[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර අටවක 2022-03-10

අප්‍රමාදී වෙමු

අනුපුබ්බෙන මෙධාවි - ථොක ථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජතස්සෙව - නිද්ධමෙ මල මත්තනොති

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයේ සැදැහැවත් බමුණෙක් අරභයා දේශනා කොට වදාළ ගාථා ධර්මයකි මේ.

‘නුවණැති පුද්ගලයා පිළිවෙළින්, ටිකෙන් ටික, ඉඩ ලද මොහොතක් මොහොතක් පාසා පින් කරයි. රන්කරුවෙක් අමු රන්වල ඇති මල කෝවෙහි දමා රත් කරමින් ටිකෙන් ටික ඉවත් කරන්නා සේ ඔහු ටිකෙන් ටික තමාගේ කෙලෙස්මල දුරුකර හරියි යනු මේ ගාථා ධර්මයෙහි අර්ථයයි.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයේ සැදැහැවත් බමුණෙක් අරභයා දේශනා කොට වදාළ ගාථා ධර්මයකි මේ.

දිනක් සැදැහැවත් බමුණෙක් දෙව්රම් වෙහෙර අසලින් ගමනක් යමින් සිටියේ ය. ඒ උදෑසන දෙව්රම් වෙහෙරේ සිට භික්ෂූන් වහන්සේ පිඬුසිඟා වඩින්නට සූදානම් වූ මොහොතකි. උන්වහන්සේ තණ බිමක සිට සිවුරු පොරවනු බලා සිටි මේ සැදැහැවත් තැනැත්තා දුටුවේ තණ කොළ මත වූ පින්නෙන් උන්වහන්සේගේ සිවුරු කොන් තෙමී යන බවයි. ඒ ගැන කනගාටු වූ බමුණා උදැල්ලක් ගෙන ඒ බිම පිරිසුදු කළේ ය. තවත් දිනක් උදෑසන එහි සිට සිවුරු පොරවන එක් භික්ෂූන් වහන්සේ නමකගේ සිවුරෙහි කෙළවරක් බිම ගෑවී පස් තැවරෙනු දුටු මේ බමුණා වැලි ගෙනැවුත් එහි විසිරුවා දැමීය. තවත් දිනක් ඔහු ඒ අසලින් යන්නේ දැඩි හිරු රශ්මිය නිසා භික්ෂූන් වහන්සේ පීඩාවට පත්ව සිටිනු දැක එහි සෙවණ සදමින් මඩුවක් තැනවීය.

තවත් දවසක ඔහු එමඟින් යන අවස්ථාවේ මද වැසි වැටෙන්නට විය. මද වැස්සේ තෙමි තෙමී සිවුරු පොරවන භික්ෂූන් වහන්සේ දැක ඔහු ශාලාවක් කරවන්නට සිතුවේ ය. ඒ සිතිවිලි පල ගැන්වෙමින් එහි අලංකාර ශාලාවක් ඉදි කරන්නට ද ඔහු සමත් විය. භික්ෂූන් වහන්සේ වෙත එම ශාලාව පූජා කරන දිනයේ උත්සවයක් පවත්වා එහි වැඩම කරන ලෙස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට ඔහු ආරාධනා කළේ ය. උන්වහන්සේ වෙනුවෙන් අලංකාර දානමය පුණ්‍ය කර්මයක් ද සිදු කළේ ය. දන් වළඳා අවසන්හි බමුණා බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේ තමන් පියවරෙන් පියවර, ටිකෙන් ටික ශාලාව තැනවීම දක්වා ආ ගමන් මඟ පිළිබඳවයි.

බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා ධර්මය මාතෘකා කරමින් ඒ අවස්ථාවේ බමුණාට ධර්මය දේශනා කළහ.

මේ කතාපුවත සහ ගාථා ධර්මය බෞද්ධයින් ලෙස අපට මාහැඟි මාවතක් පෙන්වා දෙයි. කවර මං සොයා ගියත් ජීවිතයට සැනසුම ලැබෙන මාවත අප බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ සිරි සදහම් මාවත ම පමණක් බව අවිවාදිත ය. එහෙත් පංචශීල ප්‍රතිපදාව හෝ රකින්නට ඇතැම් බෞද්ධයෝ උත්සුක නොවෙති. මෙවැනි අය නාමිකව පමණක් බෞද්ධයන් ලෙස හඳුන්වා ගන්නවා විනා සැබෑ බෞද්ධයන් නොවන බව වටහා ගත යුතුම ය. සැබෑ බෞද්ධයා ශ්‍රද්ධාවෙන් ම තෙරුවන් සරණ ගිය පුද්ගලයා ය. ඔහු අතින් කවර මොහොතක හෝ පාප කර්මයක් සිදු නොවන්නේ ය. ඒ පවට බිය හා ලජ්ජාව ඇති හෙයිනි. එයින් නොනැවතී ඒ පුද්ගලයා මොහොතක් පාසා මද වශයෙන් හෝ පින් කරන්නට උත්සාහ කරයි. ඒ උත්සාහය ම ඔහු තුළ වන ලෝභ, ද්වේෂ, මෝහාදී අකුසල් මුල් ටිකෙන් ටික සිඳ දමයි. පෙර කී බමුණා තණකොළ උදලු ගා පිරිසුදු කිරීමෙන් නොනැවතී භික්ෂූන් වහන්සේ වෙනුවෙන් මහා ශාලාවක් ඉදිකොට ටිකෙන් ටික පින් පුරවා ගත් ලෙසිනි.

එසේ පින් කටයුතුවලට සිත මුල්වන විට පාපයට නැඹුරුවීමේ ඉඩකඩ ඇහිරී යයි. එය දෙලොව දියුණුව ලැබ මේ දුක් සහිත සසර මඟ නිමා කිරීමේ මාවතයි. ඒ මාවතට පැමිණෙන්නට අප තවමත් ප්‍රමාද නැත.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]