකරගනු ලැබූ සතුරු සෙනෙවියා දෙස මහනෙල ඕනෑකමින් බැලුවේ ය.

මහ රජතුමනි, මේ එළාර රජුගේ සමීපතම උපතිස්ස මහ සෙනෙවි. දීඝාභය සෙනෙවිතුමා සමඟ විජිතපුර බලකොටුව භාරව සිටින්නේ මොහුයි.

විහාර මහා දේවිය ද තවමත් අසු පිට සිටින මේ ආරෝහපරිණාහ දේහ සම්පත්තියෙන් යුතු සෙනෙවියා දෙස පුදුමයෙන් බලා සිටියේ ය.

“ඔහු අපේ මහනාහිමියන් වහන්සේලා හමුවට කැඳවන්න.”

“හොඳමයි මෑණියනි. රණදේව, උපතිස්ස සමඟ විවේකාගාරයට එනු. සෙසු අසරුවන්ට ධර්ම ශාලාවෙහි විවේක ගත හැකියි.”

“හොඳමයි මහරජතුමනි.”

උපතිස්ස මහ සෙනෙවි පැමිණ මහානාහිමියන් වහන්සේලාට වැඳ නමස්කාර කළහ. දුටුගැමුණු රජුටත්, විහාරමහා දේවියටත් ආචාර කළ උපතිස්ස පසෙකින් සිටගත්තේ ය.

උපතිස්ස, මීට සුළු මොහොතකට පෙර අප තොප ගැන කතා කළා පමණයි. ඒ සමඟම තොපගේ පැමිණීම අප කාටත් පුදුමයක්. තොපට බොහෝ වෙහෙස බවක් පෙනෙයි” ත්‍රිපිටකතිස්ස මාහිමියෝ කීහ.

“රණදේව, සියලු දෙනාටම මී පොකුරු යෙදූ පැන් පිළියෙළ කරන ලෙස අපේ මුළුතැන් ගෙට දන්වන්න.” විහාර මහා දේවිය කීවා ය.

“ගැමුණු, මේ උපතිස්ස අපට බොහෝ උපකාර කළ කෙනෙක්. අනුරාධපුර රාජධානියේ රහස් ඔත්තු ජාලය භාරව සිටිමින් මාසයකට වරක් අදාළ තොරතුරු දීඝාභය මඟින් අපට එවුයේ උපතිස්ස සෙනෙවි.”

“ඔව්. මෑණියනි, දීඝාභය අයියණ්ඩි මට මොහු ගැන කියා තිබෙනවා.”

“උපතිස්ස වෙනස් වුණේ කැමැත්තකින් නොවෙයි. රටට,ජාතියට, ආගමට විරුද්ධ වන්නට උපතිස්ස කැමති වුණේ නැහැ. නමුත් දීඝාභය තමන්ට මාගම රාජධානිය හා දුටුගැමුණු රජතුමාගෙන් සිදු වූ වෙනස්කම් කියනවිට දීඝාභයට පවතින දැඩි හිතවත්කම නිසා මොහුත් කලකිරුණා. දීඝාභය කේලාම් බස් අසා නොමඟ ගිය බව තවමත් උපතිස්ස දන්නේ නැහැ. ඒ නිසා උපතිස්සගේ වෙනස්වීම සිදුවුණේ වැරැදි වැටහීම් නිසායි.

ඉතිරි කොටස උඳුවප් අව අටවක පෝදා (16) අන්තර්ජාල කලාපයේ පළවේ

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]