[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රශ්න අවම කරගන්න මරණය ගැන සිහි කරන්න

ප්‍රශ්න අවම කරගන්න මරණය ගැන සිහි කරන්න

මේ මරණානුස්සති කර්මස්ථානයෙහි ආරම්භක ගාථා දෙක යි. පළමු වැන්නෙන් කියැවෙන්නේ “අනුන්ගේ මරණ උපමා කර ගනිමින් දැල් වූ පහනක් මෙන් තමා ගේ ආයුෂ ද කවර මොහොතක හෝ කෙළවර විය හැකි යැ”යි, සිහිපත් කරමින් මරණය පිළිබඳ සිහිපත් කළ යුතු බව යි. ලොව ධන සම්පත්, බල සම්පත්, නැණ සම්පත් ලැබූ මහා උතුමන් පවා මිය පරලොව ගියා සේ මම ද මිය පරලොව යන්නෙමි. මට ද මරණය උරුම වන්නේ ය.” යනු දෙවැනි ගාථාවෙහි අර්ථය යි.

උදා වූ අවස්ථාවෙහි පටන් අස්තය කරා ගමන් කරන සූර්යයා මෙන් ජීවිතය මොහොතක් හෝ නොනැවතී නිරතුරුව ම නොපසුබටව මරණය කරා ගමන් කරන්නේ ය, යනාදී වශයෙන් දැක්වෙන කරුණු රැසක් මෙම මරණානුස්සති කර්මස්ථානයෙහි අන්තර්ගත ය.

ස්වභාවිකව ම උපතත් සමඟම අපට උරුම වන මරණය පිළිබඳ මෙසේ මෙනෙහි කිරීම ලෞකික ජීවිතයේ අප විසින් ම ගොඩනඟා ගනු ලබන ප්‍රශ්න අවම කර ගැනීමට හේතු වෙයි.

සංයුත්ත නිකායෙහි පඨම ආයු සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසුන්ගේ ආයුෂ ඉතා අල්ප බවත්, බොහෝ කල් ජීවත්වන කෙනකු වුව ද වසර සියයක් හෝ ඊට වඩා මදක් අඩු වැඩි කාලයක් ජීවත්වන බව යි.

පුද්ගලයකු ගේ මරණය සිදුවිය හැකි ක්‍රම සතරක් බුදු දහමෙහි ඉගැන්වෙයි. ආයුෂ ගෙවී යාම (ආයුක්ඛය) එහි පළමුවැන්න යි. එය “ස්වභාවික මරණය” සේ අර්ථ දැක්විය හැකි ය. දෙවැන්න කර්ම ශක්තිය අවසන්වීම යි. (කම්මක්ඛය) ආයුෂත්, කර්ම ශක්තියත් යන දෙක ම අවසන්වීම (උභයක්ඛය) තෙවැන්න යි. සිව්වැන්න ආයුෂත්, කර්ම ශක්තියත් දෙකම ඉතිරිව තිබිය දී හදිසි අනතුරු ස්වභාවික විපත්, ලෙඩ රෝග වැනි කිසියම් උපද්‍රවයක් පැමිණීමෙන් සිදුවන මරණය යි. මේ අනුව කර්මය මරණය සඳහා එකම හේතුව නොවන බව මනාව පැහැදිලි ය. එක් අතෙකින් සත්ත්වයකු ජීවත්වනවා යැයි කීම මරණය කරා දිව යාමක් බව ප්‍රකාශ කිරීම නිවැරැදි ය. මරණය පිළිබඳ පහත දැක්වෙන ආකාර අට අනුව සිහි කිරීම ද මරණාණුස්සතිය වැඩීමේ දී සිදු කළ හැකි ය. මෙය ඉගැන්වෙන්නේ විසුද්ධි මාර්ගයේ ය.

වධක උපමාව

වධකපච්චුපට්ඨානතෝ

වධකයකු උපමාවට ගෙන මරණය සිහි කිරීම මෙයින් ඉගැන්වෙයි. රජ අණින් හිස ගසා දමන්නට කඩුවක් අමෝරා ගත් වධකයකු නියමිත වේලාව පැමිණි කල්හි පසුබට නොවී හිස ගසා දමන්නාක් මෙන් උපන් මොහොතේ සිට තමන් සමඟ පැමිණි මරණය නමැති වධකයා අවස්ථාව පැමිණි කල්හි නිසැකව ම තමා මරා හෙළන බව සිහි කිරීම මෙහි අදහස යි.

විපතින් කෙළවරවීම

‘සම්පත්ති විපත්තිතෝ’

ලොව සෑම සම්පත්තියක් ම විපතින් කෙළවර වන බව සිහි කිරීම මෙමඟින් ඉගැන්වෙයි. අපට ඇති වටිනාම සම්පත අනෙකක් නොව ජීවිත සම්පත්තිය යි. එම ජීවිත සම්පත්තිය ද විපතින් හෙවත් මරණයෙන් කෙළවර වෙයි.

සැමගේ උරුමය

‘උපසංහරණතෝ’

මිය පරලොව ගිය අන්‍යයන් සේ ම තමන් ද මිය යන බව මෙයින් කියැවෙයි. බුදු,පසේබුදු, මහරහත් නිකෙලෙස් උතුමන්ට පවා මෙය පොදු නම් අප ගැන කියනුම කවරේ ද?

සාධාරණ බව

කායබහුසාධාරණතෝ

ශරීරය බොහෝ දෙයට සාධාරණ වශයෙන් මෙනෙහි කිරීම යි. සියලු රෝගයන්ට වාසස්ථානයකි. නයි, පොළොං,සිංහ, හස්ති යනාදී සත්ත්වයන්ට ශරීරය සාධාරණ ය . මුහුදු ළිං, පොකුණු ආදියෙහි ගිලී මියෙති. කඳු පර්වත ආදී උස් තැනින් වැටී මියෙති. තමාට ද එසේ විය හැකි ය. මෙසේ නොයෙකුත් විපත්වලට ඕනෑම අවස්ථාවක ගොදුරුවිය හැකි සිරුරක් දරන බව සැලකීම කායබහුසාධාරණ වශයෙන් මරණය ගැන සිහි කිරීම යි.

අවිනිශ්චිත බව

ආයුදුබ්බලතෝ

ආයුෂයේ දුබල බව සලකා මරණය ගැන සිහිකිරීම මෙයින් ඉගැන්වෙයි. ජීවත්වීම ආශ්වාස ප්‍රශ්වාසයන් නිසා සිදුවන්නේ ය. මෙම ක්‍රියාවලිය අක්‍රිය වුවහොත් එපමණකින් ම මරණය සිදුවිය හැකි ය. එවන් ඉතා දුර්වල පැවැත්මක් ඇති ජීවිතය කවර මොහොතක වැනසේ දැයි කවරකුට නම් කිව හැකි ද?

නිමිති නොමැතිවීම

අනිමිත්තතෝ,

මරණයට මෙතෙක් කල් ජීවත්වන්නේ යැයි කීමට නිමිති නොමැත. අනිමිත්ත හෙවත් නිමිති නොමැති කරුණු සතරෙකි.

ජීවත්වන්නා වූ කාල ප්‍රමාණය, මිය යන රෝගය, මිය යන වේලාව, මියගිය පසු සිරුර බහාලන ස්ථානය

මේවා පූර්ව නිමිති වශයෙන් ස්ථිරව ම මෙසේ සිදු වේ යැයි, කිසිවකුටවත් කිව නොහැකි ය.

ජීවිත කාලය

අද්ධානපරිච්ඡේදතෝ

පරම ආයුෂ වසර 100 ක් හෝ ඊට වඩා මදක් අඩු වැඩි කාලයක් ලෙස ගෙන ජීවිතය කාල පරිච්ඡේද වශයෙන් සිහි කිරීම මෙහි අදහසයි. වසර සියයක් කෙසේ වෙතත් අද ඉන් ඉතා මෙහා වයස්වලට අයත් වූවෝ මියෙති. වෙසෙසින් ම මෙකල ආයුෂ අඩු ය. මරණය වෘද්ධ පටිපාටිය හෙවත් වැඩිහිටි පිළිවෙළ අනුව සිදුවන්නක් නොවේ.

වෙනස්වීම

ඛණපරිත්තතෝ

ජීවිතය මොහොතින් මොහොත පවත්නා බව සිහි කිරීම යි. ජීවත්වීම චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට මාරු වෙමින් සිදු වන්නේ ය. ඉකුත් චිත්තක්ෂණයෙහි ජීවත් නොවූයේ නම් දැන් ජීවත්වීමක් නොමැත. රිය සකක්( රෝදයක්) පෙරළෙන කල්හිත්, නවතා තිබෙන විටත් බිම හැපී පවතින්නේ එකම තැනකි. එසේම සත්ත්වයාගේ ජීවත්වීම පවත්නේ චිත්තය පිළිබද ස්ථීති (පවත්නා) අවස්ථාවේ පමණක් ය. එය බිඳීම මරණය යි. මෙසේ මෙම සෑම ආකාරයකින් ම මරණය ගැන සිහිකොට ක්‍රියා කිරීම මෙලොව ජීවිතයට සේ ම පරලොව ජීවිතයට ද බෙහෙවින් වැඩදායක ය. මෙකී කරුණු මෙනෙහි කරමින්

“අද්ධුවං ජීවිතං ධුවං

මරණං! මරණ පරියෝසානං මේ ජීවිතං” “ජීවිතය අනියතයි මරණය නියත යි. මාගේ ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය” යනුවෙන් මරණානුස්සතිය වැඩිය යුතු ය.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]