[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින පිළිකෙව් කළ මවකගේ කතාව

උත්තර මාතා ප්‍රේත වස්තුව:

පින පිළිකෙව් කළ මවකගේ කතාව

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ ආසන්න කාලයෙහි ම ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමෙන් පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දොළොස් නමක් භික්ෂූන් වහන්සේ සමඟ කොසබෑ නුවරට සමීපව එක්තරා ආරණ්‍යයක වැඩ වාසය කළහ.

එකල්හි උදේනි රජතුමාගේ ඇමතිවරයෙක් මරණයට පත් විය. එම ඇමතිවරයා වෙත පැවරී තිබුණ රාජකාරී කටයුතු කිරීම සඳහා ඔහු පුත් එහි නියැළුණි. ඔහුගේ නම උත්තර නම් විය. හෙතෙම වඩුවකු සමඟ ලී ගෙන ඒමට වනයට ගියේ ය. එහි දී මහා කච්චායන මහා රහතන් වහන්සේ දැක සතුටින් සාකච්ඡා කෙළේ ය. තෙරුන් වහන්සේ ඔහුට දහම් දෙසූහ.

දහම් අසා පැහැදුන ඔහු මහ රහතන් වහන්සේට දානය සඳහා වැඩම කරන ලෙසට ආරාධනා කර සිටියේ ය.

නුවරට ගොස් දානය සඳහා සියලු කටයුතු සම්පාදනය කරන්නට විය. උපාසකවරුනට ද ආරාධනා කර පසුදින ප්‍රණීත ලෙස දානය පිළියෙළ කළේ ය. නිවසට වැඩම කළ තෙරුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානය පිළිගැන්වීය. තෙරුන් වහන්සේ දානය වළඳා අනුමෙවෙනි ධර්ම ය දේශනා කළහ.

ආපසු වැඩම කරවන විට ද උත්තර උපාසක පසු ගමන් කළේ ය. හෙතෙම පසුව බණ අසා, සෝවාන් ඵලයට ද පත් විය. විහාරයක් ද කරවා පූජා කළේය. තම නෑයන් සියලු දෙනා දෙනාම ශාසන මාමක කරවීය.

එසේ වුව ද ඔහුගේ මව ශ්‍රද්ධා නැත්තීය. මගේ අකැමැත්ත තිබියදී ම ඔබ මහා සංඝයාට දන්දීම නිසා, පරලොව දී ඒ ආහාරපාන ලේ බවට පත්වේවායි උත්තර මානවක තම පුතනුවන්ට මෑණියන් කීවා ය.

විහාර පූජා කරන දිනයේ දී එක් මොණර පිල් කළඹක් මෑණියන් අතින් පූජා කරවනු ලැබීය. පසු කලෙක මිය ගිය උත්තර නම් වූ මානවකගේ මව ප්‍රේත ලෝකයේ ඉපැදුණි. ඈ උත්තර මාතා නම් විය.

මෙම ප්‍රේතියට ඉතා ලස්සන දිගු වරලසක් විය. පෙර අත් බවයක දී විහාරයට මොනර පිල් කළඹක් පූජා කිරීමේ ආනිශංසයයි ඒ. ඈ නිර්වස්ත්‍ර ය. ඇය වරලසින් විලි වසා ගත්තා ය. සා පිපාසාවෙන් පීඩිත විය. පිපාසය සංසිඳවා ගැනීමට ගංගා නම් ගඟට බැසගත් විට ගඟ ලේ බවට පත් වෙයි. පෙර අත් බැව්හි දී උත්තර මානවකගේ දානයට පරිභව කොට ඒ ආහාරපාන ලේ වේවා’යි කියා ශාප කිරීම ඊට හේතුවයි.

දිනක් මහ රහතන් වහන්සේ නමක් ගංගා නම් වූ නදී තීරේ දිවා විහරණයේ යෙදී සිටියහ. උත්තර මාතා ප්‍රේත ස්ත්‍රිය මහ රහතන් වහන්සේ හමුවට ආවා ය. උන්වහන්සේ වෙත ගොස් පිපාසය පැන් ටිකක් ඉල්ලා සිටියා ය.

එවිට මහ රහතන් වහන්සේ “එම්බා ප්‍රේත ස්ත්‍රිය, ගංගා නම් ගඟෙන් ජලය බීමට හා නෑමට නොහැක්කේ දැයි ඇසීය.”

රහතන් වහන්සේ එසේ අසද්දී ප්‍රේත ස්ත්‍රිය පළමුවෙන් කී පරිදි ගංගා නම් ගඟ තමා ළඟට යන විට ලේ බවට පත් වෙන බව ඇය කීවා ය.

සංවේගයට පත් වූ රේවත මහ රහතන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට පැන් පූජා කොට පිඬු සිඟා වැඩමවා තමන් වහන්සේට ලැබුණු පිණ්ඩපාත දානය භික්ෂූන් වහන්සේට පූජා කළහ. කසල ගොඩ අවුස්සමින් රෙදි කෑලි සොයා, සිවුරු කරවා භික්ෂු සංඝයා වහන්සේට පූජා කළහ.එහි ප්‍රේත ස්ත්‍රියට පින් අනුමෝදන් කළහ.

ඒ පින් අනුමෝදන්ව ප්‍රේත ස්ත්‍රිය දිව්‍ය සම්පත් ලැබුවා ය. රේවත රහතන් වහන්සේ මෙම පුවත බුදුරජාණන් වහන්සේට පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ.

වෙසක් අමාවක

මැයි 29 ඉරිදා අපරභාග 02.59 අමාවක ලබා 30 සඳුදා අපරභාග 05.03 න් ගෙවේ.
29 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]