[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිකත කම්පා කළ පැතුමක අසිරිය

මිහිකත කම්පා කළ පැතුමක අසිරිය

"මගධ රට ඔහු තරම් කඩවසම් වෙනත් තරුණයකු නොසිටියේ ය. ඔහු රන්වන් පාට ය. උත්තුංග දේහධාරි ය. තරුණියෝ ඔහු දැකීමට ප්‍රිය කළහ. පිප්පලි නම මුමුණන්නට වූහ. එහෙත් කිසිදු කාන්තාවක් ඔහුගේ සිත් නොගත්තේ ය. ඔවුන් නොදැනීම සසර පුරා පැතූ පැතුමක් අවසන් වරට හමු වන්නට ආසන්න වෙමින් තිබුණි."

ඇය භද්‍රාකාපිලානි නම් විය. මදුරට සාගල නුවර ධනවත් මව්පියන් යුවළකගේ ආදරණීය දියණිය යි. ඇය තරම් රුවැත්තියක් එකල සාගල නුවර නොවීය. මිණි කැට සේ බබළන දිගු නෙත් සඟල සුන්දර ය. නීල වර්ණ දිගු කෙස් වැටිය මොණර පිල් කළඹක් ලෙසින් බැබළුණි.

දෙව් ලොවින් බට සුර කුමරියක් සේ ඇය පියකරු ය. ඇය සමඟ විවාහ වීමට එකල රජවරු, සිටුවරු පවා සිහින දුටුවහ. ඒත් භද්‍රාඇගේ සිත ඒ කිසිවකුගේ සිත් නොගත්තී ය. ඇයවත් නොදන්නා හේතුවකට කිසිදු පුරුෂයකු වෙත ඇයගේ සිත නතර නොවුයේ සසරේ කළ අධිෂ්ඨානයක් නිසා ම ය.

සසර පුරා ගිහි කල ස්වාමියා කර ගැන්මට ඇය පැතු කෙනකු විය. ඇය හමුවන තුරු ඔහු බලා සිටියේ ය .ඔහු ඇයටත් ඇය ඔහුටත් සසර පුරා පෙම් බැන්දහ. ඔහු නමින් පිප්පලි ය.

මගධ රට ඔහු තරම් කඩවසම් වෙනත් තරුණයකු නොසිටියේ ය. රන්වන් පාට ය. උත්තුංග දේහධාරි ය. තරුණියෝ ඔහු දැකීමට ප්‍රිය කළහ. පිප්පලි නම මුමුණන්නට වූහ. කිසිදු කාන්තාවක් ඔහුගේ සිත් නොගත්තේ ය. ඔවුන් නොදැනී සසර පුරා පැතු පැතුමක් අවසන් වරට හමු වන්නට ආසන්න වෙමින් තිබුණි.

පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභියස පැතූ පැතුමක් සසරේ නොකැඩී නොබිඳී ඔවුන් දෙදනා පසුපස එමින් තිබුණේ ය. අවසානයේ යෝජිත විවාහයකට දෙදෙනාට ඇරයුම් ලැබුණි. ඒත් ඔවුන් දෙදෙනා ම දැන සිටියේ නෑ මෙසේ හමුවන්නට යන්නේ සසරේ එකට සිටි ආදරණිය යුවළ බව. දෙදෙනා ම රහසින් දෙදෙනාට ලිපි දෙකක් හුවමාරු කළේ ය.

“පින්වත් භද්‍රා විවාහ වීමට කිසිදු අපේක්ෂාවක් මට නැත. එනිසා ඔබ වෙන කෙනකු හා විවාහ වෙන්න කැමැති වෙන්න. මම කැමැති පැවිදි වෙන්න යි”

ඇයද එලෙසින් ම ලිපියක් ඔහු වෙත යැවී ය.

“පින්වත් අයියණ්ඩි, මම කැමැති මහණ වෙන්න යි. මේ මව්පියන්ගේ යෝජනාවක්. එනිසා ඔබ වෙන තරුණියක් සමඟ විවාහ වෙන්න”

අතරමඟ දී සේවකයෝ ලිපි දෙක වෙනස් කර මම කැමතියි ඔබ සමඟ විවාහ වෙන්න කියා දෙදෙනාට ම බොරු ලිපි දෙකක් ලැබෙන්නට සැලසුම් කළහ. ඒ අනුව දෙදෙනා ම නො දැනුවත්ව ම විවාහයට දින නියම විය.

"දැන් කරන්නට දෙයක් නැත. විවාහ වී හෝ මම කියනවා මෙම විවාහයට මම කැමැති නැති බවත්, පැවිදි වීමට ආශා බවත්. මම ඔහු කැමති කරවාගෙන පැවිදි වෙනවා" කියා භද්‍රාද සිතුවා ය.

මංගල්‍ය දිනයේ දී පිප්පලී කුමරු පළමු වරට ඇය දුටුවේ ය. ඒ විරාගි නෙත් සඟල භද්‍රාගේ හදවත මෙහොතකට නතර කළේ ය. සසර පුරා එකට සිටි තම සහකරුවා දැන් තමන් අසල ය. ඇයගේ හදවත මොහොතකට නතර විය. ඒ නෙත් සඟලේ රාගයක් ගෑවිලාවත් තිබුණේ නැත. පිප්පලි කුමරුගේ ද හදවත ඒ තරුණියගේ නෙත් අසල නැවතුණේ ය. ඒ නෙත් සඟලේ ද රාගයේ ඡායාවක්වත් නැත.

"මම මේ තරුණිය කොහෙදී හරි දැක තියෙනවා." පිප්පලි තනියම මිමුණුවේ ය. ඔවුන් දෙදෙනාම දැන සිටියේ නෑ සසර පුරා මෙලෙසින්ම ඔවුන් අතිනත ගෙන ඇති බව.

භද්‍රා ඇයි ඔබට මම එවපු ලිපිය ලැබුණේ නැද්ද? මම ඔබට කිව්වනේ මම මේ ගිහි ජීවිතයට ආස නෑ කියලා"

" අනේ අයියණ්ඩි, මමත් ඔය ආකාරයට ම ලිපියක් එව්වානේ. ඔබනේ මට ලියා එව්වේ මා හා විවාහ වීමට කැමති බව. එවිට දෙදෙනාට ම වැටහෙන්නට වූයේ එය මව්පියන් තමන් වටා එතූ උගුලක් බවයි."

"නැඟණිය දැන් කිරීමට කිසිවක් නැත. අපේ මව්පියන් මිය යන තෙක් අපි ගිහි ගෙදර ඉමු. ඉන්පසු අප දෙදෙනාගේ ම කැමැත්ත මත පැවිදි වෙන්නට යමු."

පිප්පලි තම සයනය මැදින් සමන් මල්දමක් ඇතිරුවේ ය.

"නැඟණිය, අපි මේ දෙපැත්තේ සයනය කරමු. අප අතරේ කාට හෝ රාග සිතක් පහළ වුවොත් මේ මල් දම පර වේවා!" දෙදෙනා ම අදිටන් කළහ.

ඒ සිත්හි අසිරිය නම් පුදුමයකි. අවුරුදු දොළහක් යන තුරු ඒ මල්දම මැල නොමවුණි. වසර දොළහකට පසු මව්පියන් මිය ගිය පසු මේ පින්බර යුවළ ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නට පිටත් විය. කසාවත දරා පිටත් වන දෙදෙනාට සමු ගන්නට කාලය පැමිණියේ ය.

"ස්වාමිනී එහෙනම් අපි සමු ගමු. වසර දොළහක් ඔබ මා රැකබලා ගත්තා. ආශ්චර්යයක්මයි ඔබේ විරාගි සිත. නුඹට මා කෙරෙහි රාග සිතක් හට ගත්තේ නැහැ. අවසන් වරට මට ඔබගේ පා වඳීන්නට අවසර යි. මෙතෙක් මා අතින් යම් වරදක් සිදු වුණා නම් සමාවන සේක්වා!

."භද්‍රා කිමෙක් ද මේ පවසන්නේ. නුඹ සිතත් බොහෝ අසිරිමත්. වසර දොළහක් පුරා ගැහැණියකගේ සිතක රාග සිතක් හට නොගැනී ම ඒකාන්තයෙන් ම පුදුමයක්.

" ස්වාමිණී එහෙනම් මට යන්න අවසර. කාන්තා අපට සුදුසු වම් පැත්ත යි. ඔබ වහන්සේ දකුණු දෙසට වඩින්න. ඔබට ඒ අමා නිවන් සුව මුණ ගැසේවා!"

එසේ සසර පුරා කල්ප ගණන් දෙදෙනා අත් නොහැර සිටි යුවලක් සසරේ අවසන් වරට වෙන් වි ගියේ ය. නැවත කිසිදාක හමු නෙවෙන සේ වෙන් වූයේ ය. කල්ප ගණනක් ආදරයෙන් සිටි දෙදෙනා අවසන් වරට වෙන් වන මෙහොතේ මහ පොළොව කම්පා විය. ඒ ධරණි මාතාව ද එදා මේ සුන්දර යුවළ ඉදිරියේ කම්පා වී ගියේ ය.

මෙසේ එකවර ම මහ පොළොව කම්පා වන්නේ ඇයිදැයි කියා අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් බැලු සේක. ගෞතම බුදු සසුනේ ධුතාංගධාරි තම පුතණුවන් වන කාශ්‍යප සහ භද්‍රා කාපිලානිය වෙන් වීම දරා ගන්නට නොහැකිව මහා පොළොව ද කම්පා වූ බව උන්වහන්සේ දිවැසින් දුටුසේක. ඒ සම්බුදු රදුන් තමා සොයා එන පින්වන්ත කුමරා වෙනුවෙන් පෙරට වැඩම කොට බුදු රැස් විහිද වූ සේක. කල්ප ලක්ෂයකට පෙර කළ පැතුමක් අවසානයේ සඵල විය.

පිප්පලි කුමරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විය. භද්‍රා කාපිලානි මහරහත් තෙරණියක් බවට පත් විය. ඇය ගෞතම සම්බුදු සසුනේ පෙර විසූ කඳ පිළිවෙළින් සිහි කරන්නට හැකි භික්ෂූණින් අතරින් අග්‍ර ස්ථානයේ වැඩ සිටියහ. එතැන් පටන් නැවතත් ඒ උත්තමාවියට කස්සපයන් වහන්සේ හමු වූ බවට සඳහනක් නැත.

මෙලෙසින් මහ පොළොව කම්පා කළ විරාගී සෙනෙහසක් නිමා විය. වසර දොළහක් පුරාවට එකම සයනයේ සයනය කළත් ඒ සිත් රාගයෙන් යටපත් නොවීම අරුමයක් විය.

ඒත් අද මෙවැනි සුන්දර යුවතිපතිනියන් අප අතර නැති තරම් ය. තාක්ෂණය අප තරුණ දු දරුවන්ගේ සිත් වශි කර අවසන් ය. බොහෝ තරුණ දියණියන් ආදරය නාමයෙන් වංචනිකයන්ට හසුවනු පෙනේ. ඇතැම් විට මවුකුස තුළ දී ම අසරණ දරුවන් ගබ්සා වනුයේ, කිරිකැටි බිළිඳුන් මහ මඟ අතහැර යන්නේ එහි ප්‍රතිඵලය ලෙසට ය.

තරුණ දියණිවරුන්ට සේ ම තරුණ පුතුන්ට ද මේ කතාව අපූර්ව ආදර්ශයකි. ආදරය යන වදනෙහි සැබෑව තේරුම් ගෙන මංමුළා නොවී අවබෝධයෙන් ජීවිතය ගෙන යන්නට දෙන ඒ ආදර්ශ ජීවිතයට ප්‍රායෝගික කර ගන්නට සිතට ගත යුතු ය.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]