[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු පහස ලද අටවිසි බෝධින් වහන්සේ

සම්බුදු පහස ලද අටවිසි බෝධින් වහන්සේ

ජීවිතයේ මුහුණ දෙන අනේකවිධ දුක් කරදරවලට සහනයන් ලබා ගන්නට, යහපත් ප්‍රාර්ථනා ඉටුකර ගන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නට බෞද්ධයෝ අමතක නොකරති.

තෙරුවන් ගුණ සිහි කිරීමකින් එවැනි බාධක අවම කර ගැනීමට හෝ නැති කර ගැනීමට හැකි බව බෞද්ධයින්ගේ විශ්වාසය යි. එබැවින් බෝධි පූජා, නවග්‍රහ පූජා සහ අටවිසි බෝධි පූජාවන් ද පවත්වති. රෝග පීඩා, පවුල් ආරවුල්, විභාග ජයග්‍රහණ, ව්‍යාපාරික හෝ වෘත්තීය ජීවිතියේ අභිවෘද්ධිය, වාසනාව, ග්‍රහදෝෂ නැති කර ගැනීම වැනි අරමුණු පෙරදැරි ව අටවිසි බෝධි පූජා පවත්වති.

සාමාන්‍යයෙන් විහාරස්ථානයක දක්නට ලැබෙන්නේ ඇසතු බෝධින් වහන්සේ පමණි. එයට මල්, පහන්, ගිලන්පස, චතුමධුර, දැහැත් සහ පිරිකර විසි අටබැගින් සකස් කර පූජා කිරීම සම්ප්‍රදාය යි. ඇසතු බෝධිය වටා අටවිසි බෝධින් වහන්සේලා සහ අටවිසි බුදුරජාණන් වහන්සේලා සංකේතවත් කරමින් කුඩා ප්‍රමාණයේ කුටි විසි අටක බුදු පිළිම විසි අටක් තැන් පත්කර තිබෙනු දක්නට ලැබේ. ඒ ඉදිරියෙන් සකස් කරගත් පූජා තැන්පත් කර අටවිසි බෝධි පූජා පවත්වයි. අටවිසි බෝධි පූජාවක් පැවැත්වීමට පෙර කළ යුතු වතාවත් සමූහයක් තිබේ.

විහාරයට පැමිණෙන සැදැහැවත් තැනැත්තා හෝ තැනැත්තිය ශරීරය හොදින් වැසෙන සේ සුදු ඇදුමකින් සැරසී පැමිණිය යුතු ය. අනතුරුව බෝධිය අවට මලුව ඇමදිය යුතු ය. මල් ආසන පිරිසුදු කළ යුතු ය. ඒ සියල්ල අවසන් වන විට ම තම සිතට මහත් සහනයක් හිමි වේ. තව ද අන් අයට ප්‍රිය වේ. දෙවියන් සතුටට පත් වේ. රූප ශෝභාව වර්ධනය වේ. මරණින් මතු දිව්‍ය සම්පත් ආදිය හිමිවීමට ද භාග්‍ය උදාවේ.

මලුව පිරිසුදු කළ පසු සකස් කරගත් පූජා අදාළ ස්ථානවල තැන්පත් කිරීම කළ යුතු ය. ඇතැම්හු පහන් දල්වන්නේ බෝධි වෘක්ෂයට ය. ඇතැම්හු බෝ මලු වේ ය. මෙයින් බෝධියේ පැවැත්මට බලපෑම් ඇති කරයි. වැලිමලුවට තෙල් වැටීමෙන් වැලි අපවිත්‍ර වේ. එවිට වැලිමලුවේ වැලි ඉවත් කර නැවතත් අලුත් වැලි ඇතිරීමට බොහෝ විහාරස්ථානවලට සිදු වේ. වන්දනා කරන පිරිස්වලට ද එය බාධා ගෙන දෙයි. එබැවින් බෝධි පූජාවක් පැවැත්වීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු රැසක් ම පවතියි.

අටවිසි බෝධි පූජාවක් පවත්වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු තවත් බුදුවරයන් වහන්සේලා විසිහත් නමකගේ ගුණ සිහිපත් කරමිනි. විශේෂයෙන් ම අටවිසි බෝධි පූජා අවස්ථාවක දී කරන්නේ විසිඅටක් බුදුවරයන් වහන්සේලාගේ නම් සහ බුද්ධත්වයට පැමිණීමට උපකාර වූ බෝධි වෘක්ෂ සඳහන් කවි හෝ ගාථා ගායනා කරමින් වන්දනා කිරීමයි. ගෞතම බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමරුව මෙලොව උපත ලබන්නේ සල් ගසක් අසල ය. නේරංජනා නදී තෙර බුද්ධත්වය ලබන්නේ ඇසතු බෝධියක් යට ය. පිරිනිවන්පාන්නේ ද සල් ගස් සමූහයක සෙවණේ ය. ජීවිතයෙන් වැඩි කාලයක් පරිසරය සමග දිවි ගෙවීමට බුදුරජාණන් වහන්සේ ප්‍රිය කළහ.

එයට ප්‍රබල හේතුවක් පවතියි. මනුෂ්‍යා ස්වභාවික සත්වයෙකි. පරිසරයට අයත් ජීවියෙකි. ස්වභාවික ජලය, ගස් සෙවණ ආදිය ජීවිතයට සහනය සලසයි. රෝගාබාධ උපන් අවස්ථාවල දී ගස්වල මල්, ඵල, කොළ, මුල්, දලු, කිරි හෝ මැලියම් සහ කොළ තම්බා ලබා ගන්නා ජලය ඖෂධ වශයෙන් භාවිත කිරීමට බුදුරජාණන් වහන්සේ අනු දැන වදාරා ඇත්තේ එබැවිනි.

ගෞතම බුරජාණන් වහන්සේ ද අනුගමනය කර ඇත්තේ පෙර බුදුවරුන්ගේ මඟ ය. බුදු, පසේබුදු සහ අර්හත් යනුවෙන් නිවන් දැකීමේ බෝධි තුනක් ඇති බව ධර්මයේ සඳහන් ය. මෙයින් පසේබුදු බව සහ අර්හත් බව ඕනෑම ස්ථානයක දී ලැබිය හැකි ය. එහෙත් බුද්ධත්වය ලබන්නේ බෝධි වෘක්ෂයක් සමීපයේ ම ය. මේ නිසා ම ‘‘බෝධි” පදයට සර්වඥතා ඥානය, අර්හත් මාර්ග ඥානය, ආර්ය මාර්ගය, සතර මාර්ග ඥානය, සත්‍යාවබෝධය, බෝ වෘක්ෂය යන ගැඹුරු අරුත් ආරෝපණය වී ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු බෝධියට කෘතගුණ සැලකීම් වශයෙන් දින හතක් ඇසිපිය නො හෙලා අනිමිස ලෝචන පූජාව පැවැත්වූහ. එයින් උන්වහන්සේගේ ආධ්‍යාත්මික ශක්තිය එයට අයිති විය. සෙසු බුදුරජාණන් වහන්සේලා විසි හත් දෙනා ද තමන් වහන්සේලාට බුද්ධත්වයට පැමිණීමට උපකාර වූ වෘක්ෂවලට කෘත ගුණ දක්වා තිබේ. බුද්ධත්වය ලැබීමට යොදා ගෙන ඇති බෝධි වෘක්ෂ සියල්ල රූක්ෂ වෘක්ෂයන් ය. එවැනි ගසක් සමීපයේ විනාඩි කිහිපයකට නතර වුවත් ලැබෙන මානසික සහනය වචනවලින් ප්‍රමාණය කළ නොහැකි ය. තව ද එම වෘක්ෂ ඖෂධ ගුණවලින් පිරිපුන් ඒවා ය. බුදුරජාණන් වහන්සේ ගස්, ගල්වලට වන්දනා කිරීම ප්‍රතික්ෂේප කළහ. එහෙත් බුදුරජාණන් වහන්සේ කෙනෙකු පරිභෝග කළ වස්තුවකට අනුග්‍රහ දැක්වීම ආශිර්වාද ලබා ගැනීමට හැකි දෙයක් බව ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් දක්වමින් අනුදැන වදාළහ. අනන්ත ගුණවලින් පිරුණු සම්බුද්ධත්වය ලැබූ බුදුරජාණන් වහන්සේ නමකට සෙවණ දුන්, උන්වහන්සේලාගෙන් ආශිර්වාද ලැබූ බෝධි වෘක්ෂ විසිඅටකට පූජා පැවැත්වීම අටවිසි බෝධි පූජාවේ විශේෂ ලක්ෂණය යි. එහෙත් වෘක්ෂ වශයෙන් ගත් විට විසි දෙකක් පමණක් දක්නට ලැබෙයි. නා ගස, සල් ගස සහ මුරුත ගස අවස්ථා කිහිපයක දී බුද්ධත්වයට භාවිත කර ඇත. තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වය ලැබීමට උපකාර කර ගත් බෝධි වෘක්ෂ පර්යාය නම් සමගින් පිළිවෙළින් මෙසේ සඳහන් කළ හැකි ය. රුක්අත්තන ගස සප්තපර්ණි, නමින් ද, කෑල ගස කිංසුක නමින් ද, කප්පිත්ත හෙවත් පතන බෝ, පිප්ඵලි, පුලිල, පලොල්, නෙරළු යනුවෙන් ද හඳුන්වයි. සරණංකර සහ දීපංකර බුදුරජාණන් වහන්සේලා දෙනම පතන බෝධිය භාවිත කර තිබේ. කොණ්ඩඤ්ඤ සහ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ සල් වෘක්ෂය යොදා ගන්නා අතර එය සාල කල්‍යාණි, ඉන්දියානු සල් යනුවෙන් ද හඳුන්වයි. මංගල, සුමන, රේවත සහ සෝභිත බුදුරජාණන් වහන්සේලා නා ගස භාවිත කළහ. එය නාග, නාගරුක්ඛ යන නම්වලින් ද හඳුන්වයි. අනෝමදස්සි බුදුරජුන් කුඹුක් හෙවත් අර්ජුන ගස ද, පදුම සහ නාරද බුදුවරු මුරුත, කේනරුක්ඛ සහ මහාසෝණ නමින් හඳුන්වන බුරුත ගස ද භාවිත කර ඇත. පුදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සිට සෙසු බුදුවරුන් වහන්සේලා පිළිවෙලින් පහත සදහන් බෝධි වෘක්ෂ බුද්ධත්වයට පාරිභෝගික කර තිබේ.

හොර හෙවත් සලල ගස ද, කොළොන්, මහානිප, නීපරුක්ඛ නම්වලින් යුතු බක්මී ගස ද, මහාවේණු, වේළු යනුවෙන් හදුන්වන කොළ උණ ගස ද, කුකුබ, පියංගු නමින් හදුන්වන රුක් ගස ද, චම්පික නමින් හඳුන්වන සපු ගස ද, බිම්බජාල, කුරාවක යනුවෙන් භාවිත කරන රත්කරවු ගස ද, කනීකාර, කරණකාර නම්වලින් දක්වන කිණිහිරියා ගස ද, අසන, පියා යන නම්වලින් හදුන්වන කොහොඹ ගස ද, ආමලක, ඇඹුල රුක යනුවෙන් දක්වන නෙල්ලි ගස ද, පාඨලී හෙවත් පලොල් ගස ද, පුණ්ඩරීක, හෙළඹ නම්වලින් හදුන්වන ඇටඹ ගස ද, උදුම්බර සහ දිඹුල් යනුවෙන් දක්වන අට්ටික්කා ගස ද, නිග්‍රෝධ සහ මහනුග යනුවෙන් හඳුන්වන නුග ගස ද, මහරි, සිරිසි, මාර සංඝ්‍ය නමින් දක්වන මාර ගස ද, අසත්ත බෝධිය නමින් දක්වන ඇසතු බෝධිය ද බෝසත්වරු බුද්ධත්වයට භාවිත කළහ. මේ සියල්ල ඉතා විශාල වෘක්ෂයෝ ය. අධික සෙවණක් සහිත ය. ජලය රැඳෙන ස්ථානවල පිහිටන ඒවා ය. එමෙන් ම ශරීර සෞඛ්‍යයට මහත් සහනයක් සැපයීමේ හැකියාවලින් යුක්ත ය. ඖෂධීය ගුණවලින් පිරිපුන් ය. බුද්ධාංකුරයන් වහන්සේලාගේ අවධානය එම වෘක්ෂවලට යොමු වී ඇත්තේ එවැනි හේතු නිසා ය.

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]