[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් කරන පින් වැඩෙන අසිරිමත් කාලයක්

පින් කරන පින් වැඩෙන අසිරිමත් කාලයක්

" මිනිස් ලොව උපත ලද කල ඉසුරුමත් කුලවල ම උපදිනවා. හීන කුලවල උපදින්නේ නෑ. ඉපදුන කුලයේ නායකත්වය ලබනවා. සක්විති රජ පදවි ලබනවා. කිසිදා දුගතියක උපදින්නේ නෑ."

මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ සුඛස්සේතං භික්ඛවේ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි අභිජානාමි ඛෝ පනාහං භික්ඛවේ දීඝරත්තං කතානං පුඤ්ඤානං ඉට්ඨං කන්තං පියං මනාපං විපාකං පච්චනුභූතං.

“ මහණෙනි, පිනට බිය වෙන්න එපා. ‘පින’ කියලා කියන්නේ ඉතා යහපත්, සිත්කළු, ප්‍රිය මනාප වූ සැපයට ම කියන නමක්. මහණෙනි, බොහෝ කාලයක් තිස්සේ මා විසින් කළ පින් නිසා ඉතා යහපත්, සිත්කළු, ප්‍රිය මනාප වූ ආනිශංස විඳී බව මා දන්නවා“.

ඛුද්දක නිකායේ මා පුඤ්ඤභායි සූත්‍රය තුළින් පුර්විකාවක් ගෙන හැර දැක්වූයේ වප් පොහොය දින සිට ඉල් පොහොය තෙක් වූ මාසය පින් කරන මාසයක්, පින් වැඩෙන මාසයක් වන නිසයි. මේ චීවර මාසය යි. තුන් මාසයක් මුලුල්ලේ වස් විසූ භික්ෂූන් වහන්සේ වප් පුර පසළොස්වක පොහෝ දා මහා පවාරණයෙන් වස් පවාරණය වූවා. එසේ වූ භික්ෂූන් වහන්සේ අරමුණු කොටගෙන ගිහි පිනැතියන්ට මහා ආනිසංසදායි කඨින චීවර පූජාවක් පැවැත්වීමට අවකාශ ලැබෙනවා.

අප ජිවත් වන්නේ නො නිමි සසර මඟ දුක සන්තාපය, කනගාටුව තුරුළු කොටගෙන යි. ඒත් අප සොයන්නේ සැපතයි. සුවය යි. වගා කටයුතු කරන්නේ, විවිධ වෘත්තීන්හි නිරත වන්නේ, විවිධ තනතුරු නම්බුනාම ලබන්නට වෙර දරන්නේ, දේපළ ඉඩකඩම් යාන වාහන මිල දී ගන්නේ, යහපත් දේ මෙන් ම සමාජ ව්‍යසනකාරි සතුන් මැරීම, සොරකම, බොරුව කේළම , මත් වතුර මත්ද්‍රව්‍ය විකිණීම හා පරිභෝජනය වැනි අයහපත් දේ කරන්නේ ද සැප අරමුණු කර ගෙන යි. සතුට ලබා ගැනීම පිණිස යි.

යහපත තුළින් උපයා ගත හැකි වන්නේ සතුට යි. ඒත් අයහපත තුළින් ඒ සතුට ලැබෙන්නේ නෑ. ඒ තුළ වැඩෙන්නේ බිය, සැක, සංකාව, දුක, අසහනය යි. සැබෑ සතුට තමන් සතුටු වීමයි. අනුන් සතුටු වීමයි. තමා හා අනුන් දෙපිරිස ම සතුටු වීමයි. සතුටින් ප්‍රතිඵලය භුක්ති විදිය හැකි වීම යි. පින කියන්නේ සතුට යි. “ චිත්තං පුනාතීති පුඤ්ඤං” සිත පිනා යෑම , “ හදයං පුණාතීති ” හදවත පිනා යෑම පින බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.

පව් කිරීම ලේසියි. පින් කිරීම අපහසු යි. තමා විසින් කළ, තමා තුළ පහළ වූ පාපය තමා ම විනාශ කරනවා. මැණිකෙන් හට ගන්නා දියමන්තිය ඒ මැණික විනාශ කර දමනවා වගේ. පව් කරන්නා හතුරකු හතුරකුට හානියක් කරන්නා සේ තමාට ම හානි කර ගන්නවා. තවත් විදියකින් කියනවා නම් සල් ගසක එතෙන මාලුවා වැල ඒ සල් ගස විනාශ කරනවා වගේ තමන් ම විනාශ වෙනවා. යම් කෙනෙක් දුර්ලභ ව ලැබූ මිනිස් ආත්ම බවය තුළ පව් කරනවා නම්, ඒ පව් නැවත නැවත කරනවා නම්, පවට ලැදි වෙනවා නම් ඔහු දුකට පත් වෙනවා. යම් කෙනෙක් පව් කළ ද, ඒ පව පින තුළින් වසා දමනවා නම් ඔහු වලාකුළෙන් මිදුණු පුන් සඳක් සේ බබළනවා.

සසර ගමනේ සුවිශේෂී හැරවුම් ලක්ෂය මිනිසත් බවයි. සංසාර ගමන කෙටි කර ගන්නට යමක් උපයා ගත හැකි ශක්තිය, සංසාර ගමන දුකට පත් කරන, කළ කර්ම නැති කර ගන්න ශක්තිය මිනිසත්බව තුළ ලැබෙනවා. මේ ශක්තිය දෙවියන්ට, බඹුන්ට, තිරිසනුන්ට, ප්‍රේතයන්ට, නිරි සතුන්ට නෑ.මිනිස් ආත්මයක් ලැබුව ද හැම දෙනාට ම පින් කළ නොහැකි යි. අංග විකල වූ, මන්දබුද්ධික වු , මිථ්‍යා දෘෂ්ටික වූ මිනිසාට පින් කළ නොහැකි යි. ශ්‍රද්ධාවන්ත වූ, සබුද්ධික වූ, අංග සම්පූර්ණ මිනිසාට පමණක් පින් කළ හැකි වෙනවා. එවන් මිනිස් ආත්ම භවයක් ලැබූ පුද්ගලයා පින්කම් කළ යුතු යි.

නිතර නිතර කළ යුතු යි. පිනට මනාපය, කැමැත්ත, රුචිය ගොඩ නඟා ගත යුතු යි. පින් කරනවා නම් ඒ තුළින් සැපත, සුවය, සතුට ලැබෙනවා.

මාලාකාරයෙක් විවිධ ප්‍රමාණයේ, විවිධ පැහැයේ, විවිධ වර්ගයේ, විවිධ සුවඳීන් යුතු මල් රැගෙන මල් මාලාවක් සකස් කරනවා වගේ කුඩා, විශාල පින්කම්වල යෙදිය යුතු වනවා. පින් මාලයක් සකසා දරා ගැනීමෙන් මෙලොව ජීවිතය සෝබන වෙනවා. පරලොව ජීවිතය සෝබන වෙනවා. ලොකෝත්තර සුවය ලැබෙනවා.

කඨින චීවර පූජාව එවන් උදාරතර පින්කමක්. සංසාර ගමනේ දී භවයෙන් භවයට සැප විපාක විඳීය හැකි පින් කමක්. මෙම පින්කමට සම්බන්ධ වෙනවා කියන්නේ භව සංසාරය පුරා සැප විඳීය හැකි නිධානයක් ගොඩනඟා ගත්තා හා සමානයි. කඨින චීවර පින්කම හැම දිනක ම කළ නොහැකි යි. ඒ සඳහා උපසම්පදා භික්ෂූන් වහන්සේ සිටිය යුතු වනවා. ඒ වගේ ම උන්වහන්සේ වස් ශික්ෂාපදය සමාදන් විය යුතු වනවා. ඒ ශික්ෂාපදය තෙමසක් මුළුල්ලේ ආරක්ෂා කර ගත යුතු වනවා. මහා පවාරණයෙන් පවාරණය විය යුතු වනවා. එවන් භික්ෂූන් වහන්සේ අරමුණු කර ගෙනයි කඨින චීවර පූජාවක් කළ හැකි වන්නේ. එය එක් වර්ෂයකට, එක් විහාරස්ථානයක පැවැත්විය හැකි වන්නේ එක් වතාවක් පමණයි. ඒ සඳහා ඕනෑම සිවුරක් පූජා කළ නොහැකියි. විනයානුකූල ව සකස් කරන සිවුරක් පමණයි පූජා කළ හැකි වන්නේ. එවන් පූජාවක් තුළින් මහා ආනිසංස සමුදායක් ලැබෙනවා. නාගිතාපදානය තුළ නාගිත හාමුදුරුවන් කරන ප්‍රකාශය තුළින් එය පැහැදිලි වන අයුරු බලන්න.

මහ පොළව සේ අකම්පිත වු, කල්පාවසානයේ හමන වේරම්භ වාතයෙනුත් සෙළවිය නොහැකි, දියමන්ති සේ කැඩිය නොහැකි, ශක්තිමත් පිනක් මේ තුළින් ලැබෙනවා. කම්පා නොවන, නොසෙල් වෙන, කැඩිය නොහැකි, බිඳීය නොහැකි ශක්තිමත් පිනක් කඨින චීවර පූජාව තුළින් ලැබෙනවා. භව සංසාරය පුරාවට නිවන් දක්නා අවස්ථාව දක්වා මහා සැප භුක්ති විඳීය හැකි පින්කමක්.

මිනිස් ලොව උපත ලද කල ඉසුරුමත් කුලවල ම උපදිනවා. හීන කුලවල උපදින්නේ නෑ. ඉපදුන කුලයේ නායකත්වය ලබනවා. සක්විති රජ පදවි ලබනවා. කිසිදා දුගතියක උපදින්නේ නෑ. උපදිනවා නම් උපදින්නේ දෙව් ලොව පමණයි. සග ලොව උපන් කල සක් දෙව් පදවි ලබනවා. නිවන් දක්නා ජාති දක්වා කිසිදු අඩුවකින් තොර ව සියලු සැප විඳීන්නට ලැබෙනවා. අප විසින් කරනු ලබන ආනන්තරීය පව් කම් හැර ඉතිරි සියලු පව් නැති වී යනවා. කඨින චීවර පුජා කිරීම මෙවන් මහා ආනිසංසදායි පින්කමක්.

වප් අමාවක පෝය

නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03 අමාවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 02.44 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]