[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් පෙරහරක පෙලහර දැක්වූ මහා බෝධි ආගමනය

අසිරිමත් පෙරහරක පෙලහර දැක්වූ මහා බෝධි ආගමනය

සිරිමත් සදහම් සන්දේශය රැගෙන වැඩම කළ මිහිඳු මාහිමියන්ගේ නැඟෙණිය වූ සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට වැඩම කළේ උඳුවප් මස පුර පෑළවිය දිනක දී ය.

අරහත් මෙහෙණිය සමඟින් වැඩම කළ ජය ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අසිරිමත් පෙළහර පාමින් මහමෙව්නා උයනේ රෝපණය වූයේ උඳුවප් පුන් පොහොය දිනයේදී ය.

සංඝමිත්තා තෙරණියගේ වැඩමවීමත් සමඟ අනුලා බිසවුන් ප්‍රමුඛ පන්සියයක් කුමාරිකාවන් ද පැවිදි බිමට පත් වූ අතර, එයින් ලක්දිව භික්ෂුණි සංඝයා ස්ථාපිත විය. රහත් තෙරණිය සමඟ පැමිණි දහඅට කුලයක ශිල්පීන් හෙළදිව බෞද්ධ සංස්කෘතිය ගොඩනඟන්නට මහෝපකාරී වූහ. එබැවින් උඳුවප් පුන් පොහෝ දිනය හෙළ බොදුනුවන්ට අනුස්මරණීය දිනයකි.

මිහින්තලාවෙන් පැනනැඟුනු අසිරිමත් සදහම් සන්දේශය නිසා හෙළදිව ධර්මද්වීපයක් බවට පත්ව, සද්ධර්මයෙන් ඒකාලෝක විය. ඒ අමා සදහම් ශ්‍රවණය කළ හෙළදිව වැසියන් ද සම්බුදු සසුනේ උතුම් පැවිදි බව ලබා ගත්හ. සදහම් අසා මඟ ඵලලාභීන් බවට පත් වූ අනුලාවන් ප්‍රධාන හෙළ කතුනට පැවිදි වීමේ වරම් නො ලැබුණේ භික්ෂූන්ට පමණක් කාන්තාවන් පැවිදි කළ නො හැකි නිසා ය. ඒ පිණිස භික්ෂූණී සංඝයා වැඩම කරවීමට මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම ඇතිව අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිසක් ධර්මාශෝක රජතුමා වෙත සන්දේශයක් ද සහිත ව පිටත් කර හරින ලදී. එහි මෙසේ සඳහන් වුණි.

‘‘ලක්දිව කාන්තාවන් බුදු සසුනේ පැවිදි වෙන්නට කැමැත්තෙන් සිටිති. භික්ෂුණී සංඝයා නොමැති හෙයින්, භික්ෂූන්ට පමණක් එය කළ නො හැක. එබැවින් සංඝමිත්තා තෙරණිය ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි වඩමවනු මැනවි. පෙර බුදුවරයන් වහන්සේලාගේ බෝධි ශාඛාවලින් හිස් නො වූ ලක්දිවට ගෞතම බුදුරජුන් පිට දුන් ජය ශී‍්‍ර මහා බෝධියේ ශාඛාවක් ද වඩමවනු මැන.”

මේ සන්දේශය රැගත් රාජකීය දූත පිරිස දඹදිව පැළලූප් නුවරට ගොස් ධර්මාශෝක රජතුමා වෙත එය පිළිගන්වා සංඝමිත්තා තෙරණිය ද හමු වී මිහිඳු මාහිමියන්ගේ පණිවිඩය සැල කළහ. මිහිඳු මාහිමියන් හා සුමන සාමණේරයන්ගෙන් වෙන්ව සංඝමිත්තා තෙරණිය නිසා සැනසී සිටි රජතුමා තෙරණිය ලක්දිවට එවීමට මුල දී අකැමැති විය. එවිට සංඝමිත්තාවෝ සිය පිය රජුට මෙසේ පැවසූහ.

‘‘පියාණෙනි, සහෝදරයන් වහන්සේගේ වචනයට මා ගරු කළ යුතුයි. අනුලාවන් ප්‍රමුඛ විශාල පිරිසක් පැවිදි වන්නට අපේක්ෂාවෙන් සිටිති. ඒ නිසා මා එහි යා යුතු ම යි. මගෙන් උදාර සේවාවක් ලක් වැසියන්ට සිදු වනු ඇති.”

එය ඇසූ දම්සෝ නිරිඳුන්,

‘‘මාතාවනි, එසේ නම් වඩිනු මැනවි. මගේ දරු පරපුර ම සිංහල ජනයාට සේවය පිණිස වේවා! එය මට ද මහත් පිනකි. ඔබතුමිය වඩින විට බෝධිරාජයාගේ ශාඛාවක් ද වැඩමවීම පිණිස කටයුතු සම්පාදනය කොට දෙන්නෙමි.” යි කීවේ ය.

රජතුමා, සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්ෂුණී සංඝයා පිරිවර සහිත ව ලංකාවට වැඩමවීමට කටයුතු පිළියෙළ කරවී ය. රජ මාලිගාවේ දී සංඝරත්නය උදෙසා දන් පැන් පිරිනමා මහාබෝධි ශාඛාව ලංකාවට වැඩමවිය යුතු දැයි මොග්ගලීපුත්තතිස්ස අරහත් මාහිමියන්ගෙන් විමසී ය. එවිට උන්වහන්සේ එය අනුමත කොට බුදුරජාණන් වහන්සේගේ මහා අධිෂ්ඨාන පහක් ගැන රජතුමාට දේශනා කළ සේක.

ඒවා නම්,

ලක්දිව රෝපණය කිරීම පිණිස බෝධීන් වහන්සේ වැඩමවීමට ධර්මාශෝක නිරිඳුන් එළඹුණු කල්හි දක්ෂිණ බෝධි ශාඛාව ඉබේ ම ඡේදනය වී රන් කටාරමේ පිහිටාවා,

රන් කටාරමේ පිහිටි බෝධි ශාඛාව හිම වලා ගැබක් අතරට පිවිස වැඩ සිටීවා,

සත් දිනකට පසු පොළෝ තලයෙහි පිහිටි කෙණෙහි පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුදු රැස් විහිදේවා,

දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරවන ථූපාරාම සෑයෙහි මාගේ දකුණු අකුධාතුව පිහිටන කල්හි යමාමහ පෙළහර කෙරේවා,

ස්වර්ණමාලී මහා සෑයෙහි මාගේ ද්‍රෝණයක් පමණ ධාතූන් පිහිටන කල්හි සම්බුදු රුව මැවී අහසට පැන නැඟී යමාමහ පෙළහර කෙරේවා,

රජතුමා අතිශයින් ම සතුටට පත් විය. පැළලූප් නුවර සිට බුද්ධගයා බෝමැඩ දක්වා මඟ සරසවා ස්වරණමය කටාරමක් ද පිළියෙළ කළේ ය. සිව්රඟ සෙනඟ පිරිවරාගෙන මහා පෙරහරින් ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ වෙත ගියේ ය. දහස් ගණන් මහරහතන් වහන්සේ ද, ප්‍රාදේශීය රජවරුන් ද අප්‍රමාණ ජන සමූහයක් ද රැස්ව සිටිද්දී රජතුමා ඇදිලි බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලූවේ ය.

එකෙණෙහි ම දක්ෂිණ ශාඛාව හැර ඉතිරි සියලූ ම ශාඛාවෝ නො පෙනී ගියහ. මේ අසිරිමත් පෙළහර දුටු රජතුමා අතිශයින් ම සතුටට පත්ව දඹදිව රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පුදා පුද පූජා පවත්වා තුන්වරක් පැදකුණු කොට අට තැනක දී නමස්කාර කළේ ය. බෝධි ශාඛාව දක්වා උස් වූ ස්වර්ණමය පුටුවක රන් කටාරම තබා රුවන් පුටුවකට නැඟී රනින් කළ තෙලිතුඩක් ගෙන බෝධි ශාඛාවෙහි ඉරක් ඇඳ මෙසේ සත්‍යක්‍රියා කළේ ය.

‘‘මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩමවිය යුතු නම්, මා ද සම්බුද්ධ ශාසනයෙහි සැක රහිත නම්, මේ බෝධි ශාඛාව තෙමේ ම සිඳී රන් කටාරමේ පිහිටාවා!”

බෝධි ශාඛාව ඉබේ ම සිඳීි රන් කටාරමේ පිහිටියේ ය. එය දුටු මහා සංඝයා වහන්සේ සැදැහැයෙන් සාධුකාර පවත්වද්දී රජතුමා ඇතුළු මහා පිරිස ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. මිහිකත කම්පා වෙද්දී නොයෙක් ප්‍රාතිහාර්යයන් සිද්ධ විය. අවට ගිගුම් දුන් සාධු නද මධ්‍යයේ ශී‍්‍ර දක්ෂිණ ශාඛාව කටාරමත් සමඟින් අහසට පැන නැඟී හිම වලාගැබක් අතර සතියක් මුළුල්ලේ වැඩ සිටි සේක. ඉක්බිති මුල් සියයකින් යුක්තව රෝපණය වී යළිත් පොළෝ තලයට වැඩම කළ සේක. එම සතිය මුළුල්ලෙහි අරහත් මුනිවරුන් ද, නිරිඳුන් ප්‍රමුඛ මහා ජන සන්නිපාතය ද අපරිමිත සම්බුදු ගුණ මහිමය මෙනෙහි කරමින් උත්තම පූජාවන් පැවැත්වූහ.

බෝධි ශාඛාවේ පත්‍රවලින් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුද්ධරශ්මි මාලා විහිදුණි. මිනිසුන්ගේ ද, දෙව් බඹුන්ගේ ද සාධු නාදෙන් මුළු දඹදිව් තලය ම ඒකනින්නාද විය. බෝධි ශාඛාව නැවතත් රාජ්‍යයෙන් පුදා අභිෂේක කළ රජතුමා යළිත් මහා පූජාවන් පැවැත්වී ය.

ගංගා නදියෙහි සුන්දර ලෙස සරසවන ලද නෞකාවකට බෝධීන් වහන්සේත්, සඟමිත් තෙරණිය ප්‍රමුඛ මෙහෙණින් වහන්සේලාත්, රජකීය දූත පිරිසත්, නැව් නැංවූ රජතුමා තාමලිත්ති නම් තොටුපළට සත් දිනකින් ළඟා වූයේ ය.

අතරමඟ දී දෙවියන් ද, නාගයන් ද, මිනිසුන් ද උදාර පූජාවන්ගෙන් බෝධීන් වහන්සේ පිදූහ. සමුද්‍ර තීරයේ දී තෙවන වතාවටත් රාජ්‍යයෙන් පිදූ ධර්මාශෝක නිරිඳුන් බෝධීන් වහන්සේ හිස තබාගෙන අතිශය ගෞරවයෙන් යුතුව නැවෙහි තැන්පත් කළේ ය. අරහත් මෙහෙණිවරුනුත්, රාජකීය දූත පිරිසත් නැවට නංවා මෙසේ පැවසී ය.

‘‘මම තුන් වරක් ම දඹදිව රාජ්‍යයෙන් බෝධිරාජයා පිදුවෙමි! මා මිත්‍ර දේවානම් පියතිස්සයන් ද එසේ ම පුදාවා!”

දෙවියන්ගේත්, නාගයන්ගේත් අප්‍රමාණ පුද සත්කාර ලබමින් ලක්දිව දඹකොළ පටුනට නෞකාව සැපත් විය. දෙවනපෑතිස් නිරිඳුන් පෙරගමන් කොට මහත් වූ ශාස්තෘ ගෞරවයෙන් බෝධීන් වහන්සේ පිළිගත්තේ ය. සම්බුදු ගුණ අනුහසින් මුහුදු රළ නැවතී සමුද්‍රය ද නිසංසල විය. ඒ අසිරිමත් පෙළහරින් ද බුද්ධාලම්බන පී‍්‍රතියෙන් ද ඔද වැඩුණු සිතැති දෙවනපෑතිස් නිරිඳුන් ලක්දිව රාජ්‍යයෙන් පුදා බෝ රජාණන් වහන්සේ අභිෂේක කළේ ය.

රජතුමා සිය රාජකීය ඔටුන්න ද, අසිපත ද, සේසත ද පුදා ලක්දිව රාජ්‍ය පූජා කොට දොරටුපාල වෙස් ගෙන තෙදිනක් පුරාවට බෝරජුන් මුරවතින් පිදී ය. බෝධීන් වහන්සේත්, අරහත් තෙරණිවරුනුත් මහත් සේ පුද සත්කාර සහිත ව රාජකීය පෙරහරකින් අනුරාධපුර මහමෙවුනා උයන වෙත වැඩම වී ය.

මේ මහා භද්‍ර කල්පයේ තුන් බුදුවරයන් වහන්සේලාගේ ම බෝධි ශාඛා පිහිටවූ, ගෞතම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි උතුම් භූමියේ බෝධි ශාඛාව පිහිටුවන ලද්දේ ය. මිහිකත කම්පා වෙද්දී බෝධීන් වහන්සේගෙන් සවණක් ඝන බුද්ධ රශ්මි මාලා විහිදුණි.

විජය ශී‍්‍ර බෝධිරාජයාණන් වහන්සේ අද ද ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ අප්‍රමාණ පුද සත්කාර මැද මහමෙව්නා උයනේ විරාජමාන ව වැඩ සිටින සේක. ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ සම්බුද්ධත්වයේ විජයග්‍රහණය මුළු ලොවට කියා පාන ජීවමාන සංකේතයකි. භාග්‍යවතුන් වහන්සේගේ නික්ලේශී සම්බුදු සිරුරේ පහස ලත් උත්තම පාරිභෝගික චෛත්‍යයකි. හෙළ බොදුනුවන්ගේ ශ්‍රේ‍ෂ්ඨතම පූජනීය වස්තුව වූ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ රෝපිත වූ උඳුවප් පුන් පොහෝ දිනය අපට ශ්‍රේෂ්ඨ දිනයක් වන්නේ එබැවිනි.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]