[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද ධර්මධර විනයධර යටලමත්තේ පාලිත නාහිමිපාණන් වහන්සේ

ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද ධර්මධර විනයධර යටලමත්තේ පාලිත නාහිමිපාණන් වහන්සේ

ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි ලද විනය කීර්ති ශ්‍රී සෝරතාභිධාන රාජකීය පණ්ඩිත යටලමත්තේ පාලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පදවි ප්‍රාප්ත උත්සවය පසුගිය 02 වැනිදා පැවැත්විණි.

උඩලමත්ත ශී‍්‍ර ස්වර්ණබිම්බාරාමය, දෙමටගොඩ ශ්‍රී බෝධිරාජාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකවේදී දහම් සරසවියේ කථිකාචාර්ය සමස්ත ලංකා සාමවිනිසුරු පූජ්‍ය පාද යටලමත්තේ පාලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර උපෝසථ පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සද්ධර්ම සුමංගලාභිධාන ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විංසත් කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ‘විනය කීර්ති ශී‍්‍ර සෝරත දේවොපලක්ෂිතව‘ යන ගෞරවනාම සහිතව ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත් කර ඇත. ඒ පිළිබඳ ශී‍්‍ර සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය රාජ පූජිත මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ දී ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ දී 2022 දෙසැම්බර් මස 01 දින සවස 02.30ට සිදු කිරීමට නියමිතව තිබුණි.

අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ අභිනන්දන උත්සවය 2022 දෙසැම්බර් මස 02 වැනි දින ප.ව. 2.30ට ගාල්ල උඩලමත්ත ස්වර්ණබිම්බාරාම මහා විහාරයේ දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය චක්‍රවර්ති අග්ගමහා සද්ධර්ම ජෝතික ධජ ස්ථවර වංසාලංකාර ශාසන කීර්ති ශ්‍රී ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝ රක්ඛිත විජිතසිර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර දළදා මන්දිරයේ දියවඩන නිලමේතුමන් ඇතුළු දකුණු පළාතේ ආණ්ඩුකාරතුමන් ප්‍රමුඛ ගිහිපැවිදි සැමගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

දකුණු සිරිලක ගාලු කෝරලේ යටලමත්ත නම් රමණීය ගම් පියසේ නියාගම ලොකුගමගේ ජිනදාස, ජේන් නෝනා වික්‍රම සෙනෙවිරත්න යන ගම්පතීන්ට දාව එන්.එල්.ජී. සුනිල් පාලිත නමින් මෙම පින්වත් කුල කුමරු 1964 දුරුතු මස 11 වැනි දා මෙලොව ජනිත විය.

මෙම පින්වත් කුල කුමරු උඩලමත්ත මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් 1981 පොසොන් මස පොහෝ දින ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ශී‍්‍රමත් මහානායක සාහිත්‍ය ශූරී රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අත්තුඩාවේ ශී‍්‍ර රාහුල මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පංච මහා විහාරාධිපති අතිපූජ්‍ය බඹරැන්දේ සෝරත මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් යටලමත්තේ පාලිත සාමණේර නමින් සසුන් කෙතට ඇතුළත්ව නවීන පන්තිය, ද්විතීය පන්තිය, තෘතීය පන්තිය සමත්ව ත්‍රිපිටකවේදී උපාධිය හා රාජකීය පණ්ඩිත උපාධිය ද හිමි කර ගැනීමට සමත් විය.

පාලිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි සහෝදරයන් වනුයේ පිළියන්දල උද්යෝගිපුර සිරි විජයාරාමාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ශී‍්‍ර රෝහණ සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය වේපතඉර හේමාලෝක නාහිමි, ගාල්ල බෝගහගොඩැල්ල ශී‍්‍ර සුදර්ශන පරමානන්ද විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය උඩලමත්තේ පුඤ්ඤසාර මාහිමි, වේපතඉර පොත්ගුල් විහාරාධිපති කන්ද උඩපත්තුවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය වේපතඉර චන්දරතන නාහිමි, ශාස්ත්‍රපති පූජ්‍ය වැලිවිටියේ බෝධිසිහ හිමි, මානම්පිට ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිපති, බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක විචිත්‍රභාණි පූජ්‍ය මානම්පිට අමිත නා හිමි, මාපුටුගල වික්‍රමසිංහාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මාර්තුපිටියේ මෙත්තාරාම හිමි, වැලිගම ඉබ්බාවල ශ්‍රී පියරතනාරාමාධිපති, ආයුර්වේද සර්වාංග වෛද්‍ය හා විෂ වෛද්‍ය විශේෂඥ මාතර දිසාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය හොරන්ගල්ලේ පේමසිරි නාහිමි, පූජ්‍ය වත්තහේනේ සුදර්ශන හිමි, බෞද්ධ කටයුතු සමායෝජක ශාස්ත්‍රවේදී උඩුගම අස්සජි හිමි, ලිඳුල මහින්දාරාමාධිපති, ශාස්ත්‍රවේදි පූජ්‍ය උඩුගම පියදස්සි හිමි, කාව්‍ය විශාරද කවිපති පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හිමි, මහින්ද විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදි පූජ්‍ය මාකුඹුරේ චන්ද්‍රාලෝක හිමි වේ.

පාලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ උගතමනා බණ දහම් උගෙන 1984 වෙසක් මස 25 වැනි දින මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයේ පිහිටියේ බඹරැන්දේ සෝරත ලොකු හාමුදුරුවන්ගේ සහ රාජකීය පණ්ඩිත ගෝණදෙණියේ හේමාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙසයි.

1990 දී උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය හිමි කර ගත්හ. 1996 සිට ගාල්ල උඩලමත්ත විද්‍යාලය, ගාල්ල නාගොඩ රාජකීය විද්‍යාලයේත් පුරා වසර 10 ස්වේච්ඡාවෙන් සේවය කළහ.

2005 වර්ෂයේ දී නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ලෙසත්, 2005දී දහම් සරසවියේ කථිකාචාර්යවරයකු ලෙසත් කි‍්‍රයා කරන ලදි.

අපේ පාලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විචිත්‍රවත් දේශකයන් වහන්සේ නමක් ලෙස, රූපවාහිනියේ සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ ධර්ම දේශන හා ධර්ම සාකච්ඡා පවත්වන අතර, පිරිත් දේශනයෙහිත් නිපුණතා ඇති දේශකයන් වහන්සේ නමක ලෙස ද ගිහි පැවිදි සැමගේ ගෞරවයට පත් ව ඇත.

උන්වහන්සේ ඉන්දියාව, නේපාලය, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, දකුණුූ කොරියාව, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල ද සංචාරය කරමින් ධර්ම දූත මෙහෙවරේ යෙදෙමින් අනගි මෙහෙවරක් ඉටු කළහ.

උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වනුයේ තිස්සමහාරාම කාවන්තිස්ස පිරිවෙනේ ආචාර්ය තණමල්විල විනීත හිමි, ගාමණී ධර්ම විද්‍යාලයේ විදුහල්පති තණමල්විල අමිත රතන හිමි, සූරියවැව විනීත හිමි, දෙණියාවේ උදිත හිමි, පොරවගම දමිත හිමි, කැප්පිටියාගොඩ සාරද හිමි යන හිමිවරුන් ය.

අපේ පාලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර ලෝක ශාසනික සේවය අගය කළ ශ්‍යාමෝපාලි මහා විහාර වංශික මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් විනය කීර්ති ශ්‍රී සෝරත යන ගෞරව නාම සහිතව ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත් කරන ලදී.

අපේ පාලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සරල සුගම අපිස් දිවියක් ගත කරන අතර. උන්වහන්සේගේ විහාරස්ථානය දර්ශනීය රමණීය විහාරස්ථානයක් බවට පත් කරමින් ගාමිණී දහම් පාසල පවත්වා ගෙන යමින් අමිල අපරිමිත මෙහෙවරක් ඉටු කරති. විනය කීර්ති ශී‍්‍ර සෝරත යන ගෞරව නාම සහිතව ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ලද සමස්ත ලංකා සාම විනිසුරු රාජකීය පණ්ඩිත යටලමත්තේ පාලිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තුණුරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් ලෝ සසුන් වැඩ වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා'යි ප්‍රාර්ථනය කරමු.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]