[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

 

පින්බර පැවිදි දිවියේ අඩසියවසක් සපිරූ තපෝවනයේ දමිත හිමි

මාතර දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල ග්‍රාමයේ විසූ සුවඳහැන්නදිගේ ජෝන් සිල්වා සහ ජොසිනෝනා මුතුමාල නම් සැදැහැවත් යුවතිපතීන්ගේ දස දෙනකුගෙන් යුත් පවුලේ පුත්රුවනක ලෙස වර්ෂ 1960 අගෝස්තු මස 10 වැනිදා උපන් මෙම පින්වත් කුමරා ජස්ටින් ජයරත්න නමින් හැඳීන්විය. දොළොස් හැවිරිදි කුල කුමරුවකු ලෙස සිටියදී 1970 මාර්තු මස 13 වැනි දින කළපළුවාව ගෝතම තපෝවනයට පැමිණ මූලික බණදහම් වාචෝද්ගත කිරීමෙන් අනතුරුව වර්ෂ 1972 පෙබරවාරි මස 16 වැනිදා සසුන්ගත වූහ.

උන්වහන්සේගේ ආචාර්‍යත්වයට පත්වූවාහු කළපළුවාව ගෝතම තපෝවනයේ නිර්මාතෘවර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අධිකරණ නායක කුඩාවැල්ලේ වංගීස නාහිමිපාණන් වහන්සේ යි. ඇදුරුපාණන් වහන්සේ ඇසුරෙහි බණදහම් වත් පිළිවෙත් පිළිබඳ පුහුණුව ලද දමිත පොඩිහාමුදුරුවන්ට මූලික ශාසනික අධ්‍යාපනයේ ගුරුකුලය වූයේ හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙන යි. උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත්ව ටික කලක් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හැදෑරීමට දමිත හිමියන්ට හැකිවිය. ශාසනික යෝග්‍යතා සපුරා වර්ෂ 1983 ජූලි 24 වන දින කළපළුවාව ගෝතම තපෝවනස්ථ බද්ධ සීමා මාලකයේ දී බටපොල අනෝමදස්සි නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් බටපොල බුද්ධමිත්ත, වඩුමුල්ලේ මේධානන්ද, දොඩම්පහල චන්දසිරි යන නාහිමිවරුන්ගේ කර්‍මාචාර්‍යත්වයෙන් සුපරිශුද්ධෝප සම්පත්තියෙහි පිහිටියහ. වර්ෂ 1981 දී අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත් වූ තපෝවනයේ දමිත හිමි රද්දැල්ලේ පඤ්ඤාලෝක අනුනාහිමි, කොටනෙළුවේ චන්දජෝති, වැලිගම සීලානන්ද, පොතානේ ධම්මානන්ද, කබලෑවේ පියභාරතී, මුරුතැන්නේ පේමාලංකාර, අත්තංගනේ රතනපාල, ජී.එස්.බී. සේනානායක වැනි ආචාර්‍ය මහාචාර්‍යවරුන් වෙතින් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හදාරා වර්ෂ 1986 දී ත්‍රිපිටකවේදී උපාධිය හිමිකර ගැනීමට සමත්වූහ.

අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු ශ්‍රී ගෝතම තපෝවන මූලස්ථානයෙහි ශ්‍රී වංගිස නමින් පිරිවෙනක් වර්ෂ 1986 දී ආරම්භ කළ අතර, එහි ප්‍රථම ආචාර්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස වර්ෂ 1986 අගෝස්තු මස 01 වැනි දින සිට කටයුතු ආරම්භ කළහ. වර්ෂ 1989 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගැනීමට ද දමිත හිමියෝ සමත්වූහ. දීර්ඝ කාලයක් වංගීස පිරිවෙනෙහි ආචාර්‍යවරයකු ලෙස කටයුතු කළ මුන්වහන්සේ වර්ෂ 2010 දී එහි පරිවේණාධිපති ධූරයට ද පත්වූහ.

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය පිළිබඳ වගකීම් සම්භාරයක් දශක තුනකට ආසන්න කාලයක සිට මුන්වහන්සේ හොබවනු ලබති.

වර්ෂ 1989 දී දොඩම්පහල චන්දසිරි මහා ස්වාමීන්ද්‍රයන් ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක ධුරයට පත්වූ දා සිට වර්තමානයෙහි උත්තරීතර මහානායක ධුරයට පත්වනතෙක් නිකායික වශයෙන් ඉටුවිය යුතු සේවාවන් සඳහා මහානාහිමියන්ගේ සෙවණැල්ල සේ සිටිමින් උපස්ථම්භක වූයේ තපෝවනයේ දමිත හිමියන් බව නොරහසකි. තෛ‍්‍රනිකායික භික්‍ෂු මහා සංඝරත්නයේ සේ ම අප නිකායික සියලු දෙනා වහන්සේගේ ද ගෞරවාදරයට පාත්‍රවී සිටින මුන්වහන්සේ අනතිමානී ගුණයේ ප්‍රතිමූර්තියක් බව පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. එතරම්ම ප්‍රියශීලී බවක් මුන්වහන්සේගේ කතාබහ, ගමන බිමන, ඇවතුම් පැවතුම් තුළ ගැබ්ව ඇත.

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ කාරක සභික, විධායක සංඝ සභික, නියෝජ්‍ය විධායක ලේඛකාධිකාරී පදවි දැරූ මුන්වහන්සේ 2021 නොවැම්බර් 28 වැනි දින විධායක ලේඛකාධිකාරී ධුරයට ද පත්වූහ. දොඩම්පහල චන්දසිරි උත්තරීතර මහා නාහිමියන්ගේ ලේකම් ස්වාමීන් වහන්සේ ලෙස දශක තුනකට ආසන්න කාලයක් මුන්වහන්සේ ඉටු කළ මෙහෙවර වෙසෙසින් අගය කළ යුතු ම ය.

ජන්ම ලාභයෙන් හැට දෙවසරකුත්, ප්‍රව්‍රජ්‍යා දිවියේ පනස් වසරකුත් උපසම්පදාවෙන් වසර තිස් නවයකුත් සම්පූර්ණ කරන ත්‍රිපිටකවේදී තපෝවනයේ දමිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් ලෝ සසුන් වැඩවඩන්නට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ශ්‍රී සම්පත් සැලසේවා'යි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි.


දැමුණු නිවුණු ගති ඇති ගොම්බද්දල දමිත හිමි


මහ තෙරපාණ කෙනෙක් වන අතිපූජ්‍ය ගොම්බද්දල දමිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිය පනස්වෙනි ජන්ම දිනය සමරති.

උන්වහන්සේ සැබැවින්ම ප්‍රඥා සම්පන්නයහ. ත්‍යාග සම්පන්නයහ. සත්‍ය ගරුකයහ. නමට ම ගැළපෙන සේ දැමුණු හැසිරීම් ඇත්තාහ. හැම විටෙක ම ස්වසන්තාන හා පරසන්තාන ශාන්තිය පිණිස ම කටයුතු කරන්නාහ. මුනිවරයකු සතු විය යුතු වූ ගුණ ඇති මොවුන් වහන්සේ වැනි උතුමකුගේ පහළවීම ද ලොවට සුව සදන්නකි.

මාතර දිස්ත්‍රික්කයේ ගොම්බද්දල නම් ග්‍රාමවරයෙහි විසූ ගෘහාධිපති වූ හිටපු ගම්සභා නියෝජිත මාටින් ජයවීර මහතාට සහ එමලිහාමි ලියනගේ මාතාවට පුත් ව මීට හරියට ම පනස් වසරකට පෙර දස දරු පවුලක සාමාජිකයකු ව සුමනසේන ජයවීර නමින් පින්වත් කුල කුමරුවෙක් උපන.

උපතින් ම සම්බුදු සසුනට ඤාතීත්වය ඇතිව උපන් මෙම පින්වත් දරුවාගේ ලොකු අප්පච්චි වූයේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහා නායක ධූරය හෙබ වූ ගොම්බද්දල නන්දාරාම මහා නායක මාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ කලණ මිතුරු ඇසුර නිසා ම සසුනට ඇලුණු සිත් ඇති මෙම කුඩා දරුවා 1986.06.18 වෙනි දින උතුම් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළු විය.

කුඩා වියෙහි පටන් ඉගෙනීමට සමත්කම් දැක් වූ ගොම්බද්දල දමිත සාමණේරයන් වහන්සේ සිය මූලික අධ්‍යාපනය මාතර මිගදාය රතනපාල පිරිවෙන, කැස්බෑව නන්දන පිරිවෙන, නුගේගොඩ සුභද්‍රාරාම මහ පිරිවෙන යන විද්‍යායතනවලින් ලබා ගත්හ. වර්ෂ 1993 මාර්තු මස 31 වැනි දා ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර සංඝ සභාවේ කල්‍යාණී නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සිය සුපරිශුද්ධෝපසම්පදාව ලබා ගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය දිනා ගත් උන්වහන්සේ එතැන් පටන් දක්ෂ ගුරුවරයකු ලෙසින් බොහෝ විද්‍යාස්ථානයන්හි සිසු දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්හ. මෙකලැ උන්වහන්සේ පැපිලියාන සුනේත්‍රා මහාදේවී මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපතීන් වහන්සේ ලෙසින් කටයුතු කරති.

බොරලැස්ගමුව, කටුවාවල පරමධම්ම විසුද්ධාරාමාධිකාරීන් වහන්සේ ලෙසින් කටයුතු කරන අප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වසර 25ක් පමණ දිගු කාලයක් මුළුල්ලේ කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස කටයුතු කර සිදු කරන ලද සුවිශේෂ සේවාව පිළිබඳ ව ප්‍රසාදයට පත් කොළඹ දිස්ත්‍රික්කයට අයත් විහාරස්ථානවල විහාරාධිපතීන් වහන්සේලා උන්වහන්සේ සිය දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස පසුගිය දා පත් කර ගන්නා ලදහ.

දමිත හාමුදුරුවෝ පි‍්‍රයශීලීය හ. උන්වහන්සේ පුබ්බහාසී ය. සැමට පළමු ව සුහද සිනා පළ කරති. සැමට පළමු ව කතා කරති. අප කොහේ දී දුටුවත් වදනක් හෝ කතා කර යාමේ සිරිතක් උන්වහන්සේ සතු වේ. උන්වහන්සේ සිය ගුරුදේවයන්ට සේ ම දෙගුරුන්ටත් ඉතා සෙනෙහසින් කටයුතු කරන කෙනෙකි. පරපටිබද්ධ ජීවිතයක් වූ පැවිදි ජීවිතයට අදාළ භික්ෂු ආකල්පවලින් උන්වහන්සේ පොහොසත් ය. එසේ ම උන්වහන්සේ රටට, ජාතියට, ආගමට අදාළ කුමන කාර්ය භාරයක නිරත වූවත් තම සීමාව මැනැවින් දැන හඳුනා කටයුතු කරති.

දමිත හාමුදුරුවෝ ඇසින් සංවර ය. කනෙන් සංවර ය. නැහැයෙන් සංවර ය. දිවෙන් සංවර ය. කයින් සංවරය, වචනයෙන් සංවර ය, සිතින් සංවර ය. සැබැවින් ම සැමතින් ම සංවර ය. නමට ම ගැළපෙන සේ නිමුණු දැමුණු ගත පැවැතුම් ඇත්තාහ. උන්වහන්සේ අත්තහිත පටිපන්න සේ ම පරහිත පටිපන්න ද වෙති. උන්වහන්සේ ජෝති ජෝති පරායණ වෙති.

අංගුත්තර නිකායේ සෝතාර සූත්‍රයෙහි සඳහන් වෙන පරිදි ප්‍රශංසා කටයුතු භික්ෂුවක්, පිදිය යුතු භික්ෂුවක් ළඟ තිබිය යුතු සියලු ගුණයන් උන්වහන්සේ සතු ය.

උන්වහන්සේ අනුනට ඇහුම්කන් දෙන සුළු ය. අන් මත ඉවසන සුළු. තුන් දොර රක්නා සුළු, ළාමක පාපක අදහස් නසන සුළු ය, ගමන් කළ යුතු නිසි මඟෙහි ගමන් කරන සුළු ය. මේ නිසා ම උන්වහන්සේ දුර සිටියත් සොයා ගොස් වැඳීමට සුදුස්සෙකි. ළඟට පැමිණි විට පළමු ව හරසර දැක්විය යුත්තෙකි. දායකයාගේ දන් මහත්ඵල මහානිසංස කර දීමේ සමතෙකි. අත් දෙක නළලෙහි තබා වැඳිය යුත්තෙකි.

සැදැහැවතුන්ගේ පින් ඵල සරු කරන මහ කෙතකි. මේ සා ගුණ කඳකින් හෙබි සිය දිවි මඟේ පනස් වෙනි විය සපුරන, ශ්‍රී ලාංකේය පිරුවෙන් අධ්‍යාපනයටත්, බෞද්ධ අධ්‍යාපනයටත් උදාර සේවාවක් සිදු කරන, ශ්‍රාවකයන්ට ආදිකල්‍යාණ, මජ්ෙක්‍ධ් කල්‍යාණ හා පරියෝසාන කල්‍යාණ වූ හැම අතින් ම පරිපූර්ණ ලෙස ධර්මය ද දේශනා කරමින් සුවහසක් බොදු දන හද මන පුබුදන ගොම්බද්දල දමිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් සුව සේ සසුන් වැඩ වඩන්නට ඇවැසි කායික හා මානසික ශක්තිය උදා වේවා'යි ඉත සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]