[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොවට පිපෙන මල් - 01 කොටස: ආදරය සෙනෙහස ලැබෙන්නේ මේ වගේ දරුවන්ටයි

ආදරය සෙනෙහස ලැබෙන්නේ මේ වගේ දරුවන්ටයි

ආදරණීය දුවේ, පුතේ, අද සිට අපි ඔබට මහා කාරුණික බුදුපියාණන් වහන්සේ පුංචි ඔබට දැක් වූ දයාව, කරුණාව, සෙනෙහස, ආදරය ගැන ලස්සන කතා ටිකක් කියලා දෙන්නයි පෑන අතට ගත්තේ. සතුටුයි ද?

මේ කතා තනියම කියවා ගන්න අපහසු නම් අම්මා, අප්පච්චි, අත්තම්මා, සීයා, අක්කා, අයියා ඔබට උදව් කරාවි. විවේක තිබුණොත් ගුරුතුමියගෙනුත් ඔබට උදව් ලැබේවි.

ඔබ පෝයට පන්සල් ගිහින් දෝත පුරා මල් අරගෙන බුදුපියාණන්ට පූජා කරනවා නේද? එතකොට බුදුපියාණන් කරුණාවෙන් හිනා වෙනවා ඔබ දැකලා ඇති. ඇයි දන්නවද හිනා වෙන්නේ? උන්වහන්සේ ත් ඔබ වගේම පුංචි දරුවෙක් වෙලා හිටියා. උන්වහන්සේගේ අම්මගේ නම මහාමායා දේවිය. තාත්තා ශුද්ධෝදන රජතුමා. එතුමාගේ නම සිද්ධාර්ථ. රජ පවුලක නිසා සිද්ධාර්ථ කුමාරයා කියලා ප්‍රසිද්ධ වුණා. රජකම් කළත් ශුද්ධෝදන රජතුමා හොඳ ගොවියෙක්. නමේ තේරුමත් ඒකනෙ. ශුද්ධ වූ ලෙසට පිරිසුදු ලෙසට බත උපදවා ගන්නා ගොවියා.

කුඹුරට වස විෂ කෘමිනාශක දාන්නේ නැතිව ගොවිතැන් කරලා. ශුද්ධ වූ පිරිසුදු වූ අස්වැන්න ගෙට ගෙනාපුව ම ඒ බත් කන අපිට ලෙඩ රෝග හැදෙන්නේ කලාතුරකින්. ඒත් අපේ වැරැදි පුරුදු නිසා අපිව නිතර නතර ලෙඩ කරවනවා.

පුතාලට දුවලාට නම් දානකොට අම්මයි අප්පච්චියි හුඟක් කල්පනා කරලා තේරුමක් ඇතිවනේ නමක් දාන්නේ. සිද්ධාර්ථ නමත් ඒ වගේ තේරුමක් ඇතිව දාපු නමක්. ලෝකයට යහපතක් කරන්නා, හොඳ ගුණදහම් ඇතිව, වටිනාකමක් ඇතිව ජීවත් වෙන්නා කියන තේරුම සිද්ධාර්ථ නමේ තිබෙනවා. අපි සිද්ධාර්ථ කුමාරයාට සිදුහත් කුමාරයා කිව්වත් තේරුම එකම යි.

පුංචි ඔබ මල් පූජා කරනකොට බුදුපියාණන් හිතනවා ඇති අනේ මමත් මේ වගේ පොඩි ළමයෙක් වෙලා හිටියා. හොඳට ඉගෙන ගත්තා. පුංචි අම්මටයි තාත්තටයි කීකරුව හැදුණා. සතකුටවත් හිංසා කළේ නැහැ. එහෙම හොඳට හැදුණ නිසා මට පුළුවන් වුණා සියලු සත්වයින්ගේ යහපතට හේතුවන ධර්මයක් හොයා ගන්න. මේ පුංචි දරුවෝ මට මල් පූජා කරලා හිතනවා ඇති අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනෙ. හොඳ දරුවන් වෙන්න ඕන කියලත්. දරුවන්ගේ ඒ හොඳ ප්‍රාර්ථනා බුදුපියාණන්ට සතුටක්. හොඳට ඉගෙන ගන්න ළමයි හොඳ මිනිසුන් වෙනවානේ.

දැන් ඔබ හිතනවා ඇති කෝ සිදුහත් කුමාරයාගේ අම්මා. අම්මාට මොකද වුණේ කියලා. කුමාරයා ඉපදිලා ටික දවසකින් මහාමායා දේවිය මිය ගියා. පුංචි දරුවා බලා ගත්තේ, කිරි දුන්නේ පුංචි අම්මා, මහා ප්‍රජාපතී ගෝතමී දේවිය.

කුඩා කාලයේ තමන්ට ලේ කිරි කර දුන් පුංචි අම්මාට බුදු පියාණන් වහන්සේ මහා ගෞරවයකින් සැලකුවා. කෙළෙහි ගුණය දැක්වූවා. දුක සැප සොයා බැලුවා. බුදු වුණත් අම්මාට අප්පච්චිට කළ යුතු සේරම යුතුකම් ඉෂ්ට කළා.

පුංචි පුතාලා කැටපෝල් හදාගෙන බටලී තුවක්කු හදාගෙන, සල්ලි තියෙනවා නම් පිටරටවලින් ගෙන්වන සෙල්ලම් තුවක්කු අතට අරගෙන සමනලයින්ට, පුංචි කුරුල්ලන්ට, ලේන් පැටියන්ට විදිනවා ද? අහිංසක සත්තු තුවාලවෙලා බිම වැටිලා හඬන කොට උන් වටකරගෙන උඩ පැන පැන හිනා වෙනවා ද? නැහැනේ. අපේ දරුවෝ බුදුපියාණන් වහන්සේට ආදරය නිසා ඒ වගේ නරක වැඩ කරන්නේ නැහැ.

ඒත් අපේ සමහර යහළුවෝ ඉන්නවා, සෙල්ලමට කියලා ඒ වගේ නරක වැඩ කරන අය.

සිද්ධාර්ථ කුමාරයාගේ එක යහළුවෙක් හිටියා ටිකක් විතර නරක වැඩ කරන. පොඩ්ඩ වැරදුණාම අනිත් අයට ගහනවා. බනිනවා. ඇඳුම් ඉරලා දානවා. හිරිහැර කරනවා.

යාළුවේ ඔයත් හොඳ ළමයෙක් වෙන්න. නරක වැඩ කරන අයට කවුරුත් ආදරේ නැහැ කියලා සිද්ධාර්ථ කුමාරයා කොච්චර අවවාද කළත් එයා ඒක ඇහුවේ නැහැ.

දවසක් යාළුවෝ ටික එකතු වෙලා පුංචි කැලෑවකට ගියා ඇවිදින්න. සත්තු බලන්න. ගස් නගින්න පලතුරු කන්න. මේ පුංචි කැලෑවේ අලංකාර පොකුණක් තිබුණා. ඕලු, නෙළුම්, මානෙල් , කුමුදු, කෙකටියා, දියබෙරලියා පිරිලා. ඒ වගේ ම පාට පාට ලස්සන මාලු. රතු, කළු, කහ, දුඹුරු, නිල්, සුදුපාට මාළු රංචු එහා මෙහා පිහින පිහින වතුර බොන්න පොකුණට එන සත්තු දිහා බලලා සතුටු වෙනවා.

හාවා, මුවා, මී මින්නා, මුගටියා , මීමා ඌරා වගේ සිව්පාවුණුත් නයා, පිඹුරා, පොලගා, ඇහැටුල්ලා, ලේ මැඩිල්ලා, ගැරඩියා, වගේ උරගයිනුත් වතුර බොන්න එනවා.

අහසේ පියාසලන ගිරවා, පිළිහුඩුවා, කොට්ටෝරුවා, මොනරා, මයිනා, නීල කොබෙයියා වගේ කුරුල්ලන් අතර කොකා, තාරාවා, පාත්තයා, දියකාවා, හංසයා හිටියා.

අත්තෙන් අත්තට පනින වඳුරා, රිලවා, ලේනා නිදහසේ පිනුම් ගැහුවා. මල් පිපුණා. ගෙඩි හැදුණා. ගස්වැල් නිසා කැලෑව හුඟක් ලස්සන වෙලා.

මෙන්න මේ වගේ සුන්දර කැලෑවකට තමයි සිද්ධාර්ථ කුමාරයා සහ යහළුවෝ ගියේ. යහළුවන්ගේ අත්වල දුනු සහ ඊතල සත්තුන්ට හිංසා කරන ඒ වගේ ආයුධ කුමාරයා අතට ගන්නේවත් නැහැ. සත්තු දැක්කා ම සමහර යහළුවන් දුනු ඊතලවලින් උන්ට විඳීන්න පටන් ගත්තා. එක යහළුවකුගේ ඊතල පහර වැදුණේ හංසයකුට. හංසයා බිම වැටුණා. සිදුහත් කුමාරයා දැක්කා හංසයා බිම වැටිලා වේදනාවෙන් දඟලන හැටි.

ගස් සෙවණක වාඩිවෙලා කුරුලු ගීත අසමින් සිටි කුමාරයා එක පාරටම නැඟිටලා හංසයා ළඟට දිව්වා. හංසයා සිද්ධාර්ථ කුමාරයා දිහා බැලුවේ අනේ කුමාරයාණෙනි, මාව බේරා ගන්න. මම කාටවත් කරදරයක් කරන්නේ නැති අහිංසක කුරුල්ලෙක්. මං මැරුණොත් මගේ අම්මා, තාත්තා දුක් වේවි. හොඳටම හඬාවි. අනේ මා බේරා ගන්න ඔබට පින් සිද්ධ වෙයි. කියා කියන්නා වගේ . සිද්ධාර්ථ කුමාරයා අහිංසක සතා පරෙස්සමෙන් උකුළට අරන් ඊතලය ඇදලා අහකට දැම්මා. හිස, දිග බෙල්ල, පියාපත් කරුණාවෙන් අත ගගා හිතුවා අනේ මේ සතාට කිසිම කරදරයක් වෙන්න එපා. ඉගිලෙන්න පුළුවන් වෙන්න ඕන. හංසයාණෙනි, මම ඔබට මැරෙන්න දෙන්නේ නැහැ. හැම සතෙක් ම ජීවත් වෙන්නයි කැමතියි. මැරෙන්න බයයි. ඔබ ටිකක් දඟලන්නේ නැතිව ඉන්න. ශක්තිය ලැබේවි.

සිද්ධාර්ථ කුමාරයාගේ සත්ව කරුණාව හංසයාට බෙහෙතක් වගේ වුණා. ආයෙත් එයාගේ පියාපත්වලට ශක්තිය ආවා. එයා කුමාරයා දිහා ආදරයෙන් බලලා ඔබට ස්තූතියි. පින් සිද්ධ වෙච්චාවෙ. කියන්නා වාගේ දිග බෙල්ල ටිකක් නමලා එකපාරටම පියාඹන්න පටන් ගත්තා.

මේ අතරේ හංසයාට දුන්නෙත් ඊතලෙන් විද්ද යහළුවා දුරදීම දැක්කා නේ, හංසයා බිම වැටෙනවා. එයා හංසයාව හොය හොයා එනකොට සිද්ධාර්ථ කුමාරයා ළඟ ඉදලා අහසේ පියඹා ගිය හංසයාව දැක්කා.

ඊට පස්සෙ මොකද වුණේ අපි ඒ ගැන වප් අව අටවක පෝදා 28 පුවත් පතින් දැනගනිමු .

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]