[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාසනානුලෝමික පැවතුමෙන් පිරිපුන් භික්ෂු පරපුරකට මඟ සදන ප්‍රාචීන භික්ෂු විද්‍යාලය සත්වන සංවත්සරය සමරන වගයි

ශාසනානුලෝමික පැවතුමෙන් පිරිපුන් භික්ෂු පරපුරකට මඟ සදන

ප්‍රාචීන භික්ෂු විද්‍යාලය සත්වන සංවත්සරය සමරන වගයි

 

පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසන පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා දෙමින් ශාසනානුලෝමික පැවතුම්වලින් පිරිපුන් වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් බිහි කිරීමේ පරමෝදාර ප්‍රාර්ථනාව පෙරදැරි කර ගනිමින් සාමාන්‍ය පිරිවෙනක අධ්‍යාපන පටිපාටියට වඩා ක්‍රමවත් වූ භික්ෂු අධ්‍යාපන ආයතනයක් වශයෙන් අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ මහා ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ සහකාර ලේඛකාධිකාරී, දර්ශනපති, රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී නාහිමිපාණන් වහන්සේගේ අදහසකට අනුව ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය හඳුන්වා දිය හැකි ය.

ධර්මධර, විනයධර, බහුශ්‍රැත, සංඝ සෝභනයන්ගෙන් හෙබි නව දැනුම හමුවේ නො සැලෙන පරිණත දර්ශනයක් සහිත පාණ්ඩිත්‍යයෙන් මෙන් ම ශ්‍රද්ධාවෙන් යුත් භික්ෂුවක් තැනීම මූලික පරමාර්ථය වූ මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කුඩා හිමිවරුන් නවීන තාක්ෂණය, විදේශ භාෂා පිළිබඳ දැනුමින් ද සන්නද්ධ කොට ත්‍රිපිටකය හා තදනුබද්ධ අටුවා, ටීකා ආදී දැනුමින් පරිපූර්ණත්වයට පත් කොට ජාතික හා ජාත්‍යන්තර ධර්මදූත මෙහෙවරෙහි යෙදවීම අරමුණු කොට ඇත.

බෞද්ධ අධ්‍යයන විෂය පථයන්ගෙන් ඈත් වූ විෂයයන් කෙරෙහි ආකර්ෂණය වීම වෙනුවට ත්‍රිපිටක ධර්මය, ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා දැනුම, භාවනා, ධර්මදේශනා හා පිරිත්දේශනා පුහුණුව ඇතුළු ප්‍රායෝගික විෂය නිර්දේශයක් ඔස්සේ තෙවසරක කාලයක් ශිෂ්‍ය හිමිවරුන් හික්මවා එහි පළමු වසරෙහි දී විනය පිටකයත්, දෙවන වසරේ සූත්‍ර පිටකයත්, තෙවන වසරේ අභිධර්ම පිටකයත් උගන්වා අවසානයේ ත්‍රිපිටකාචාර්ය උපාධිය පිරිනැමීමත්, ශාස්ත්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කොට ප්‍රවචන විශාරද උපාධිය හිමි කොට ගැනීමටත් මෙහි විෂය නිර්දේශය සකස් වී ඇත.

තෙවසරක සාර්ථකව අධ්‍යාපනය සම්පූර්ණ කළ පළමු ශිෂ්‍ය කණ්ඩායම පසුගිය වර්ෂයේ ඉතා ඉහළ අධ්‍යාපන දස්කම් දක්වමින්, රාජකීය පණ්ඩිත සහ ත්‍රිපිටකාචාර්ය උපාධිධාරී හිමිවරුන් වශයෙන් සමාජ ගත වී තිබීම අනාගත ශාසනාලෝකය පිළිබඳ සුබ පෙරනිමිති දනවන්නකි.

මහෝපාධ්‍යාය ධුරීන බලපිටියේ සිරිසීවලී නාහිමිපාණන් වහන්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියෙන් ඉවත් වී දෙස, බස, දැය, සමය උද්දීපනය කරවීමට සමත්කම් ඇති ශ්‍රමණයන් වහන්සේලා පිරිසක් බිහි කිරීමේ පරමෝදාර ප්‍රාර්ථනාවෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය සත් වසරක් වැනි කෙටි කලක දී එම අරමුණු සමෘද්ධිමත් වීමේ පෙරමං සලකුණු පෙන්වීම සුබ පෙරනිමිත්තකි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ ආශීර්වාදයෙන්, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක, අතිපූජ්‍ය අහුංගල්ලේ සීලවිසුද්ධි මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ තත් නිකායික සුධර්මා කාරක සංඝසභාවේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය මේ දක්වා කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබා, මහෝපාධ්‍යාය නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් සැදැහැති කප්පියකාරක දායකවරුන්ගේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන ආයතනයක් බව වෙසෙසින් සඳහන් කළ යුතු ය.


ප්‍රාචීන භික්ෂු විද්‍යාලයීය පරමාර්ථය

ධර්මධර විනයධර බහුශ්‍රැත සංඝ සෝභනයන්ගෙන් හෙබි නව දැනුම හමුවේ නොසැලෙන පරිණත දර්ශනයක් සහිත පාණ්ඩිත්‍යයෙන් මෙන්ම ශ්‍රද්ධාවෙන් යුත් භික්‍ෂුවක් තැනීමයි.

අරමුණු

ලෞකික අරමුණු මූලික කර ගත් විෂය නිර්දේශයන් සහිත අධ්‍යාපන ක්‍රියාවලියෙන් භික්‍ෂුව මුදවා ගැනීම.

ත්‍රිපිටකය, තදනුගත අටුවා ටීකා ප්‍රකරණ ග්‍රන්‍ථයන් ප්‍රාමාණික ලෙස උගන්වා භික්‍ෂුවගේ ධර්ම ඥානය වර්ධනය කිරීම.

සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂා ප්‍රාමාණික වශයෙන් අධ්‍යයනය කිරීමට ඉඩප්‍රස්ථාව ලබාදීම.

නූතන භාෂා සමඟ නව තාක්‍ෂණික දැනුම අවශ්‍ය පරිදි ප්‍රායෝගිකව භාවිත කිරීමට පුරුදු පුහුණු කිරීම.

ශාසනික චාරිත්‍රවිධි හා භාවනා, වත්පිළිවෙත් පූරණය, පිරිත් ධර්මදේශනාදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් අභ්‍යාස කිරීම.

දේශිය මෙන්ම විදේශීයව ද ථේරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා භික්‍ෂූන් වහන්සේලා පුරුදු පුහුණු කිරීම.


ශාසනාභිවෘද්ධියහිලා වෙසෙස් ‍ෙමහෙවරක් කරන අධ්‍යාපන ආයතනයකි

බලපිටිය මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරස්ථ ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලය ආරම්භ වූයේ භාෂාව, චර්යාව හා චින්තනයෙහි වෙනසක් තුළින් බුදුදහමත් සිංහල, පාලි, සංස්කෘත, ඉතිහාසය, පුරාවිද්‍යාව, ඡන්දෝලංකාර, භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍ය ඉගැන්වීමේ අරමුණෙනි.

වර්ෂ 2015 මාර්තු 11 වැනිදා මාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම භික්‍ෂු විද්‍යාලය අද වන විට ස්ව විතර්කයන්ට ගැළපෙන අධ්‍යාපන ආයතනයක් ලෙස ශාසනාභිවෘද්ධියෙහිලා ඉටුකරනු ලබන මෙහෙය අගය කළ යුතු ය.

ත්‍රිපිටක ධර්මය, අටුවා ටීකා සහිතව අධ්‍යයනය කිරීමෙහිලා මෙම භික්‍ෂු විද්‍යාලය මගින් පවත්වනු ලබන පාඨමාලාව වෙසෙසින් අගය කළ යුතු ය.

බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් ධර්ම ශාස්ත්‍රයන්හි මනා පැවැත්මත් සඳහා ආචාර්ය ධර්ම, ශිෂ්‍ය ධර්ම ආරක්‍ෂා විය යුතු බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එහෙත් වර්තමාන අධ්‍යයන අධ්‍යාපන ක්‍රියාවලිය තුළ එය කෙතරම් දුරකට පවතින්නේ ද යන්න ගැටලුවකි. ඒ අතින් ගත් කල බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලයෙහි ගුරු ශිෂ්‍ය දෙපක්‍ෂය තුළම එකී ආචාර්ය ධර්ම පවතින බව මා දැක ඇත.

ශාසනයේ උන්නතිය වෙනුවෙන් ශික්‍ෂාකාමී ධර්ම විනයධර උගත් භික්‍ෂු සමූහයක් නිර්මාණය කිරීමෙහිලා මූලිකත්වය ගෙන ක්‍රියාකරනු ලබන විද්‍යාලයේ නිර්මාතෘ හා මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නායක ස්ථවිරපාදයන් වහන්සේ මෙම කාර්යයෙහිලා දරන පරිශ්‍රමය අගය කළ යුතු ම ය. තමන් වහන්සේ දැරූ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරය පවා අතහැර ශාසනාලයෙන් යුතුව සිදු කරනු ලබන මෙහෙය නැවත නැවතත් අගය කරමින් ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලය චිරාත් කාලයක් වැජඹේවා'යි ආශිංසනය කරමි.


භික්ෂු අධ්‍යාපනයේ මූලික පරමාර්ථය සම්පූර්ණ කිරීම අපගේ අරමුණයි

වසර 2600කට පමණ පෙර බරණැස ඉසිපතන මිගදායේ දී එළිමහන් පන්ති කාමරයක ශිෂ්‍යයින් පස්දෙනකුගෙන් ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඇරඹි භික්‍ෂු අධ්‍යාපනය අද්‍යතනය වන විට ලෞකික අරමුණුවලින් හෙබි විෂය නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ගොස් මූලික පරමාර්ථයෙන් ගිලිහී ඇති බව සක්සුදක් සේ පැහැදිලි ය. භික්‍ෂු අධ්‍යාපනයේ මූලික පරමාර්ථය විය යුත්තේ පරියත්ති, පටිපත්ති හා පටිවේද යන ත්‍රිවිධ ශාසනය ගැන පරිපූර්ණ දැනුමක් හා අවබෝධයක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට ලබා දීම ය. එසේම ශාසනානුලෝමික වත්පිළිවෙත් පුරුදු පුහුණු කිරීම ය.

එසේ වුවත් වර්තමාන පිරිවෙන් අධ්‍යාපනය මෙකී පරමාර්ථයන්ගෙන් හෙබි භික්‍ෂුවක් නිර්මාණය කරන්නට අපොහොසත් ය. විශේෂයෙන්ම මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා යොමු වන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට බොහෝ පිරිවෙන් ආයතන මගින් ලැබෙන්නේ විභාගවලින් උත්තීර්ණවීමට පමණක් සීමා වුණු අධ්‍යාපනයක් පමණි.

මේ නිසා මූලික පිරිවෙන් අවසානයෙන් පසුව භික්‍ෂු අධ්‍යාපනයේ ඇති එම බරපතළ හිඩැස මඟහැර ත්‍රිපිටක ධර්මය, ප්‍රාචීන භාෂා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් (වත්පිළිවෙත් භාවනාදිය) අධ්‍යයනය කිරීමට හා පුරුදුපුහුණු කිරීමට තරුණ භික්‍ෂූන් වහන්සේලා යොමු කිරීම සඳහා මාගේ අදහසකට අනුව 2015 මාර්තු 11 දින ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලය ආරම්භ කරන්නට යෙදුණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අභිධජ මහාරට්ඨගුරු

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ හා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක, සිරිසද්ධම්මවංසපාල ගණාචරිය අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහා නායක ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ පාලක මණ්ඩලයක් මඟින් අප ආයතනය පවත්වාගෙන යනු ලබයි. මේ වන විට ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා හතළිස් හය නමක් පූර්ණකාලීන නේවාසිකව අධ්‍යයන කටයුතුවල නිරත වෙති. රජයේ කිසිදු ආධාර මුදලක් නොලබා අවුරුදු හතක් තිස්සේ අඛණ්ඩව අධ්‍යයන ක්‍රියාවලිය සාර්ථකව සිදු කරන්නට ලැබීම සතුටට කරුණකි.


නැණ ගුණයෙන් සුපෝෂිත භික්ෂූන් වහන්සේ සසුනට දායාද කිරීම භාග්‍යයකි

ආධ්‍යාත්මික සංවර්ධනය මූලික කර ගත් සාම්ප්‍රදායික භික්‍ෂු අධ්‍යාපනයේ හැඩතල වෙනස් වෙමින් ලෞකික සංවර්ධනය මූලික කර ගත් නූතන භික්‍ෂු අධ්‍යාපන රටාවක් වර්තමානයේ ක්‍රියාත්මක වන බව නොරහසකි. එහෙයින් භික්‍ෂු අධ්‍යාපනයේ පරමාර්ථ ගිලිහී ගොස් ඇත. මෙම යථාර්ථයට පිළිතුරු සෙවූ දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නාහිමියෝ තම සිතට නැඟුණු නිර්මාණශීලි අදහසකට අනුව 2015 මාර්තු 11 දින බලපිටිය මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරයේ දී ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලය ස්ථාපනය කරන ලදී. වසර හතක් තිස්සේ ඉටු කරන ලද අධ්‍යාපන සේවාව නිසා ඥානයෙන් හා ගුණයෙන් සුපෝෂිත තරුණ භික්‍ෂු සමූහයක් සම්බුද්ධ ශාසනයට දායාද කරන්නට ලැබීම අප ලද භාග්‍යයකි.

මහෝපාධ්‍යායන් වහන්සේගේ අනුශාසනා අනුව පාලක සභාවක් මගින් විද්‍යාලයේ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.

පළපුරුදු ප්‍රවීන කථිකාචාර්ය මණ්ඩලයක් ඉගැන්වීම් සිදු කරන අතර දවස පුරාම වරින්වර දේශන පන්ති හා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්, අභ්‍යාස සිදු කරනු ලබයි.

කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ පමණ සියලු අවශ්‍යතා සලසාලීම ද විශේෂත්වයකි.


ත්‍රිපිටකාචාර්ය ගෞරවෝපාධි ලබති

පයාගල සුමනසාර හිමි මණ්ඩලපුර ධම්මකිත්ති හිමි

ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ අභ්‍යන්තරික ශිෂ්‍යයකු වශයෙන් තුන් අවුරුදු ප්‍රාචීන අධ්‍යාපන පාඨමාලාව හදාරා පණ්ඩිතෝපාධිය සමත් වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ එම තුන් අවුරුදු කාලයේ දි, සියක් ධර්ම දේශනා අභ්‍යාස පාඨමාලාව, ආධ්‍යාත්මික සංවර්ධන පාඨමාලාව, ත්‍රිපිටක අධ්‍යයන පාඨමාලාව සාර්ථකව හදාරා සමත් වූ විට විද්‍යාලයීය අධ්‍යාපන මණ්ඩලයේ අනුමැතිය පරිදි ත්‍රිපිටකාචාර්ය ගෞරවෝපාධිය පිරිනැමේ.

ඒ අනුව මෙවර පයාගල සුමනසාර හිමියන් හා මණ්ඩලපුර ධම්මකිත්ති හිමියන් ත්‍රිපිටකාචාර්ය ගෞරවෝපාධිය හිමි කර ගැනීමට සුදුසුකම් සපුරා ඇත.

පයාගල සුමනසාර හිමියන් පයාගල කොස්හේන විජයාරාමාධිපති ඕපනායක රතනසාර හිමියන්ගේ ශිෂ්‍යයෙකි. මණ්ඩලපුර ධම්මකිත්ති හිමියන් කහදූව අම්බන ශ්‍රී රාහුල සංඝරාජ ඉඳුරු ගල්ලෙන් විහාරාධිපති සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ජූලංගැටේ චන්දිම හිමියන්ගේ ශිෂ්‍යයෙකි.


අධ්‍යාපනයේ උසස් ගුණාංග සපිරීම අගය කළ යුතුයි

බලපිටිය මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරයේ පිහිටා ඇති ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලයේ හත්වන සංවත්සරය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ හදපිරි සතුටිනි. ධර්ම විනයධර බවෙන් හා පාණ්ඩිත්වයෙන් තොර භික්‍ෂුභාවය ගරු සම්භාවනීයත්වයට පත් නොවෙයි. මේ බව අවබෝධ කර ගත් රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නායක ස්වාමීන් වහන්සේ 2015 මාර්තු 11 වැනි දින ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලය ආරම්භ කළේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පණ්ඩිතෝපධාරී භික්‍ෂූන් වහන්සේලා සමූහයක් සකස් කිරීමේ අරමුණෙන් ය. එකී අරමුණ මේ වන විට චවනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඉටු වී ඇති බව සතුටින් යුතුව සඳහන් කරමි.

ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලයේ අභ්‍යන්තරික ශිෂ්‍යයකු ලෙස තුන් අවුරුදු පාඨමාලාව හදාරා

පණ්ඩිතෝපාධිය සමත් වූ භික්‍ෂූන් වහන්සේලා පරිවේණාචාර්ය සේවයට එක්ව පිරිවෙන් අධ්‍යාපන ක්‍රියාවලිය උසස් ගුණාංගයන්ගෙන් යුක්තව පවත්වාගෙන යාමට ලබා දෙන දායකත්වය මෙහිදී අගය කරමි.

පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නායක ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලය රජයේ කිසිදු අනුග්‍රහයක් නොමැතිව ශාසන හැඟීමෙන් යුතුව ම පවත්වාගෙන යාම අගය කරමි.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]