[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒකාන්තයෙන් ම සුගතියේ ඉපදෙන්නේ මේ වගේ අයයි

ඒකාන්තයෙන් ම සුගතියේ ඉපදෙන්නේ මේ වගේ අයයි

තථාගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ සිටි කාලයේ එහි ජීවත් වූ සරකානි කියන පුද්ගලයෙක් මිය ගියා. ඒ මරණය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ පුවත මුළු නගරය පුරාම පැතිරී ගියා.

තථාගතයන් වහන්සේ වදාළේ කුමක් ද?

මහණෙනි, සරකානි සෝවාන් වූ කෙනෙක්. ඔහු සුගතියේ උපන්නා කියා. උන්වහන්සේගේ මේ කතාව මුළු නගරය පුරා ම පැතිරී යද්දී අනෙක් ශාක්‍යයන් කියන්න ගත්තා

"සරකානි සිල්පද රැකපු කෙනෙක් නොවේ. ඔහු සුරාවට ලොල් පුද්ගලයෙක්. ඔහුටත් සෝවාන් වෙන්න පුළුවන් නම් ඒක මහ පුදුමයක්. එහෙම නම් ඕන පවක් කරන අයටත් මාර්ගඵල ලබන්න පුළුවන්නේ"

කියමින් මිනිසුන් උන්වහන්සේගේ කතාව හෑල්ලුවට ගෙන උපහාස අපහාස කරන්න පටන් ගත්තා.

එ නුවර ශාක්‍ය වංශික රජ කෙනෙක් සිටියා මහානාම කියා. ඔහුටත් ආරංචි වුණා මිනිසුන් අපහාස කරමින් තථාගතයන් වහන්සේට දොස් කියන බව. දිනක් ඔහු බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියා. උන්වසහන්සේට වැඳ මෙසේ විමසා සිටියා.

"ස්වාමිනි සරකානි පසුගිය දිනක මිය ගියා. ඔහු සෝවාන් වී සුගතියේ උපන් කෙනෙක් කියා ඔබ වහන්සේ වදාළා ද?"

"ඔව් මහනාම එය ඇත්තක්. සාරකානි සෝවාන් වූ පුද්ගලයෙක්. ඔහු සුගතියේ උපන්නා. කවුරු හෝ කෙනෙක් තථාගතයන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි පැහැදී සරණ ගියා නම් ඒ තෙරුවන් සරණ ගිය පුද්ගලයා සුගතිගාමි වෙනවා. ඔහු උපාසකයෙක්. ඔහුට සුගතියේ ඉපදෙන්න පුළුවන්."

එසේ නම් අපට පැහැදිලියි තෙරුවන් සරණ යනවා කියන්නේ එක් කරුණක්. සිල් රකිනවා කියන්නේ තවත් කරුණක් . තෙරුවන් සරණ යන සියලු දෙනා සිල්වත් නැහැ වගේ ම සිල්වත් සියලු දෙනා තෙරුවන් සරණ යන්නෙත් නැහැ. උදාහරණයක් ලෙස මහාමායා දේවිය බෝසතාණන් කුස පිළිසිඳ ගත් දවසේ පෙහෙවස් සමාදන් වී සිටියේ. එදා තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා සීලය කියන දේ බුදුදහමේ පමණක් තිබෙන දෙයක් නොවේ. එය ලෝකයේ සදාචාර සම්පන්න සමාජයක් ගොඩ නඟන්නට සමාජයේ ති‌බෙන පොදු ධර්මතාවක්. නමුත් කෙනෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියොත් ඔහු සිල්වන්ත යි.

එහෙත් කෙනෙක් තෙරුවන් කෙරෙහි අවබෝධයක් නො මැතිව සිල් රැක්කත් ඔහුටත් පින් සිදුවෙනවා. කෙනෙක් බුදුන් වැඳ ඊට පසුව යම් සොරකමක් කරනවා නම් ඔහු කරන ක්‍රියාව අනුව චේතනා පහළ වෙනවා. බුදුන් වන්දනා කරන විට ඒ ක්‍රියාව මඟින් පින් සිදුවෙනවා. ඊළඟට සිදු කරන සොරකම අනුව පව් සිදුවෙනවා. ඒ අනුව පහළ වන සිතිවිලි සමුදාය මඟින් කර්ම රැස් වෙනවා. තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරනවා නම් ඔහු තුළ දුස්සීලකම් තිබුණත් හොඳ ක්‍රියාවක ප්‍රතිඵලය මරණාසන්න මොහොතේ දී ඉස්මතු වෙලා ඒ තුළින් සුගතියට යන්න පුළුවන්. සමහර අවස්ථාවල දී ඊට වඩා කළ දුස්සීලයක් මතුවෙලා දුගතියට යන්නත් පුළුවන්. අපට කියන්න බැහැ තෙරුවන් සරණ ගිය සියල්ලෝ ම ඒකාන්තයෙන් ම සුගතියට යනවා ම යි කියා. ඒ වගේ ම සිල්පද රකින සියල්ලෝ ම මරණින් මතු ඒකාන්තයෙන් ම සුගතියේ උපදිනවා කියන්නත් බැහැ. සිල්වන්ත පුද්ගලයාටත් අවසාන මොහොතේ දී රාග , ද්වේෂ, මෝහ ඉස්මතු වුණොත් ඔහුට දුගතියේ යන්න වෙනවා. ඒකාන්තයෙන් සුගතියේ උපදින්නේ සෝවාන් පුද්ගලයා පමණ යි.

තථාගතයන් වහන්සේ වදාළා සරකානි දුස්සීලකම් කළාට තෙරුවන් සරණ ගිය කෙනෙක්. නමුත් ඒ වගේ පුද්ගලයන්ගේ ජීවිත පරිපූර්ණ නැහැ. පරිපූර්ණ වීමට ශ්‍රද්ධාව, සීලය, සමාධිය හා ප්‍රඥාව අවශ්‍ය යි. ඒ කරුණු නිතර දියුණු වෙනවා නම් ඔහු පරිපූර්ණ බෞද්ධයෙක්. මේ සරකානි තුළ ශ්‍රද්ධාව තිබුණා. ඒ නිසා නිතර ම තථාගතයන් වහන්සේ ඇසුරු කළා. නමුත් සුරාත් පානය කළා.

සසරේ ගමන් කරන අප ලෝක 31 ඉපදෙනවා. සතර අපාය, දිව්‍ය ලෝකය, මිනිස් ලොව, බ්‍රහ්ම ලෝක 16, අරූපාවචාර බ්‍රහ්ම ලෝක 4 සහ අසංඥ තල මේ ලෝක යි. මෙය හරියට තට්ටු 31 ගොඩනැඟිල්ලක් වගේ. පොළොව වටා තිබෙනවා තට්ටු හතරක්. ඒ සතර අපාය. පොළොව උඩ තිබෙනවා මිනිස් ලොව හා දිව්‍ය ලෝක හය. රූපාවචර බ්‍රහ්ම ලෝක දහසයෙන් දොළහක්. තට්ටුවලට එනවිට වලාකුළකින් ඒ ටික වැහෙනවා නම් එයින් අඩක් තිබෙන්නේ සුද්දාවාස බ්‍රහ්ම ලෝක හා අරූපාවචර ලෝක යි. මේ පොළොව මට්ටමේ සිට උඩට එනකම් රූපාවචර බ්‍රහ්මලෝක 12 ක් ඇතුළත් ව ලෝකවල ඉපදෙන්න තිබෙන සංයෝජනවලට ඕරම්භාගීය සංයෝජන කියනවා. උද්දම්භාගීය සංයෝජන කියන්නේ ඉහළ ලෝකවල ඉන්න අයට පහළවන සංයෝජන. ඒ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා.

යම් කෙනෙක් මේ යටට යන සංයෝජන නැති කළා නම් ඒ පුද්ගලයාට කියන්නේ අනාගාමි පුද්ගලයා කියලා. උද්දම්භාගීය සංයෝජන ධර්ම පහළ වන්නේ සුද්දාවාස බඹලොව ඉපදී නිවන අවබෝධ කරන අයට යි.

ඒ වගේම සතර අපායෙන් මිදුන තව පිරිසක් ඉන්නවා. ඒ ධම්මානුසාරි හා ශ්‍රද්ධානුසාරී පුද්ගලයන්. ධම්මානුසාරි පුද්ගලයා සෝවාන් මාර්ගයට පිවිසිලා ගමන් කරමින් ඉන්නේ. නමුත් ඵලයට පත්වෙලා නැහැ. මෙය එක් විචක්ෂණයකින් සිදුවන දෙයක්. මාර්ග සිත පහළ වූ විට ඇති වන්නේ ඵල සිත. ධම්මානුසාරි පුද්ගලයාට ප්‍රඥාව දියුණු වෙලා තිබෙන්නේ. ඔහු ශ්‍රද්ධා. විරිය, සති, සමාධි, ඉන්ද්‍රිය ධර්ම පෙර සසරේ දී පුරුදු කර දියුණු කර තිබෙන්නේ. මේ භවයේදීත් පුරුදු කර දියුණු කර තිබෙන්නේ. මේ භවයේ දී ඔහු බහුල වශයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරනවා. ඒ පුද්ගලයාට කියන දේ ඉක්මනින් වැටහෙනවා. ඒ අය සංසාරේ පින් රැස් කරගෙනයි එන්නේ. ඒ වගේ ම ශ්‍රද්ධානුසාරි කෙනාට ශ්‍රද්ධාව තිබෙනවා. නමුත් බොහෝ විට එය ස්ථිර දෙයක් නොවේ. නමුත් ඒ පොඩි ශ්‍රද්ධාව මුල්කරගෙන හෝ කුසල ධර්මය දියුණු කරන්නට ඔහුට පුළුවන්. ඒ දෙදෙනා ම ඉන්නේ සෝවාන් මාර්ගයේ මුල් හරියේ. මුල් දොරටුව ළඟ. ඒ දොරටුව විවර වූ විගස පිවිසෙන්නේ සෝවන් මාර්ගයට. මේ දෙදෙනාත් අපායෙන් නිදහස්.

උන්වහන්සේ වදාළා සාරකානි කියන්නේ දීර්ඝ කාලයක් තෙරුවන් සරණ ගිය කෙනෙක්. තෙරුවන්ගේ පැහැදීම බාහිරව තව කෙනකුට පෙනෙන්නේ නැහැ. ඔහු මතට ගිජු පුද්ගලයෙක් ලෙසයි ප්‍රකට වුණේ. අ‌නෙක් ප්‍රශ්නය සුරාපානය කරන කෙනෙක් කොහොමද සෝවාන් වන්නේ? කියන එක. තථාගතයන් වහන්සේ වදාළා සරකානි සෝවාන් වෙන අවස්ථාවේ දී සුරාව පානය කර තිබුණේ නැහැ. ඔහුගේ සත්‍යාවබෝධය සිදුවෙන්න තිබු අවස්ථාවේ දී ඔහු සුදුසු මානසිකත්වය ඇතිකරගෙනයි හිටියේ. ඒ වෙලාවේ දී අදාළ ධර්මය පැහැදිලි කර දුන්නා. ඔහු සත්‍යාවබෝධ කර ගත්තා.ඒ සරකානිගේ පිනට තථාගතයන් වහන්සේ වැඩ සිටියා. සරකානි සත්‍ය අවබෝධ කර ගන්නා අවස්ථාවේ ඔහුට ගැළපෙන ආකාරයට ධර්මය වදාළ නිසා ඔහුගේ පුණ්‍ය ශක්තියත් තථාගතයන් වහන්සේගේ හමුවීමත් බලපෑවා.

එ නිසා අපත් අවබෝධයෙන් ම තෙරුවන්ගේ ගුණ දැනගෙන ම සරණ යා යුතු වෙනවා. ඒ වගේ ම සිල්පදත් හොඳීන් රකිමින් සමථ භාවනා දියුණු කර විදර්ශනා වඩා ත්‍රිලක්ෂණ ඇතිකර ගත යුතුයි. එවිට අපටත් සතර අපායෙන් නිදහස්වීමට අවස්ථාව ලැබෙනවා.

වප් අමාවක පෝය

නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03 අමාවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 02.44 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]