[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන් ක්‍ෂේත්‍රයේ අද්විතීය නාමයක් තැබූ දෙල්තොට චන්දානන්ද නාහිමියෝ

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික පාරිවේණික අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ අද්විතීය ශ්‍රී නාමයක් තැබූ කීර්තිධර යතිවරයන් වහන්සේ නමක් ලෙස ගඟ උඩගම ශ්‍රී සෝණුත්තරාරාමය, මල්උල්ල ශ්‍රී අභිනවාරාමය යන විහාරද්වයාධිපති, හිටපු පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති දෙල්තොට චන්දානන්ද නාහිමි හඳුන්වා දිය හැකි ය.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ගම් දහය දකුණු කෝරළයේ උඩදෙල්තොට නම් වූ පැරැණි සුන්දර ගම්පියසක් වෙයි. සැදැහැවත් සොඳුරු මිනිසුන් සිටින එහි විසූ රත්නායක මුදියන්සේලාගේ පොල්වත්තේගෙදර අප්පුහාමි මහතා සහ මැදවල මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකේ මාතාව යන දම්පතීන් ගේ පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1948 අප්‍රේල් මස 09 වැනි දා දෙල්තොට චන්දානන්ද නාහිමියෝ ජන්මලාභය ලැබූ හ. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ උඩදෙල්තොට මහා විද්‍යාලයෙනි.

කුඩා කල සිට ම ඉතා සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1963 මැයි මස 03 වැනි දින ගඟ/උඩගම ශ්‍රී සෝණුත්තරාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. එහි දී උන්වහන්සේ ගේ ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලා වූයේ ගොනගංතැන්නේ ශ්‍රී සුමංගල මාහිමි සහ උඩගම සෝමරතන මාහිමි ය. තදනන්තරව මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ දෙල්තොට නාහිමියෝ එහි දී මාදන්වල සුමනසාර නාහිමි, මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරීව වැඩ සිටි රඹුක්වැල්ලේ ශ්‍රී සුමංගල නාහිමි සහ වෑකුඹුරේ සිරිනිවාස මාහිමි ප්‍රමුඛ ගිහි පැවිදි විද්වත් ආචාර්ය මණ්ඩලය වෙතින් අධ්‍යාපනය ලැබීමට තරම් භාග්‍යවන්ත වූහ. වර්ගපටිපාටියෙන් ඉතා සාර්ථක ව අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාගයන්ගෙන් භාෂාත්‍රයෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත්හ. වර්ෂ 1968 මැයි මස 17 වැනි දා මහනුවර අස්ගිරි මහා විහාරීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබූ හ.

ඉක්බිතිව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලැබූ අතර ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙනි.

වර්ෂ 1972 සිට මාදන්වල ධර්මෝදය මහ පිරිවෙනේ පරිවේණාචාර්යවරයෙකු ලෙස පත් වූ දෙල්තොට නාහිමි වසර 22ක් පුරාවට ම තත් පිරිවෙනේම සේවය කොට එහිම නියෝජ්‍ය පරිවේණාධිපති හා පරිවේණාධිපති ධූරවලට ද පත්

විය. පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු ලෙස තෝරා පත්කරගත් අතර කුරුණෑගල, කළුතර, කොළඹ, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල සේවය කළේ ය. තව දුරටත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) සහ පළාත් භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) යන තනතුරුවලට ද උසස්වීම් ලැබ එකී තනතුරු බෙහෙවින්ම ශෝභාමත් කළේ ය.

දෙල්තොට නාහිමියන් ගේ මෙකී උතුම් සේවාවන් පිළිබඳ බෙහෙවින්ම ප්‍රසාදයට පත් මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් උන්වහන්සේ වෙත “ප්‍රාචීන භාෂා ශාස්ත්‍රශූරී සද්ධර්ම කීර්ති ශ්‍රී සෝමරතන” යන ගෞරව නාම සම්මුතිය ද සහිතව නුවරඑළිය මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ. පදවි ප්‍රදානෝත්සවය මේ මස 12 වැනිදා සවස 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ දී පැවැත් වේ. අභිනව නාහිමි පිළිගැනීමේ උළෙල මාර්තු මස 13 වැනි දින සවස 2.30 ට මල්උල්ල ශ්‍රී අභිනවාරාමයේ දී සිදු කෙරෙයි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි මුලසුන හොබවන මෙම අවස්ථාවට ගිහි පැවිදි ප්‍රභූහු රැසක් සහභාගි වෙති.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]