[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුට ලැබෙන්නේ අත්හරින තරමටයි

සතුට ලැබෙන්නේ අත්හරින තරමටයි

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ අසූ කෝටියක් ධනය හිමි සිටුවරයෙක් ජීවත් වුණා. ඔහුගේ නම ඉල්ලීස. ඔහුගේ පාද සහ දෑත් කොරයි, දෑස් වපරයි. විශාල ධනයක් හිමි සිටුවරයෙක් නිසා රජතුමා රාජ්‍ය සේවයට බඳවාගෙන තිබුණා.

රජතුමාගේ සහාය සිටුවරයාටත්, සිටුවරයාගේ සහාය රජතුමාටත් ලැබුණා. සිටුවරයා කවර හේතුවක් නිසාවත් තම ධනය වියදම් කළේ නෑ. ඔහුගේ අවශ්‍යතාවලට හෝ බිරිඳගේ අවශ්‍යතාවලට හෝ, දූ දරුවන්ගේ අවශ්‍යතාවලට හෝ ධනය වියදම් කළේ නෑ. ආහාරපාන කෙරෙහි ආශාවක් උපන්නොත් රජ මාලිගයෙන් හෝ මැති ඇමැතිවරුන්ගෙන් හෝ යහළු සිටුවරුන්ගෙන් හෝ සපුරා ගැනීමට පුරුදු වී සිටියා.

ඔහුගේ පියතුමා නිතර දුගී මිනිසුන්ට සහ මහණ බමුණන්ට දන් දුන් සිටුවරයෙක්. මහලු වයසට පත් ව ඔහු මිය ගිය නිසා පියා සතු සමස්ත ධනය ම ඉල්ලීස පුතණුවන්ට උරුම වුණා. එදින සිට අතීතයේ සිට පවත්වාගෙන ආ දන් දීම් සියල්ල නතර කළා. දාන ශාලා ගිනිබත් කළා. දුගී යාචකයින්ට පහර දී එළවා දැම්මා.

මහණ බමුණන්ට දන්දීම නතර කළා. තව තවත් ධනය එකතු කිරීමට පමණක් ම වෙහෙසුණා. තමාගේ අවශ්‍යතාවකටවත් ධනය වියදම් කළේ නෑ. දිනක් රාජ්‍ය සේවයට ගොස් නිවසට එන අතරේ දී දුප්පත් මිනිසෙක් මස් අනුභව කරමින් රා බොන දසුනක් දුටුවා. ඔහුටත් එසේ කිරීමට ආශාවක් ඇති වුණත් මෙහෙම කල්පනා කළා.

‘’මම රා බොන්න සැලසුම් කළොත් සිටුමාලිගයේ අයත්, රජමාලිගයේ අයත්, සෙසු සිටුවරුනුත් එයට සම්බන්ධ වෙනවා. එයින් වෙන්නේ මගේ ධනය වියදම් වීමයි. මට අනුන් වෙනුවෙන් රාවලට වියදම් කිරීමට මුදල් නැහැ”යි සිතා එම සිතිවිල්ල යටපත් කර ගත්තා.

දෙවැනි දවසෙත් රා බොන ගැමියා දැක රා බීමට ඇති ආශාව බලවත් වුණා. එහෙත් ධනය වියදම් වීමේ මසුරු සිතිවිල්ල නිසා එදිනත් එය යටපත් කර ගත්තා. දින සති මාස ගෙවී ගියා. රා බොන පුද්ගලයින්, ඔවුන් ගත කරන විනෝදකාමී අවස්ථා සිහිකරමින් පසු තැවුණා.

ශරීරය කෘශ වී ගියා. සම දුර්වර්ණ වුණා. නහර ඉල්පී ශරීරය දුර්වල වුණා. මේ නිසා සෑම දිනක ම රාජ්‍ය සේවයට ගොස් පැමිණ ඇඳට වැටී නිදා ගත්තා. බිරිඳ සහ දරුවන් මෙන්ම සමීපත ම සේවක සේවිකාවන් හේතු විමසා සිටියත් පවසා සිටියේ නෑ.

දිනක් බිරිඳ තදින් ම දොස් පවරමින් හේතු විමසූ විට වචන ගිලිමින්, ගොත ගසමින්, ‘’මට රා බොන්න ඕන” යි පවසා සිටියා. එවිට බිරිඳ ඔහු අමතා

‘’සිටුතුමනි, ඔය ආශාව ඉතා කුඩා දෙයක්, ඔබ වෙනුවෙන් එය මා සකසා දෙන්නම්, ඔබ වහන්සේ දිළින්දෙක් නෙවෙයිනේ. අපි නුවර වැස්සන්ටත් එක්කම සම්පාදනය කරමු”යි පැවසුවා.

එය කන වැකෙත්ම කෝපයෙන්

‘’නුවර වැසියන්ගෙන් අපට මොන ප්‍රයෝජනයක් ද?”යි එම අදහස ප්‍රතික්ෂේප කළා. දෙවැනියට සිටු මාලිගය අවට සිටින ජනයාටත් එක්ක සම්පාදනය කිරීමට අවසර ඉල්ලුවත් එයටත් අකැමැති වුණා.

අවසාන වශයෙන් සිටු බිරිඳ ‘’එහෙනම් අප දෙදෙනාට පමණක් සෑහෙන අයුරින් සම්පාදනය කරන්නම්” යනුවෙන් විමසා සිටියා. එවිට ඔහු කියන්නේ ‘’තී කුමටද?” මට විතරක් ඇති,හැබැයි සිටු මාලිගයේ රා හදන්න සූදානම් වෙන්න එපා. එහෙම වුණොත් තවත් අය බොන්න කැමැති වෙනවා.

විකුණන තැනකින් ටිකක් ගෙන්වා දෙව“යි අණ කළා. බිරිඳ සේවකයකු අමතා මුදල් දී රා බඳුනක් ගෙන්වා පිළිගැන්වූවා. එවිට මසුරු සිටුවරයා

‘’ඉදින් මම මේ රා බඳුන සිටු මාලිගයේ දී බිව්වොත් කවුරුන් හෝ දකිනවා. එවිට ඔවුන්ටත් දෙන්නට වෙනවා. ඒ නිසා දාසයකු සමග ගං ඉවුරට ගොස් බීමට අවස්ථාව සලසා ගත යුතුයි”

සිතා සේවකයකු සමඟ එහි ගොස් විශාල පඳුරකට මුවා වී රා බොන්න පටන් ගත්තා. සේවකයාට ඈතට යන්න අණ කළා.

මේ මොහොතේ ඔහුගේ පියතුමා දෙව්ලොව සිට තම පුතුගේ මනුෂ්‍ය ජීවිතය කෙසේ පවත්වාගෙන යන්නේ දැයි දිවැස් යොමා විමසා බැලුවා. එවිට දැඩි මසුරුකමින් යුක්තව ජීවත්වන බවත්, තමන් ජීවත්ව සිටිය දී කරගෙන ආ දන්දීම් ආදිය නවතා දමා ඇති බවත්, දාන ශාලා ගිනිබත් කර ඇති බවත්, දරුවන්ට, බිරිඳට සහ සේවක සේවිකාවන්ට නො සලකන බවත්, ධනය ම එකතු කිරීමේ නිරත වන බවත් දුටුවා.

ඔහුගේ මසුරු ගතිය නැති කිරීමේ අදහසින් පුතුගේ රුවට සමාන මිනිස් රුවක් මවාගෙන රාජමාලිගයට ගොස් රජතුමා හමුවී ‘’අවසරයි රජතුමනි, මම හදිස්සියේ ම අවේලාවේ ඔබතුමා බැහැ දකින්න පැමිණියේ වැදගත් දෙයක් සාකච්ඡා කරන්න. මගේ ධනය අසූ කෝටියක් තියනවා. ඒවා මට තනියම භාවිත කර අවසන් කිරීමට නොහැකියි. රටට සේවයක් කිරීමට රාජ්‍ය භාණ්ඩාගාරයට ඒවා පිරිනමන්න මම අදහස් කළා. මගේ ධනය බාර ගන්න”යැයි පවසා සිටියා.

එවිට රජතුමා

‘’සිටුතුමනි, මාගේ භාණ්ඩාගාරය ධනයෙන් පිරී තිබේ. ඔබේ ධනයට අභිමත දෙයක් කරව“යි පවසා සිටියා.

ඉක්බිති හෙතෙම සිටුමාලිගයට පැමිණ, බිරිඳ සහ දරුවන් හමුවී ධනය දන් දෙන බවත්, අණ බෙර ලවා දුප්පතුන් පමුණුවන ලෙසත්, තමාගේ රුවට සමාන කිසියම් කෙනෙක් පැමිණියහොත් එළවා දමන ලෙසත් උපදෙස් ලබා දුන්නා.

බිරිඳත්, දරුවනුත්, සේවක පිරිසත් ‘’සිටුතුමා අද රා බී මෙසේ මෘදු සිත් ඇත්තෙක් වීය”යි සිතා කටයුතු කළා.

මුතු මැණික් ආදී සියලු ධනය සිටුමාලිගය ඉදිරියේ පුරවා සිත් සේ රැගෙන යන්න අවස්ථාව ලබා දුන්නා. එක් දුගී මිනිසෙක් සිටුතුමාගේ අශ්වරථය සහ අශ්වයින් ගෙන එහි මුතු මැණික් පුරවාගෙන

‘’ඉල්ලීස සිටුතුමා සැමදා දිනේවා, ‘’ඉල්ලීස සිටුතුමා සැමදා දිනේවා”යි ඔහුගේ ගුණ ගයමින් ගං ඉවුර පසුකරමින් නිවස බලා ගමන් කළා.

ඒ හඬ රා බොමින් සිටි ඉල්ලීස සිටුතුමාට ඇසී ඔහු පසු පසු දිව ගොස්

‘’ඒයි දුෂ්ට කොල්ල, මේ අශ්වරථය සහ ධනය මාගේයි. සොරකම් කරගෙන කොහි ගෙන යන්නේද?”යි කියමින් ඒවා ඉල්ලා සිටියා.

එවිට මඟියා ‘’බොල, දෙපා වාරු නැති, වපරැති, නීචය, තා කිමෙක්ද? මට ඉල්ලීස සිටුතුමා දුන් දෙය තොපට අයිති වන්නේ කෙසේද?”යි පරොස් බස් කියමින් ඔහුගේ කෙස් වැටියෙන් අල්ලා, බොටුව මිරිකා, බිම දමා, පහර දී එළවා දැම්මා.

දැඩි වේදනාවෙන් වෙව්ල වෙව්ලා නැඟී සිට දූවිලි පිසදමා වහා වහා සිටු මාලිගයට ගොස් ඇතුළු වීමට සූදානම් වුණත් ආරක්ෂකයින්ගේ පහරදීම්වලින් පමණක් සංග්‍රහ ලැබුවා.

අවසානයේ තම පැමිණිල්ල රජුට දන්වා, තමාගේ ධනය රජතුමා මංකොල්ල කනවායි චෝදනා කළා.

එවිට රජතුමා ‘’ඔබ ම ධනය දන් දෙන බව පවසා මට චෝදනා නො කරන්න”යැයි පවසා සිටියා. එවිට ඉල්ලීස සිටුතුමා ‘’රජතුමනි ඔබතුමා හොඳටම දන්නවා මම තණ අගින් ගෙන තෙල් බිඳක්වත් දන් දෙන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් එහෙම වෙද්දී මෙහෙම දන්දීමක් මම කවදාවත් කරන්නේ නෑ.

මේ සිදුවීම රජතුමනි ඔබේ වැඩක්. එසේ නො වන්නේ නම් සිටුමාලිගයේ සිටින පුද්ගලයා මෙහි පමුණුවා ගැටලුව විසදා දෙන්න”යැයි ඉල්ලා සිටියා.

රජතුමා දෙදෙනාම ගෙන්වා පරීක්ෂා කළා.දෙදෙනාගේ ම රූප ශෝභාව සමානයි. බිරිඳත්, දරුවනුත්, සේවක සේවිකාවනුත් තෝරා ගත්තේ ඉල්ලීස ලෙස පෙනී සිටින ශක්‍ර දෙවියා යි.

අවසානයේ ඉල්ලීස ඉල්ලා සිටින්නේ තමාගේ කරණවෑමියා ගෙන්වා තම හිසෙහි තිබෙන කළු ලපය හඳුනාගෙන ගැටලුව විසඳන ලෙසයි.

කපුවා පැමිණ එය පරීක්ෂා කරන විට ශක්‍ර දෙවියනුත් එවැනි ලපයක් මවා ගත්තා. එයිනුත් ඉල්ලීස මසුරු සිටුතුමා පරාජයට පත් වුණා.

දුක උසුලා ගැනීමට නොහැකිව සිහි නැතිව ඇද වැටුණා. ඉක්බිති සිහි පැමිණි විට ශක්‍ර දෙවියන් සැබෑ දිව්‍ය ස්වභාවයෙන් පෙනී සිට ඉල්ලීස අමතා ‘’ඉල්ලීසය, මම තොපගේ පියතුමායි. පෙර කළ පුණ්‍ය මහිමයෙන් මම දැන් ශක්‍ර දෙවියන් ලෙස උපත ලබා ඇත්තෙමි. ඔබත් පංචසීලයේ පිහිටා කටයුතු කරන්න. නිතර දන් දෙන්න. මසුරුකම අත්හරින්න. මිය යන විට ධනය ගෙන යන්නේ නැති බව සිහි කරන්න. මාගේ උපදෙස් මත පිහිටා කටයුතු කරන්න”

යැයි අවවාද අනුශාසනා පවත්වා, තම උපදෙස් කි‍්‍රයාත්මක නො කරන්නේ නම් හිමි සියලු ධනය අන්තර්ධාන කරන බව ද පවසා දෙව්ලොවට ගියා.

මත්වතුර බොන අයත්, දැඩි මසුරුකමින් දිවි ගෙවන අයත්, මව්පියන් පවත්වාගෙන ආ පුණ්‍ය කටයුතු ඉවත දමා කටයුතු කරන අයත්, මෙලොව සහ පරලොව සුව සේ, සතුටින් ගත කිරීමට අපේක්ෂා කරන අයත් මේ කතාවේ හරය ආදර්ශයට ගෙන හැසිරීම ඉතා වැදගත් වෙනවා.

වෙසක් අමාවක

මැයි 29 ඉරිදා අපරභාග 02.59 අමාවක ලබා 30 සඳුදා අපරභාග 05.03 න් ගෙවේ.
29 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]