[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර පසළොස්වක 2021-10-20

පෙර විමසුම

ඒබ්‍රහම් ලින්කන් ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ වූයේ සතුටින් සිටින නායකයෙක් ලෙසට ය. දිනක් මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය. ඒ, නිතරම සතුටින් සිටීමේ රහස කුමක්ද යනුවෙනි. එවිට ඔහු දුන්නේ අපූරු පිළිතුරකි. ඒ, අනුව මේ ජන නායකයා උදෙන් ම නැඟිටින්නේ කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එනම්, අද දිනයේ තමන් සතුටින් සිටිනවා ද, අසතුටින් සිටිනවා ද යනුවෙනි. හැමදාමත් ඔහු තෝරා ගන්නේ සතුටින් සිටීම ය. එ පමණින් ම ඔහු තමන් වෙත ඉබේ සතුට ළඟා වන තුරු බලා සිටියේ නැත. ඒ වෙනුවෙන් තෝරා ගත යුතු මඟ හැඳීන, ඒ අනුව කටයුතු කළේ ය.

සතුටින් සිටින කෙනෙක් සාමාන්‍යයෙන් සමාජයේ අන් අයගේ සතුට උදුරා ගන්නේ නැත. අනුන්ට දුකක් වන ලෙස කටයුතු කරන්නේ ද නැත. එයට හේතුව දැඩි ලෝභය, පාලනය කර ගත නොහැකි තරම් වන ද්වේෂය, අසීමිත මෝහය ආදී සිතිවිලිවලින් ඔහුගේ සිත පිරී නැති බැවිනි. එසේ නම්, පවුලකට, රටකට ඕනෑ සතුටින් සිටින මිනිසුන් ය.

බොහෝ දෙනෙක් සතුට බලාපොරොත්තු වුව ද එය ළඟා වන ආකාරයට ජීවන පැවතුම් හසුරුවා ගන්නේ නැත. තවත් කෙනකුට, තමන්ගේ සතුට බලාපොරොත්තු වූ ව ද අනුන්ගේ සතුට දකින්නට සිත හදා ගන්නට නොහැකි ය. එවැනි පුද්ගලයාට කවර නම් සතුටක් ද? සතුට කුමක් ද යන්න පිළිබඳ ව ම ඔහුට ඇත්තේ මුළාවකි.

සතුට ලබා ගැනීමේ අපූර්ව මාවතක් තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළහ. ඒ දහම් මඟට අනුව අප යමක් කරන්නට කියන්නට පෙර හොඳීන් සිතා බැලිය යුතු ය. එය තමන්ට අහිතකර ද, අනුන්ට අහිතකර දැයි සිතා දෙපසට ම අහිතකර නම්, නුසුදුසු නම් එයින් වැළකිය යුතු ය. අපගේ ගෙදර පරිසරයේ සිට ජීවිතයේ සෑම අවස්ථාවකට ම එය පොදු ය. වැඩි දෙනෙක් තමන් කරන කියන දේ පිළිබඳ ව පසුවට පසුතැවිලි වෙති. එහෙත් ගිය නුවණ ඇතුන්ලවා වත් ඇද්ද විය නොහැකි ය. හොඳම දෙය පෙර විමසුම ය.

යහපත් ව ජීවත් වන පුද්ගලයාට දහමට අනුව ධර්මයෙන් ම රැකවරණය ලැබෙන්නේ ය. මේ අන් කවරදාටත් වඩා අපට රැකවරණය ලැබිය යුතු කාලයකි. ඒ සොබා දහම විසින් ලෝකයට ම දැඩි දඬුවමක් දී ඇති බැවිනි. ඒ කොරෝනා වසංගතය යි. ඒ දඩුවමට කිසිදු භේදයක් නැත. එහෙයින් සොබාදහම කෙරෙහි පවා අප හිතෛෂී විය යුතු ව ඇත.

යමක් කිරීමෙන් පසු දුක් විපාක ලබා දෙන දෙයින් වැළකිය යුතු ය. හැසිරීම් හසුරුවා ගත යුතු කිසිවකුගේ දෝෂාරෝපණයක් නො ලැබෙන ලෙසට ය. පොලීසියට, උසාවියට, හිර ගෙදරට යන්නට වන්නේ අප නිවැරැදි නොවූ විටය. සතුට පතන අය මේ කරුණු හොඳීන් ධාරණය කර ගත යුතු ය.

විශේෂයෙන් සම්බුදු මඟ යන අපට වගකිමක් ඇත. ඒ ගෙවා පැමිණි ජීවිතය දෙස ආපසු හැරී බලනවිට මානසික වශයෙන් තැවුලට පත් නොවිම ය. මරණින් පසු අපායගාමී නොවීම ය.

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]