[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස්ස කුමාරයා ප්‍රතිඥා බිඳ දමයි

තිස්ස කුමාරයා ප්‍රතිඥා බිඳ දමයි

"මගේ මවගේ මිනීමරුවා. ඇගේ මව්පියන්ගේ මිනීමරුවා". සිරිනාග ඉතා තියුණු හඬින් මිත්‍රට ඇසෙන ලෙස කීවේ ය. මිත්‍ර ගෙල හරවා සිරිනාග දෙස බැලුවා පමණි. ඔහුගේ ගෙලට එල්ල වූ කඩු පහරින් කිසිදු හඬක් නොනඟා ම ඔහු කුටිය අභියස ඇද වැටුණේ ය. එම කඩුවෙන් ම තමාගේ උරහිසට පහරක් ගසාගත් සිරිනාග කෑ ගසාගෙන එළියට දිව්වේ ය. "කිසිවකුට පලා යන්නට ඉඩ දෙන්නට එපා. මිත්‍ර සෙනෙවිතුමාගේ කුටියේ සැඟ වී සිටි සතුරෙක් කඩුවෙන් කෙටුවා." කෑ ගසමින් සිරිනාග වැටුණේ ය.

පුණ්ණා ද මව ද ශබ්දය ඇසී වහා එහි පැමිණියහ. නිල කාමරය අභියස මිත්‍රගේ හිස කඳීන් වෙන් වන තරමට කැපී තිබිණි. ආලින්දයේ සිහි නැතිව වැටී සිටි සිරිනාගගේ උරහිසින් ලේ ගලමින් තිබිණි. ආරක්ෂක භටයෝ දිව ආ හ. ඝාතකයා අල්ලා ගන්නට නොහැකි විය. පුණ්ණා වෛද්‍යවරයා වහා කැඳවා සිරිනාගට ප්‍රතිකාර කරන්නට කටයුතු කෙරිණි.

"තුවාලය ටිකක් දරුණුයි. කම්පනයට සිහි නැති වෙලා. ආලින්දයේ වූ සෝපාවක සතපන ලද ඔහුට බෙහෙත් ගල්වා ප්‍රතිකාර කෙරිණි. ලේ වහනය වීම තදින් සිදු වූ නිසා සිහිය එන්නට හෝරාවක් පමණ ගතවිය. සමන්ති මාතාවත්, පුණ්ණා දියණියත් එතැනට ම වී සිටියහ.

ආරක්ෂක භටයෝ මන්දිරය තුළත්, ඉන් පිටතත් පරික්ෂා කළහ. සැඟවුණු කිසිවෙක් නොවීය. මහා මැදුරේ මුළුතැන් ගෙයට ආසන්නයේ බිත්තිය අසල දර කොට දෙකක් ද ඒ අසල ගෙවී ගිය මිරිවැඩි සඟලක් ද විය. බිත්තියේ වූ පා පහරවල් කිහිපය මිනීමරුවා එතැනින් පලාගිය බවට සලකුණු විය.

ලේ ගැලීම නවතා තුවාලයට බෙහෙත් බැඳ පියවි සිහිය ලබා දී රෝගියා නිවසට ගෙන ගොස් විවේකය ලබා දෙන ලෙසට වෛද්‍යවරයා නියම කළේ ය. එහෙත් සමන්ති මෑණියන්ගේ අදහස වුයේ වෛද්‍යවරයා මේ මැදුරේ ම රැඳී සිටිමින් රෝගියා රැක බලා ගත යුතු බවයි.

දීඝජන්තු මහා සෙනෙවි ද පැමිණියේ ය. තවත් අඩ හෝරාවකින් පමණ එළාර මහා රජතුමා ද පැමිණියේ ය. සෙනෙවි මැදුර වටා ආරක්ෂාව තර කෙරිණි.

ආරක්ෂක සෙබළුන් නොමැති අවස්ථාවක් බලා, මිනීමරුවා මිත්‍ර සෙනෙවිතුමාගේ නිල කුටියට වැදී සැඟවී සිට, සෙනෙවිතුමා ඝාතනයට සැලසුම් කළ ද සිරිනාගගේ පැමිණීම නිසා එයට බාධා පැමිණියේ ය. රාත්‍රී භෝජනය සඳහා පිට වී යන මහ සෙනෙවිතුමාට ඔහුගේ කඩුවෙන් කෙටූ ඝාතකයා, සිරිනාග සෙනෙවිගෙන් බේරී පලායාම සඳහා එම කඩුවෙන් ම කොටා පිටුපස තාප්පයෙන් පැන පලා ගොස් ඇත. එහෙත් සැමගේ ම පුදුමයට හේතු වූයේ පලා ගිය තැන වූ මිරිවැඩි සඟල සුමන මහා සිටුතුමාගේ මිරිවැඩි සඟලක් බව හඳුනා ගැනීම ය.

සිරිනාග එන්නට ප්‍රමාද වූ නිසා තමන්ගේ මුර සෙබළුන් දෙදෙනකු සමග පැමිණි ජයනාථ සිටුතුමා සිදුව ඇති දෙය දැක පුදුමයට පත්විය. සිරිනාග ඒ වන විටත් ප්‍රකෘති සිහිය ලබා සිටි බැවින් තම නිවසට කැඳවාගෙන යාමට රජතුමාගේ අවසරය ලබා ගත හැකි විය. සිරිනාගගේ ඉල්ලීම මත වෛද්‍යවරයා ද තම අස්රියෙන් ම වෙද මැදුරට යැවීමට මහා සිටුතුමා එකඟ විය.

පසුදා අනුරාධපුරය පුරාම ප්‍රචාරය වුයේ කිසියම් සාහසිකයකු විසින් මිත්‍ර මහා සෙනෙවිතුමා මරා දමා සිරිනාග සෙනෙවිතුමාට ද තුවාල කර පලා ගොස් ඇති බව ය.

රාජ්‍ය ගෞවරවය සහිත ව සිංහල මහා සෙන්පති මිත්‍රගේ ආදාහන කටයුතු රාජ්‍ය ගෞරවය සහිත ව සිදු කෙරිණි.

හිස් වූ සෙනෙවි තනතුරට යුද්ධ මණ්ඩලයේ අනුමැතියෙන් සිරිනාග පත් කරනු ලැබිණි.

යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ දුටුගැමුණු මහරජතුමා ද සහභාගී වන යුද්ධ මණ්ඩල රැස්වීම හවස යෙදී තිබියදී මහා සෙනෙවිවරු කිහිප දෙනෙක් රැස්වීම් ශාලාව අභියස සිට කතා කරමින් සිටියහ. මහත් අසහනයෙන් කතා බහ කරන ඔවුන්ට දැන ගන්නට ලැබුණේ රජතුමා මාළිගාවේ නැති බව ය.

"රජරට යටත් කර තුන් සිංහලය එක්සේසත් කිරීමේ සටන නැවතත් කල් දමන්නට සිදුවෙලා"

"අභ්‍යන්තර අරගල දිග් ගැහුණොත් අපේ සටන ආරම්භ කිරීම තවත් ප්‍රමාද වන්නට පුළුවන්. "

"කඩොල් ඇතු දුටුගැමුණු රජතුමාට සිටි මංගල හස්ති රාජයා. විහාරමහා දේවිය සිටිය යුත්තේ මාගම. ඇය අපේ සටනේ උපදේශිකාවක්. ජාතියේ වීර මාතාව දිගාමඩුල්ලේ රඳවාගෙන සිටින්නට සද්ධාතිස්ස කුමාරයාට කිසිම අයිතියක් නැහැ. "

"දුටුගැමුණු මහා රජතුමා මව් බිසවත්, කඩොල් ඇතුත් එවන ලෙසට දන්වා දූතයන් අත කිහිපවරක් ම හසුන්පත් යවා ඇතත් තිස්ස කුමාරයා ඒ ගැන තැකීමක් කර නැහැ. මේ නිසා දුටුගැමුණු රජතුමා කෝපයට පත්වෙලා."

මහා සෙනෙවිවරුන් තුළ ඇති අසහනයත්, කළකිරීමත් නිසා ම සේනාංක තුළ ඇතිවිය හැකි පසුබට වීමත් කාගේත් පසුතැවීමට හේතු වී ඇත. මේ ආවස්ථාවේ දී ඉතාම සැලකිලිමත් ව කටයුතු කිරීමේ වැදගත්කම මහා සෙනෙවිවරු තේරුම් ගත්හ.

"තිස්ස කුමාරයාට රජතුමාගේ අසාධ්‍ය තත්ත්වය දන්වා යැවීමට කිසිවකුත් උනන්දු නොවුයේ ඇයි "

"අප වැඩි දෙනකු රජතුමාගේ අභාවය ගැන දැන ගත්තේ ආදාහන දවසේ ම යි. ඇතැම් අය දැනගත්තේ එයිනුත් දවස් කිහිපයකට පසුවයි. "

"කාවන්තිස්ස රජතුමාගේ ආදාහන උත්සව කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු ව තිබුණේ දුටුගැමුණු රජතුමා යි. එතුමා නොසිටීමේ වාසිය ලබා ගන්නට තිස්ස කුමාරයා මෙහෙය වුයේ කවුරුන් ද? "

"දුටුගැමුණු කුමාරයා ගෙන්වා මාගම රාජ්‍ය භාර දී තමාට හිමි යුවරජ තනතුර ලබා ගෙන තිස්ස කුමාරයා දිගාමඩුල්ලට ගියා නම් කොපමණ අගේද? විහාර මහා දේවිය මෙහිදී කිසියම් පියවරක් නොගන්නේ ඇයි ?"

"කිසිවකුටත් හිතා ගන්නට බැරි වී තිබෙන ගැටලුවත් ඒකම තමයි. රජතුමා මියගිය පසුව විහාරමහා දේවිය ඉතාමත් දුකටත්, කළකිරීමටත් පත්ව සිටි බව සිතා ගන්නට පුළුවන්. "

"තිස්ස කුමාරයා කිසිවකුටත් නොදන්වා රාජ සම්පත් සහිත ව මංගල හස්ති රාජයාත්, මව් බිසවුන් වහන්සේත් රැගෙන යාම අනියමින් මාගම රාජ්‍ය ලබා ගැනීමක් නොවේ ද?"

" දෙසොහොයුරන් ඔවුනොවුන් භේද නොවන බවට මහා සංඝයා ඉදිරියේ දිව්රුම් දී තිබියදීත් තිස්ස කුමාරයා කර ඇත්තේ එම ප්‍රතිඥාව බිඳීමක් නොවේද ?"

"ප්‍රතිඥාව බිඳලා . දැන් සුදානම් වෙන්නේ යුද්ධයකට. මෙය කාගේ හෝ මෙහෙයවිමක්. "

"සෙනෙවිවරුන් අතර කතාබහ දිග්ගැස්සෙන්නේ ඔවුන් අතර ද මතභේද සහිතව යැයි නන්දිමිත්‍රට හැඟිණි. රජතුමාගේ පැමිණීම ප්‍රමාද ය. වේළුසුමන ද පැමිණ නැත. දාඨාසේන මහනෙල යුද්ධ සමම්න්ත්‍රණ ශාලාවේ යුද්ධ මණ්ඩල රැස්වීමට කටයුතු සුදානම් කරති.

"දැන් අතුරුපස වේලාව. කවුරුත් භෝජන ශාලාවට එන්න. " සමන්තා කුමරියගේ ආරාධනයෙන් කවුරුත් බොජුන් හලට එකතු වුහ. මහිලා සීවලී කුමරියෝ ද එහි වූහ.

"අද යුද්ධ මණ්ඩල රැස්වීම නැහැ. අතුරුපසින් පසු කවුරුත් සන්නිපාත ශාලාවට එන්න. යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ සිටින අයත් දැන් මෙහි ඒවි. කෙටි සාකච්ඡාවකින් පසු විසිර යන්නට පුළුවන්". සුරනිමල කීවේ ය.

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]