[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

බුදුසරණ

රට තුළ පැණවුණා සීමා සං චරණ
සිත් තුළ ඇවිළුණා රෝ දුක් බිය මරණ
අම දම් ඔසුව නුඹ ම ය අප සිත් නිවන
පිහිටට හිටියෙ නුඹ පමණයි බුදු සරණ

නා හිමිවරුන්ගේ ගුණ නැණ දම් පුරණ
කවි කිවිඳීයන් ලියූ සදහම් ගුණ පිරුණ
අකුරක් නෑර කියවමි පෝදා වරුණ
රැකවරණය ම වේ අපහට බුදුසරණ

පිටුවෙන් පිටුව බුදු දම් ගුණ සඟ රුවන
සදහම් දහම් සැමදා එකලෙස බෙදන
බුදු මඟ හෙළි කරන්නට නිති වෙර දරන
බුදු සරණින් රැකේවා කල් බුදුසරණ

ළමා ලොවේ පිපෙනා සදහම් අරණ
පතුරාලමින් දස අත බුදු රැස් කිරණ
අටුවා ටීකා ගලපා නිති බණ දෙසන
මට නම් හිමි නමක් ම ය නිති බුදු සරණ

****

මවකගෙ ගුණ

එක පුන් සඳක් ලොව ගණදුර කරයි දුරු
දිවියට බත බුලත සපයයි එකම හිරු
හිරු සඳු ලෙසට පිළිසරණ ය වෙන කවුරු
ලේ කිරි කර පොවා අප දිවි රැකි අයුරු

හඬා වැළපී කිසා ගෝතමී බුදුන් වෙත ආයේ
නිවා ශෝකය අමා දම් රස පොවා සැනසූයේ
සුසානේ සිටි සෝපාක වෙත කිසිවකුත් නාවේ
බුදුරදුන් මෙත් දයා ගුණෙනී හිතේ දුක නිවුයේ

ගල් බොරළු මැද බැබළි බැබළි මැණික දිලිසෙනවා
හස්තියන් මැද සුදු ඇතෙක් වෙත දෙනෙත් දිව යනවා
නියං සමයක කළු වළාවක් අහසෙ පාවෙනවා
කතුන් දහසක් අතර මවකගෙ ගුණය නො සිඳෙනවා

****

මෙවර ජයග්‍රාහී නිර්මාණය

වෙසඟ සිරිසර

මලින් මලින් පිබිදෙයි පරිසරය අගේ
තවමත් වැඩ වසයි රැක්මෙන් දෙවිඳුන් ගේ
පුද පෙත් ලබයි ලෝ වැසි බොදු මිනිසුන් ගේ
එ නිසයි රන් කොතින් බුදු රැස් පැන නැං ගේ

සවනක් රැසින් හැඩ වෙනවිට පුරවර ය
සිත් සන්සුන් ව කමටහනක පෙරහුරු ය
මුදුනත් බැඳී මුව මුව රැඳී පින්සර ය
සඳකැන් දිය ගලයි නහවා පරිසර ය

ඇති නැති බව මෙනෙහි කරමින් නොවන නිමා
පැතිරෙයි පින් සුවඳ බෝ පත් අතර හමා
මැතිරෙන විට දහම් පද වැල් සිරස නමා
බැති සිත ගලා යයි පන්සල් බිම ම තෙමා

****

ඔබ පමණයි ළඟ

උපයා ගත් හැම සම්පත් මදින් මද දුරස් වේ
සෙනෙහෙවන්ත හැම දෙනා ම ඒ වාගෙ ම දුරස් වේ
සිතුම් පැතුම් රැස් දහරා නිමේෂයට අමතක වේ
මරණය ඔබ නොවරදවා දිනපතා ම ළඟට ම වේ

****

එ දවස මෙ සිරිලක

දසත විසිර ඇත
පන්සල් වෙහෙර වැව්
මැව්නා නොවෙයි
පෙර රජ දරුවන්
ඉදි කෙරූ

පස් පව් නොකළ
පින් බිමකි
දුක් රෝ බිය
දුරුවුණ
එදවස
රැකුණා සියලු දෙන
බුදු බණ පසක් කොට

****

නො වෙනස් ඇඳුම

විලාසිතා එක් කරනා නව පන්නේ
දින දින ඇඳුම පරිහානියටයි යන්නේ
මෙය පරදවා කිතු ගොස අද පතුරන්නේ
‘සිවුරයි‘ කිසිදාක නැහැ වෙනසක් වන්නේ

සම්බුදු පියාණන් මගධයෙ කෙතක් දැක
රැකෙනා විලස හිරි ඔත්තප්ප දෙක
චීවර මසන්නට තම පුතණුවන් නෙක
අමතා දිනක් මේ ලෙස දම් දෙසු සේක

සිවුරේ අගය අඩුවන්නට කැබලි කොට
ලස්සන මකා ගන්නට දුර්වර්ණ කොට
වාටි මසා නැති කොට ගති මට සිළුට
චාම් ගතිය කැවුවා චීවරෙ තුළට

දුටු දන මන පිනවන චීවරෙ වටින
ඇඳුමකි ලොවේ කිසිදා වෙනසක් නොවන
වීතරාගි සම්බුදු පුත්වරු හිඳීන
චීවරෙ රකිමු පණ මෙන් එහි තතු හැඳන

****

යා යුතු තැන

වෙනස් වෙවී රෝගය පැතිරී යද්දී
සමත් වෙවී ඇත පිළියම් යොමු වෙද්දී
දුරස් වෙවී නිති පිළිවෙත් සපුරද්දී
දුකින් තැවී කිම පින් කළ යුතු වෙද්දී

මරණය නියත වී ඇති බව අපි දනිමු
සහනය කොතැනක ද බැලුවත් නොම දකිමු
දහමය පවතින්නෙ ලොව තිර දෙය සිතමු
නිවනය සොයා යා යුතු තැන අපි සොයමු

****

විහාර මහා දේවි

රටක් වටින පුතෙක් හැදුව අම්මා රජු දේවී
රාජ පෙළපතින් පැවතෙන මිණි පහනක් දේවි
මුහුද ගොඩ ගලද්දී නවතා ලූ දේවි
අන් කවුරුත් නොවේ අපේ විහාර මහා දේවි

****

පැනයට පිළිතුර

තරුණිය:
බලනු මැන !
පෙති පිරුණු
පෙති නොපිරි
නෙක පාට
නෙක හැඩැති
රුවැති
ලොව තුළැති
අපමණක් පිපුණු මල්

යෝගාවචරයා:
නොදකිමි
මල් තුළැති
ඔබ කියන කිසිම වෙනසක්
දකිමි නිති
මල් ඇතුළු
ලොව සියලු දෑ තුළැති
අනියතය පමණක්

****

සතුරා ඉදිරිපිට

බුදු ගෙයි
බුදු පානේ
ශාන්ත නිශ්චල
දැල්ල මෙන්
ඔබේ සතුරා ඉදිරියෙහි
නිහඬ ව
සිටගෙන සිටින්න

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

වප් අව අටවක

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා අ.භා 12.49 අව අටවක ලබා 29 සිකුරාදා අ.භා 14.09 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]