[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුන් ගැන ඇති කෝපය ගලේ කෙටූ අකුරක් වගේ ද?

අනුන් ගැන ඇති කෝපය ගලේ කෙටූ අකුරක් වගේ ද?

මුලින් ම කෝපය නිසා ඇතිවන ආදීනව ගැන සිතන්න.

ගලේ කෙටූ අකුරු -

සමහර අය ගලේ කෙටූ අකුරු වගෙයි. එවැනි අය සුළු දේකට පවා කිපෙනවා. ඒ විතරක් නොවෙයි, ඔවුන් එම කෝප සහගත බව දිගු කාලයක් තබා ගන්නවා. ක්‍රෝධය සහ බද්ධ වෛරය යන මේ දරුණු සිතිවිලි නිසා නිරන්තරයෙන් පෙළෙනවා.

වැල්ලේ ලියූ අකුරු -

සමහර පිරිස් වැල්ලේ ලියූ අකුරු වගෙයි. වැල්ලේ ලියූ අකුරක් වැනි පුද්ගලයා ඉක්මනින් කෝපයට පත් වෙනවා. එහෙත් ඒ කිපුණු සහගත බව වැඩි කාලයක් තබා ගන්නේ නෑ.

දියෙහි ලියූ අකුරු -

සමහර මිනිසුන් දියෙහි ලියූ අකුරු වගෙයි. ඔවුන් තුළ කෝපය රැඳෙන්නේ නෑ. ඉතා ඉක්මනින් නැතිවී යනවා.

****

ජිවිතය පහතට ඇද දමන චිත්තවේග අතර තරහව ප්‍රධාන වෙනවා. විවිධ මට්ටම්වල දී එය දෝස, ව්‍යාපාද, පටිඝ, කෝධ, ආදී ලෙස හැඳීන්වෙනවා. අංගුත්තර නිකායේ ක්‍රෝධ වර්ගයෙහි සඳහන් වන්නේ ක්‍රෝධය, බද්ධ වෛරය ඇති පුද්ගලයා දුක සේ වාසය කරන බවයි. පිරිහීමට පත්වන බවයි. මරණින් මතු නිරයෙහි උපදින බවයි.

දක්ෂ රියදුරෙක් විසින් ඉතා වේගයෙන් දුවන රථයක් මනාව හසුරුවා ගනු ලබනවා. එමෙන්, යම් පුද්ගලයෙක් සිතෙහි ක්‍රෝධය මැඩ පවත්වා ගන්නේ නම්, ඔහු නියම රියදුරකු වන බව ද, අන් රියදුරන් හුදෙක් රැහැන් අල්ලා ගත් අය පමණක් බව ද දහමෙහි සඳහන් වෙනවා.

ක්‍රෝධය දිනිය හැකි වන්නේ අක්‍රෝධයෙනුයි. ධම්මපදයේ යමක වග්ගයෙහි දී “නහී වෙරෙන වෙරානී යනුවෙන්” වෛරයෙන් වෛරය කිසි කලෙකත් නොසන්සිඳෙන බවත්, අවෛරයෙන් ම වෛරය සන්සිඳෙන බවත් පැහැදිලි කරනවා. එය පෙර සිට ම පැවත එන බුද්ධාදී උතුමන්ගේ ධර්මයක්. යම් කෙනෙක් මට බැන්නා, ගැසුවා, මා සතු දැය පැහැර ගත්තා යැයි සිත තුළ බද්ධ වෛරය උපදවන්නේ නැති නම් ඔහුගේ වෛරය සංසිඳෙන බව එම වර්ගයෙහි “අක්කොච්ඡි මං අවධි මං” යන ගාථාවෙන් පැහැදිලි කරනවා.

අංගුත්තර නිකාය, තික නිපාත භරණ්ඩු වග්ගයට අනුව තථාගතයන් වහන්සේ මිනිසුන් වර්ග හතරක් ගැන සඳහන් කර තිබෙනවා.

සුළඟේ ලියූ අකුරු -

සමහර අය සුළඟේ ලියූ අකුරු වගෙයි. සුළඟේ ලියූ අකුරු වැනි වූ පුද්ගලයා කෝපය කිසිසේත් ම ගණන් ගන්නේ නෑ. මෙවැනි පුද්ගලයාගේ සිත නිරතුරුව ම සන්සුන්. කෝපය උපදින්නේ නෑ. ඒ නිසා කිසිදු සැලීමක් ද නෑ.

මෙහි හතර වැනි වර්ගයට අයත් වන්නේ රහතන් වහන්සේලායි. තුන් වැනි වර්ගයට පැමිණිය හැකි නම් ඉතා වැදගත් වෙනවා. එහෙත් පළමු වර්ගයේ කෙනෙක් නම් නිතර කේන්තියෙන් පිපිරෙනවා. අදාළ වූ සිදුවීම අමතක කරන්නේ නෑ. ඒ ගැනම සිත සිතා අනිකා කෙරෙහි ද්වේශ සහගත ව හැසිරෙනවා. කලක් ගිය පසු කෝපය වෛරයකට පෙරළෙනවා. ඒ වෛරය බද්ධ වෛරයකට වුව ද පෙරළිය හැකියි.

නිතර නිතර කේන්ති ගන්නා පුද්ගලයකුට එය පාලනය කිරීම සඳහා කෙටි කාලීන ක්‍රම අනුගමනය කළ හැකි වනවා. ඒ පහත සඳහන් ආකාරයට යි.

මුලින් ම කෝපය නිසා ඇතිවන ආදීනව ගැන සිතන්න. කෝප නොවීමේ වැදගත්කම අවබෝධ කර ගන්න. ඒ අනුව ඔබට කෝප නොවී සිටීමට අධිෂ්ඨාන කර ගත හැකියි.

කෝපය දැනෙන විට ගණන් කිරීමෙන් කාලය ගෙවන්න. දහයට ගණන් කිරීමෙන් ආරම්භ කරන්න. බෙහෝ සෙයින් කෝපය දැනෙනවා නම් පනහට හෝ සියයට ගණන් කරන්න. එවිට ටිකෙන් ටික කෝපය පාලනය කර ගන්නට හැකි වෙනවා.

කෝපය පැමිණි විගස දැන් මම කෝප සහගතවයි සිටින්නේ යනුවෙන් සිතන්න. එසේ සිතමින් වහාම නිහඩ වන්න. ඒ වගේ ම නිහඬ වී කිසියම් සතුටුදායක දෙයක් පිළිබඳ ව සිත යොමු කරන්න. ඒ ගැන කල්පනා කරන්න. මෙහිදී ඔබට සුවිශේෂී දෙයක් සිදු කළ හැකියි. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සිහි කිරීමයි. එවිට කෝපය නිවී ගොස් සිතට සාමය දැනෙනවා. සිත සැහැල්ලු වනවා.

කෝපය දැනුණු වහා ම ඊට හේතු වූ පුද්ගලයාගේ හොඳ ගතිගුණ පිළිබඳ සිතන්න. ඔහුගේ හෝ ඇයගේ දුර්ගුණයන් ගැන නො සිතන්න. සද්ගුණයන් ගැන ම සිතන්න.

කේන්තිය පාලනය කිරීම උදෙසා මේ කරුණු කෙටි කාලීන ක්‍රම ලෙසින් භාවිත කළ හැකි වනවා.

නිතර කේන්තිය දැනෙන අයට එය පාලනය කර ගැනීම සඳහා දිගු කාලීන ක්‍රම ද අනුගමනය කළ හැකි යි. ඒ අනුව තථාගතයන් වහන්සේ සෑම දෙනාට ම අනුගමනය කළ හැති ධර්මයන් අටක් පිළිබඳ දේශනා කොට වදාළා. ඒ, ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සුඛ සහ දුක්ඛ යන අට ලෝ දහමින් කම්පා නොවිමයි.

තරහ හෝ කෝපය ඇති වන හේතුවෙන් ඈත්වීම හෙවත් හේතුව මඟහැර යාම තවත් දිගු කාලීන විසඳුමක්. රූපවාහිනියේ යම් නිශ්චිත පුවත් බැලීමෙන් දේශපාලකයකු කෙරෙහි ක්‍රෝධයක් ඇති වෙනවා නම් එම පුවත් නොබලා සිටීම එයට විසඳුමක්. මිල වැඩි, ගුණත්වය අඩු යම් භාණ්ඩයක් හෝ සේවයක මිල හේතුවෙන් ද එසේ කෝප සහගත බවක් දැනෙනවා නම් , එම භාණ්ඩය හෝ සේවය මිලදී නොගැනීම, වෙනත් ආදේශයකට යොමුවීම ඒ සඳහා විසඳුමක් වනවා.

යම් දැන්වීමක් බැලීමෙන්, යම් ගීතයක් ඇසීමෙන් නිතර කේන්තිය මතු වෙනවා නම් එම දැන්වීම නොබැලීම, එම ගීතයට සවන් නොකිරීම කේන්තිය පාලනයට හා එය මඟහැරීමේ ක්‍රමයක් ලෙස අත්හදා බලන්නට පුළුවන්.

අංගුත්තර නිකාය දසක නිපාතයේ දසධම්ම සුත්‍රයේ එන “කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො” යන කර්මයේ අයිතිකාරිත්වය මතක තබා ගැනීමෙන් ද කෝපය පාලනය කර ගන්නට හැකිවනවා. ඒ අනුව ඔබ කරන දෙයෙහි අයිතිකාරයා ඔබ ම යි. අන් කවරකු හෝ නොවෙයි. ඔබ කළ කී දේ ඔබ පසු පස එනවා.

වප් අව අටවක

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා අ.භා 12.49 අව අටවක ලබා 29 සිකුරාදා අ.භා 14.09 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]