[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතන්නට බොහෝ දේ ඉතිරිව තිබේ

සිතන්නට බොහෝ දේ ඉතිරිව තිබේ

චම්පාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට මේ ඇතුන් ගමන් කරන විට ඇතුන් කරන වංචාකම්, කපටකම්, කෑමට අකැමැති දේ කැමැති දේ පිළිබඳ අපට තේරුම් ගන්න පුළුවන්. ඒ ඇතුන්ගේ හැසිරීමෙනි. එහෙත් මිනිසුන් ගැන එහෙම හිතන්න බෑ.’ පෙස්ස පිළිතුරක් බලාපොරොත්තු වන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නට වූහ.

කාලය ගෙවෙයි. සමාජය වෙනස් වෙයි. පරිසරය වෙනස් වෙයි. උදයට පිපුණු මල් හවසට මුකුලිත ව ගොම්මනේ මිලාන ව පොළොව සිප ගනී. රන්වන් දළු කහවන් ව වැටී බිම පිස දමයි. උදේ සිනා සී කතා කළ අය එදා ම හවස දැක දැකත් මුනිවත රකිති. අද අප ව වර්ණනා කරන අය, හෙට අප ව විවේචන කරති. බැලු බැලූ තැන අනියත් දම් පලට වෙයි. මිරිගුවක ඇලී එහි ම හොවී අපි, අප ව ම රවටා සිටිමු.

යුක්රේනය සහ රුසියාව යුද්ධ කරයි. එයින් දහස් සංඛ්‍යාත මව්පියන්ට දරුවන් ද, දරුවන්ට මව්පියන් ද අහිමි ව විලාප දීමට නියමිත යි. ඊට වැඩි පිරිසක් අබ්බගාත ව අනේක දුක් විඳිති.මේ එක් දැනෙන ආසන්න ම සාධකයක් පමණි. අනියත දහමක මහත.

බුදුරජාණන් වහන්සේ දිනක් මහ සඟරුවන පිරිවරා චම්පාවේ ගග්ගරා තෙර වසති. කන්දර නම් පිරිවැජියා සහ පෙස්ස නම් ඇත්ගොව්වා උන්වහන්සේ වෙත පැමිණෙති.

‘බුදු හාමුදුරුවනේ පුදුමයි. අද්භූත යි. කොහොම ද මේ වගේ පිරිසක් හදා ගත්තේ’ යැයි කන්දරක බුදුන් වහන්සේගෙන් විමසන්නට වූයේ මහා සංඝයා වහන්සේගේ සංවරභාවය අදහාගත නො හැකි වූ නිසාවෙනි.

‘ජීවිතය යතත් මගේ ශ්‍රාවකයෝ සිල් ඉක්මවා වැඩ කරන්නේ නැතැ’යි (ජිවිතහෙතුම්පි සික්ඛාපදං නාතික්කමති ) බුදුරජාණන් වහන්සේ උත්තර දුන්හ.

මේ සංවාදය දෙස නිහඬ ව බලා සිටි පෙස්ස මෙසේ කියන්නට විය.

‘ගහනං හෙතං භන්තෙ යදිදං මනුස්සා’ බුදු හාමුදුරුවනේ, සමහර මිනිස්සුන්ගේ ඇතුළින් එකක් පිටතින් තව එකක්, එසේ ම ‘උත්තානකං හෙතං භන්තෙ යදිදං පසවොති’ ඇතුළත තියෙන දේ පිටතට පෙන්වන තිරිසනුන් ඇතුළතිනුත් එක යි. පිටතිනුත් එක යි. පෙස්ස තවත් කියන්නට විය.

බුදුරජාණන් වහන්ස අපට සේවකයෝ සිටිති. ඒ අය ඇතුළින් එකක්. පිටතින් තව එකක් ය. ඔවුහු හිතන දේ නො කියති. නො කියන දේ හිතති. හිතන දේ නො කරති. මම ඇත්ගොව්වෙක්. චම්පාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට මේ ඇතුන් ගමන් කරන විට ඇතුන් කරන වංචාකම්, කපටකම්, කෑමට අකැමැති දේ කැමැති දේ පිළිබඳ අපට තේරුම් ගන්න පුළුවන්. ඒ ඇතුන්ගේ හැසිරීමෙනි. එහෙත් මිනිස්සුන් ගැන එහෙම හිතන්න බෑ.’

පෙස්ස පිළිතුරක් බලාපොරොත්තු වන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නට වූහ.

‘පෙස්ස මෙලොව මිනිස්සු වර්ග හතරක් ඉන්නවා. ඒ අයගේ චරිත තේරුම් ගත්තොත් ඒ අය මෙහෙයවන එක අපහසු නෑ’ බුදුන් වහන්සේ එම පුද්ගලයන් සිවුදෙනා ගැන මෙසේ දේශනා කළහ.

තමන් ම තැවෙන මිනිස්සු, අනුන් තවන මිනිස්සු, තමන් තැවෙමින් අනුන් ද තවන මිනිස්සු සහ තමන් නො තැවී අනුන් ද නො තවන මිනිස්සු වශයෙනි.

පෙස්ස ඔබ කැමති කුමන ආකාරයේ මිනිසෙක් වෙන්න ද? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරති. පෙස්ස කියා සිටියේ තමන් නො තැවී අනුන් ද නො තවා සිටීමට කැමැති බව යි. අපිට වැඩ තියෙනවා. බණ අහන්න වෙලාවක් නෑ කියූ මිතුරන් දෙදෙනා නික්ම ගිය හ.

ඔවුන් ගිය පසු බුදුන් වහන්සේ සංඝයා අමතා දේශනා කර සිටියේ තව මොහාතක් රැඳී සිටියේ නම් ඔවුන් යන්නේ හිස් අතින් නො වන බව යි. රැස්ව සිටි සංඝයා වහන්සේට එම සිව් මිනිසුන් ගැන බුදුන් වහන්සේ විස්තර කරන්නට වූහ.

පළමුවැන්නා - විවිධ ව්‍රත සමාදන් ව තමන්ට ම දුක් දී ගනී. භාරතයේ එකල විසූ අජව්‍රත, ගෝව්‍රත හා කුක්කරාදි ව්‍රත සමාදන් වූවෝ මෙහි ලා නිදසුන් ය.

දෙවැන්නා - අනුන් තවන්නා ය. සාකුන්තික නම් වූ කුරුලු වැද්දෝ ද, සූකරික වැනි ඌරු වැද්දෝ ද මෙහි ලා නිදසුන් ය.

තෙවැන්නා - තමන් සහ අනුන් යන දෙපාර්ශ්වය ම තවන්නෝ ය. යුද්ධකාමීහු මෙවැන්නෝ ය.

සිව්වැන්නා - තමන් නො තැවී, අනුන් ද නො තවන්නෝ ය. මොවුන් යහපත් පුද්ගලයෝ ය. මොවුන් සතු ගුණාංග රැසකි. ‘පාණාතිපාතා පටිවිරතො හොති’ පරපණ නැසීමෙන් වෙන් වෙයි. ‘නිහිතදණ්ඩො’ දඬු ගත් අත් නැත. ‘නිහිතසථො’ අවි ආයුධගත් අත් නැත. ‘ලජ්ජි’ පවට බිය ය. ‘දයාපන්නො’ දයාර්ද්‍ර ය.

අපි සැම දෙනා ම සැපයට කැමැත්තෝ වෙමු. දුකට අකැමැත්තෝ වෙමු. මිනිස්සු සතුට බලාපොරොත්තුවෙන් යුද්ධ කළ ද එහි අවසානය කලකිරීමකි.

මහා අධිරාජ්‍ය ධර්මාශෝක, මහාධිරාජ්‍ය ඇලෙක්සැන්ඩර් වැනි රජවරු මහා බලපරාක්‍රම ගොඩ නැඟුව ද අවසානයට ඉතිරි වූයේ දැඩි කනස්සල්ලක් පමණි.

ආයුධ අඩුවෙන් ඇති මහා ධනය ඇති වෙළෙන්දෙකු බියකරු මඟකින් ඈත් වී යන්නා සේ, ජීවත් වීමට කැමැත්ත ඇත්තා වස විෂවලින් ඈත් වන්නා සේ, පව දුරු කළ යුතු යැයි පෙළ සාහිත්‍ය පෙන්වා දෙයි.

වර්තමානයේ තම බලපරාක්‍රම පෙන්වනු පිණිස රුසියාවත් යුක්රේනයත් මහත් යුද්ධයක ඇළී සිටියි. සංස්කෘත නාට්‍යයක එන ශ්ලෝකයක් මෙහි දී මට සිහි වේ. ‘රජතුමනි, අමෝරා ගත් ආයුධය අකුළා ගන්න. ඔබට ආයුධයක් දී ඇත්තේ අහිංසකයන් රැකීමට විනා අහිංසකයන් පෙළීමට නො වේ.’ යනුවෙනි. එහෙත් අද අහිංසකයෝ දහස් ගණනක් මරණයේ විලාප නඟමින් සිටිති. එය දුරු කළ යුතු ය.

‘දින්නදායී දින්නපාටිකංඛී අථෙනෙන සුචිභුතෙන’ යන සදුක්තියට අනුව අප හැඩ ගැසිය යුතු ය. දෙන දේ ගනියි. දුන් දේ කැමැති වෙයි. හොරකම් නො කරයි. එවිට පිරිසුදු චරිතයක් ඇත්තේ වෙයි. එසේ ද ‘කාමෙසු මිච්ඡාචාරා පිටිවිරතො හොති’ කාමය වරදවා හැසිරීමෙන් වෙන් විය යුතු ය. සත්‍යවාදී විය යුතු ය. අවිහිංසාවාදී විය යුතු ය. ඇත්තට ඇත්ත ගැළපිය යුතු ය. ලෝකයට ගැළපෙන දේ කථා කළ යුතු ය.

මිනිසුන්ට සිතක් ඇත. ඒ සිතීමට ය. අපිට සිතන්න යමක් ඉතුරුව ඇත. ඒ තමන් ඉහත කුමන මිනිසුන්ගේ වර්ගයට අයත් ද? යන්න යි. හිතන්න. විමසන්න. හැදෙන්න.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]