[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උදාර ශාසනික මෙහෙවරක නියැළෙන ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ

උදාර ශාසනික මෙහෙවරක නියැළෙන ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර වැඩම කරනු ලබන්නේ කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

දිවයිනේ බොහෝ වෙහෙර විහාර ආරක්ෂා කරගෙන විවිධ දුෂ්කරතා මැද සේවය කරන භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන ආදර්ශවත් භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් නායක මාහිමිපාණන් වහන්සේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් අංග සම්පූර්ණ දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කිරීමට අපමණ වෙහෙසුණහ. එපමණක් නොව විදේශ රටවල් සමඟ ඇති සම්බන්ධතා පදනම් කරගෙන සිදුකරන විවිධ සමාජ සත්කාර ක්‍රියාදාමයන් නිසා වර්තමානය වන විට අභයාරාමය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය වෙමින් ඇති බව ද සඳහන් කළ යුතු ය.

කෝ ට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයකින් පිරිපුන් සුපේශල ශික්ෂාකාමී බහුශ්‍රැත පඬිරුවනකි.

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මුරුත්තෙට්ටුව නම් රමණීය ග්‍රාමීය පරිසරයක 1943 වර්ෂයේ ජනවාරි මස 26 වැනි දින ජන්මලාභය ලැබූහ. පූර්වෝකෘත පුණ්‍ය මහිමය අනුව එරත්න පතිරන්නැහැලාගේ එබ්‍රහම් සිංඤෝ මහෝපාසකතුමා සහ අලුත්ගමරාලලාගේ පොඩිමැණිකේ මහෝපාසිකා මාතාව යන සැදැහැවත් දෙපළ මව්පියන් කොට උපත ලැබූ පින්වත් කුමරු ගමේ පන්සලේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම මත සසුන්ගතවීමට තරම් පුණ්‍ය මහිමය බලවත් විය.

මුරුත්තෙට්ටුව යෝගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ කුල කුමරු කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පත්බේරියේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් 1952 වර්ෂයේ දී කිරුළපන පූර්වාරාම විහාරස්ථානයේ දී මුරුත්තෙට්ටුවේ ආනන්ද යන ශාසනික නාමයෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගත්හ. අනතුරුව මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාස්ථානය තුළ වැඩ සිටි වියත් ඇදුරු මඩුල්ලක් හමුවේ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබූ කාල පරිච්ඡේදයේ දී ම 1957 ජූලි 07 වැනි දින කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහානායක මොල්ලිගොඩ අරියවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හා ගරු සම්භාවිත පත්බේරියේ ධම්මාලෝක නායක හිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභා සීමා මාලකයේ දී පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමානව සුපරිසුද්ධෝපසම්පදාවට පත් වූහ.

ජාතික, සාමාජික ආදී වශයෙන් අප රට විවිධ අභියෝගයන්ට මුහුණදුන් අවස්ථාවන්හි ද ශාසනානුලෝමී හැඟීමෙන් උදාර ශාසනික සේවාවක නියැළුණ ධර්මධර විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ නමක් වශයෙන් ී ජාතියේ යහපැවැත්ම උදෙසා පෙරමුණ ගෙන ක්‍රියා කළහ.

භික්ෂු සමාජය සුරක්ෂිත කිරීමට බාහිරින් එන බලවේග මැඩපැවැත්වීමට හා භික්ෂු සමාජයට එල්ලවන උපද්‍රව සමනය කිරීමට “පැවිදි හඬ” සංවිධානය පිහිටුවීමට උන්වහන්සේ පුරෝගාමී වූහ. ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදින්ගෙන් රට ආරක්ෂා කර ගැනීමට “මව්බිම සුරැකීමේ” සංවිධානයත් රජරට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් “ජල බඳු නොගෙවන” පරිසරයක් නිර්මාණය කිරීමටත් උන්වහන්සේ නායකත්වය ලබා දුන්හ.

බොහෝ ජනයාට හිතසුව පිණිස හැසිරෙන යතිරුවනක් වන උන්වහන්සේ සුවිශාල කාර්යභාරයක් සපරාලූයේ ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ තවත් කිසිදු භික්ෂුවක් ගමන් නොකළ හෙද සේවයට සම්බන්ධ වෙමින් 1969 වර්ෂයේ දී රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමය ආරම්භ කිරීම තුළිනි. දිවයිනේ බොහෝ වෙහෙර විහාර ආරක්ෂා කරගෙන විවිධ දුෂ්කරතා මැද සේවය කරන භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකරන ආදර්ශවත් භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් නායක මාහිමිපාණන් වහන්සේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් අංගසම්පූර්ණ දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කිරීමට අපමණ වෙහෙසුණහ.

එපමණක් නොව විදේශ රටවල් සමඟ ඇති සම්බන්ධතා පදනම් කරගෙන සිදුකරන විවිධ සමාජ සත්කාර ක්‍රියාදාමයන් නිසා වර්තමානය වන විට අභයාරාමය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය වෙමින් ඇති බව ද සඳහන් කළ යුතු ය.

මව්බිම සුරැකීම උදෙසා 1987 ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව නිර්භීතව කටයුතු කළා සේ ම සුනාමි ව්‍යවසනයේ දී උන්වහන්සේ විශාල ජන පිරිසකට ආධාර උපකාර ලබා දෙමින් විපතට පත්වූවන්ට අප්‍රමාණ ශක්තියක් වූහ. එමෙන්ම ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදීන් විසින් 1987 ජනවාරි 01 වැනි දින නැඟෙනහිර පළාතේ සිංහලයන් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ජනයා පලවාහරින ලද අනාථ වූ සිංහල පවුල් 147 කට අයත් 737 ක සාමාජික පිරිසකට නාරාහේන්පිට අභයාරාම විහාර භූමියේ නවතාගෙන රැකවරණය ලබා දුන්හ.

යුද්ධය අතිබිහිසුණු ලෙස සිදුවේගෙන යද්දි ද උතුරු නැඟෙනහිර යුද කඳවුරුවලට වැඩම කළ උන්වහන්සේ යුද්ධයේ දී තුවාල ලැබූ ත්‍රිවිධ හමුදා, පොලිස් නිලධාරින්ට සේවා සැපයීම සඳහා හෙද කණ්ඩායම් එම ප්‍රදේශවලට පිටත්කිරීමට කටයුතු කළහ.

ඒ වගේම වර්තමානය වන විට මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි පදනම හරහා කෝටි 60 ක වියදමින් මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ සැලසුම් සංවිධානය වෙමින් පවතී. එම භූමිය තුළ සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක්, ථෙරවාදී බෞද්ධ පර්යේෂණාගාරයක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් හා දහම් පාසලක්, අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇතුළුව ජාතික, ආගමික, සාමාජික හා ජාත්‍යන්තර වශයෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කිරීමේ භාරදූර වගකීමට උන්වහන්සේ පෙරමුණ ගෙන සිටී.

ජනතා සම්මානයෙන් නිරතුරුව පුද ලබන උන්වහන්සේ කෝට්ටේ සංඝ සභාවෙන් “ශාසන කීර්ති ශි‍්‍ර” යන ගෞරව නාමය ද විද්‍යෝදය පිරිවෙනින් ශ්‍රී සුමංගල විද්‍යාවංශ ගෞරව නාමයෙන් ද සම්භාවනාවට පාත්‍ර වූහ. 2011 වර්ෂයේ දී ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව වෙතින් බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය ලැබූ නාහිමිපාණන් වහන්සේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයෙන් පිදුම් ලැබූහ.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]