[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත පිරිසුදු වුණොත් පරිසරය අපිරිසුදු වන්නේ නෑ

සිත පිරිසුදු වුණොත් පරිසරය අපිරිසුදු වන්නේ නෑ

පින්වත් දුවේ, පුතේ, අභ්‍යන්තර පරිසරය හෙවත් අපගේ සිත දූෂණය කරන්නේ වෙන කවරකු විසින්වත් නොව තමා තමා විසින් ම ය. එය පාලනය කළ හැක්කේ ද තමා තමාට ම ය. එනිසා අප බුද්ධිමත් ව කටයුතු කිරීම තුළින් එම අභ්‍යන්තර පරිසර දූෂණය වළක්වාගත හැකි ය.

අභ්‍යන්තර පරිසරය දූෂණය වූ නොමිනිසුන් නිසා බාහිර පරිසරය විනාශ වන ආකාරය පිළිබඳවත්, අප එය වළක්වා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් විමසා බැලිය යුතු ය. අප අද කතා කිරීමට යන්නේ බාහිර පරිසරය දූෂණය වන ආකාර පිළිබඳව යි. අප අවට ඇති පරිසරය දූෂණය වන ආකාර කිහිපයක් මෙසේ වර්ග කළ හැකි ය.

වායු දුෂණය, ජල දුෂණය, පාංශූ දුෂණය වෘක්‍ෂලතා දූෂණය, ශබිද දුෂණය, සත්ත්ව දූෂණය (සතුන් විනාශ කිරීම),අනෙකුත් ස්වභාවික සම්පත් දූෂණය, සංස්කෘතික හා සාමාජීය හර පද්ධති දුෂණය, වායු දූෂණය

අප උපන් දා පටන් මරණය දක්වා හුස්ම ගැනීම සිදුකරයි. එහෙත් අප මේ හුස්ම ගැනීම පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නැත. අපගේ ජීවිතය රැදී පවතින්නේ මේ වායුව නිස යි.

මෙම වායුව අපට සම්පතක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම වා තලය තුළ නොයෙක් වායු වර්ග ඇත. මිනිසුන් වන අපට මෙන් ම සතා සිවුපාවට පවා හුස්ම ගැනීමට නොමැති නම් ආශ්වාස කිරීමට ඔක්ෂිජන් වායුව අවශ්‍ය වේ. අප ඔක්ෂිජන් වායුව ලබා ගෙන කාබන්ඩයොක්සයිඩ් වායුව පිට කරයි. මිනිසුන් හා සත්ත්වයින් පිටකරන කාබන්ඩයොක්සයිඩ් වායුව ගස්වැල් මඟින් නැවත පිරිසුදු වෙයි. සත්ත්වයින්ගේ ආශ්වාසය හා ප්‍රශ්වාසය නිසා වායු දූෂණ වන්නේ අල්ප වශයෙනි. එසේ නම් වායු දූෂණ වන්නේ කෙසේ ද?

මිනිසුන් තාක්‍ෂණික දියුණුව ලෙස සලකන බොහො දේ තුළින් වායු දූෂණය සිදු වේ. අප ගමන් බිමන් යෑම සඳහා භාවිත කරන යාන වාහන නොමැති නම් මෝටර් රථ යනු ඉන්ධන භාවිත කරමින් ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර වේ. මේවා දුම් පිටකරයි. ඉන්ධන දහනය නිසා පරිසරයේ පිරිසුදු වායුවට දුම් සමඟ විෂ එකතු වේ. අහසින් යන ගුවන් යානා, මෙන් ම මුහුදේ යන නැව්, බෝට්ටු ආදියත්, ගොඩබිමේ යන කාර්, වෑන්, ලොරි, බස් රථ, ත්‍රීවිල් රථ, යතුරුපැදි යනාදිය මෙන් ම දුම්රිය පවා පරිසරයට විෂ වායුව එක් කරයි. මෙයින් පරිසරයේ ඇති වායු දූෂණය සිදු වෙයි.

අද අපට විදුලිය ලබා ගැනීම පිළිබඳව ගැටලුවකට මුහුණදීමට සිදුව තිබේ. ඒ ඉන්ධන පිළිබඳ ගැටලුවකි. අදවන විට ලෝකයේ ඉන්ධන හිඟවෙමින් පවතී. තවත් අවුරුදු තිහක් ගතවන විට ලොව ඇති ඉන්ධන නිධි සියල්ල හමාර වී යන බව පැවසේ. ඉන්ධන නොමැතිව අදවන විට ලෝකයේ විදුලිය ලබා ගන්නා ක්‍රම බොහොමයක් ඇත.

ජලය භාවිත කරමින් ජලවිදුලිය නිෂ්පාදනය කරයි. දියුණු රටවල් මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිය නිපදවයි. ලංකාවේ මෙන් ම බොහෝ රටවල සුළඟ උපයෝගී කරගෙන සුළං මඟින් විදුලිය නිපදවයි. එසේ ම අද වන විට බොහෝ රටවල් සූර්යා ලෝකය උපයෝගී කරගෙන විදුලිය නිපදවයි. මේ කියූ එකකින් වත් වායු දූෂණයක් සිදු නොවේ. ඒවා පරිසර හිතකාමී වේ.

එහෙත් විදුලිය නිෂ්පාදනය කරන තවත් ක්‍රම කිහිපයක් ඇත. ඒ අතර ගල්අඟුරු යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරයි. නොරොච්චෝලයේ පිහිටා ඇති ගල්අඟුරු බලාගාරය නිදසුනකි. ගල් අඟුරු දහනය වීමෙන් වායු දූෂණය සිදු වේ. විදුලි නිෂ්පාදනය සඳහා බොහෝ රටවල් තාප බලාගාර ඉදිකර ඇත. ඒවායේ ඉන්ධන දහනයවීමෙන් පරිසරයේ වායු දූෂණය සිදු වේ.

එමෙන් ම බොහො නිවෙස්වල, කර්මාන්ත ශාලාවල විදුලිය ලබා ගැනීම සඳහා විදුලි උත්පාදන යන්ත්‍ර භාවිත කරයි. ඒවා ද ඉන්ධන දහනය කරමින් පරිසරයේ ඇති වායුව දූෂණය කරයි. විදුලි උත්පාදනය සඳහා සමහර රටවල න්‍යෂ්ටික බලාගාර ඉදිකර ඇත. ඒවා ද දැඩි අවධානමකින් යුත් බව කිව යුතු ය. ඒවා පිපරී යෑමක් තුළින් වායු ගෝලය ඉතා දැඩි දූෂණයකට ලක්වෙනවා ඇත.

කාර්මික විප්ලවය මඟින් ලෝකය දියුණු වී ඇතිබව බොහෝ දෙනා පුරසාරම් දෙඩුව ද එම බොහෝ කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වන්නේ ඉන්ධන භාවිතයෙනි. සමහරවිට පොසිල ඉන්ධන භාවිත කරයි. දර භාවිත කළත්, ගල්අඟුරු හෝ දැවිතෙල් ආදිය භාවිත කළත් දහනය නිසා දුම පිටකරයි. ඒ දුම සමඟ පරිසරයට එකතුවන විෂ වායුව මිනිසාට මෙන් ම සතා සිව්පාවාට පවා අහිරකර ය.

එම වායූ දූෂණය නිසා ස්වසන ආබාධ මෙන් ම පෙණහළු ආශ්‍රිත පිළිකා ආදිය පවා ඇතිවීමට හැකියාව ඇත.

මේ හැරුණු විට කැලෑවලට ගිනි තැබීම මඟින් ද වායූ දූෂණය සිදුවේ. එමෙන් ම ඉවතලන ප්ලාස්ටික්, ඉටිරෙදි, සොපින් කවර වැනි අපද්‍රව්‍ය පිළිස්සීම නිසා ද විෂ වායුව පරිසරයට එක්වෙයි. සමහර අයගේ අනවබෝධය නිසා හෝ පරිසර හිතකාමීත්වය නොමැති නිසා එම අපද්‍රව්‍ය දහනය කරයි. ඒවායින් පිටවන දුම ඉතා විෂ සහිත ඒවා වේ.

ගොවිමහතුන් කෘෂිකාර්මික කටයුතු කිරීමේ දී යොදාගනු ලබන වල්නාෂක, හා කෘමිනාෂක යනු ද ඉතා විෂ සහිත දේය. මේවා පරිසරයට එක්වීමෙන් වායු දූෂණය වන බව බොහෝ අය නොදන්නා කරුණකි.

ඉහත සඳහන් කළ බොහෝ ආකාර මගින් අප අවට ඇති පරිසරයේ වායු දූෂණ සිදු වේ. එසේ ම වායුගෝලයේ උෂ්ණත්වය ඉහළයයි. වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා හිම කඳු දියවීම ආදිය සිදුවෙමින් පවතී. එය අනාගත ලෝකයට ඉතා බරපතළ තර්ජනයක් වනු ඇත. එනිසා දූෂණය වන බොහෝ පරිසර සම්පත් අතර වායුව ද අපට සම්පතකි. එම වායුව දූණය වීම වැළක්විය නොහැකි වුවත් විනාශය අවම කිරීමට හෝ අප ක්‍රියා කිරීම ඉතා වැදගත් වේ.

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]