[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් යන දරුවා හැඩගැසෙන්නේ හෙළ කුල සිරිතට අනුවයි

දහම් පාසල් යන දරුවා හැඩගැසෙන්නේ හෙළ කුල සිරිතට අනුවයි

දහම් පාසල් යන දරුවෝ දෙමාපියන්ට, ගුරුවරුන්ට, නෑදෑයන්ට හා අසල්වාසීන්ට සලකති. පන්සලේ හාමුදුරුවන් වහන්සේගේ බහට අවනත වෙති. එම දරුවෝ සමාජයේ කුදු මහත් කටයුතුවල දී නොපැකිල ව ඉදිරිපත් වී කැපවීමෙන් යුක්ත ව කටයුතු කරති.

දහම් පාසල යන වචනය කන දැවටෙන විට ගෞරවණීය හැඟීමක් සිතට දැනෙයි. එයට හේතුව වන්නේ දහම් පාසලත් පන්සලත් එක්ව බැඳුණු දහම් අධ්‍යාපනයේ ගුණාත්මක භාවයයි. දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ වී දැනට වසර එකසිය විසිගණනක් ඉකුත් වී ඇති නිසා, අද මෙරට ජීවත් වන බොහෝ දෙනෙක් දහම් පාසල් අධ්‍යාපනය ලැබූ අය වෙති. නැතහොත් ඒ පිළිබඳ දැනුවත් බවක් ඇති පිරිසක් වෙයි.

නොකඩවා දීර්ඝ කාලයක් මුළුල්ලේ නිස්සරණාධ්‍යාසයෙන් යුක්තව ධර්ම ඤාණය ලබා දෙමින් ගුණ නැණ බෙලෙන් යුතු පුරවැසියන් පිරිසක් දැයට දායාද කිරීමට කැපවූ මහා සඟරුවනටත් ගුරු මණ්ඩලයටත් පළමුව ජාතියේ ප්‍රණාමය හිමි වේ.

දහම් පාසල් අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැංවීමයි. එය බෞද්ධ ප්‍රතිපදාවේ දැක්වෙන මූලික අරමුණට අනුගත වූවකි. එසේම දෙමාපියන්ගේ මූලික අභිලාෂයක් වන්නේ ද දහම් පාසල් සෙවණේ වැඩුණු ගුණ නැණ බෙලෙන් යුතු සාදාචාර සම්පන්න දරුවන් දායාද කිරීමයි. මෑත අතීතය දක්වා දරුවන් තුළ ඉරු දින දහම් පාසල් යාමට පෙර මනා සූදානමක් දක්නට ලැබුණි. පෙර දිනයේ හවස මල් වට්ටියක් පිළියෙල කර පිනි වැස්සට නිරාවරණය කර තබා පසුදින දහම් පාසලට ගෙන යයි. නැතහොත් හිමිදිරියේ මල් වට්ටියක් සූදානම් කර ගනියි. එසේ ම වේලාසනින් ම සිය දහම් පාසල් ඇඳුම පිරිසුදු කර තබා ගනියි. බුදුන් වහන්සේගේ ඡායාරූපයක් සහිත දහම් පාසල් පොත ද ගෞරවයෙන් තැන්පත් කර තබා රැගෙන යයි. දරු දැරියෝ ඉරු දින සුදු වතින් පිළිවෙලට සැරසී වෙල්යාය මැදින් වැටී තිබුණු අඩිපාර ඔස්සේ හෝ ගුරු පාර දිගේ පන්සලට සාමූහික ව පිවිසෙති. මෙසේ දහම් පාසල් ගිය දරුවන් තුළ වැඩුණු ශක්තිමත් ධර්ම අධ්‍යාපනය වූ නිසා පසුකලෙක එම දරුවන් වැඩිහිටියන් වුව ද එම හැදියාව ඔවුන්ගේ ජීවිතවල දක්නට ලැබේ. ඔවුන් විසින් සිදු කරන ආගමික කටයුතුවලදී පිරිසිදු බව, පෙර සූදානම හා පිළිවෙලට කටයුතු කිරීම වැනි ගුණාත්මක ලක්‍ෂණ දක්නට ලැබේ. එනිසා දහම් පාසල් අධ්‍යාපනයත් සමග දරුවන්ට ලැබෙන ශික්‍ෂාකාමී බව, හික්මීම, ආචාරශීලි බව, යහපතෙහි යෙදීම වැනි ගුණාංග සමුදායක් ජීවිතයට එක්වෙයි. එනිසා ළමා, තරුණ හා වැඩිහිටි සියලු දෙනා ම එක පවුලක් වශයෙන් සහයෝගයෙන් සාමූහිකත්යෙන් හා පරහිතකාමීත්වයෙන් දිවි ගෙවති.

වර්තමානයේ ඇතැම් දහම්පාසල් දරුවන් තුළ එබඳු ගුණාත්මක පසුබිමක් දක්නට නොලැබීම ඛේදයට කරුණකි. එයට හේතු වන්නේ දහම් පාසලෙන් ලැබෙන ශික්‍ෂණය හා ආචාරශීලි බව නොසලකා හැර තරඟකාරී විභාග මානසිකත්වයකින් හා අන්තර් දහම් පාසල් තරඟ ජයග්‍රහණයන් නිසා උද්දාමයට ගිය දුර්වල මානසිකත්වයකින් පසුවීමයි. නැතහොත් ඇතැමෙක් දහම් පාසල් අධ්‍යාපනය තවත් සහතිකයක් එකතු කර ගැනීමේ අරමුණින් නිරත වෙති.

දහම් පාසල යනු ගුණවත්කමින් අනූන සදාචාර සම්පන්න දරු පිරිසක් බිහි කරන ස්ථානයකි. එම දරුවන් සමාජයේ ජීවත් වන විට කැපීපෙනෙන ගුණාංග පෙන්නුම් කරයි. එබඳු සදාචාර සම්පන්න පිරිසක් සමාජයක ජීවත් වන විට ඔවුන්ගෙන් සෙසු පිරිසට සහනයක් ලැබේ. එසේම දෙමාව්පියෝ ද සිය දරුවන්ගේ හැදියාව, චර්යාව නිවැරැදි මගකට යොමු කරමින් ගුණවත් දුවෙක් පුතෙක් හදා ගැනීමට අපමණ වෙහෙසක් ගනිති. එබඳු ගුණවත් දුවෙක් පුතෙක් වෙසෙන පවුල් ජීවිත සුන්දර ය. එසේ ම දෙමාපියන්ගේ හිතට සැහැල්ලුව හා සතුට ඇති කරයි. පවුලේ සියලු දෙනා සාමූහිකත්වයෙන් බැඳී ජීවත් වෙති. දහම් පාසල් යන දරුවෝ දෙමාපියන්ට, ගුරුවරුන්ට, නෑදෑයන්ට හා අසල්වාසීන්ට සලකති. පන්සලේ හාමුදුරුවන් වහන්සේගේ බහට අවනත වෙති. එම දරුවෝ සමාජයේ කුදු මහත් කටයුතුවල දී නොපැකිල ව ඉදිරිපත් වී කැපවීමෙන් යුක්ත ව කටයුතු කරති. මෙනිසා දහම් අධ්‍යාපනය මෙරට සමාජය යහපත් කිරීමට අත්‍යවශ්‍ය වූ ම ආයතනයකි.

දහම් පාසල් යන දරුවා බෞද්ධ සාහිත්‍යයෙහි ඇතුළත් චරිත කථා හා ජාතක කථා ඉගෙන ගනියි. එම චරිතවල ගුණාත්මක චරිත ලක්‍ෂණ සිය ජීවිතයට අදාළ කර ගනියි. එසේම බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත මූලික ධර්ම කරුණු ඉගෙන ගෙන සිය ධර්ම ඤාණය වර්ධනය කර ගනියි. ධම්මපදය වැනි කෘතිවල ඇතුළත් ගාථා ඉගෙන ගෙන යහපත් හා ගුණාත්මක උපදෙස් හා ධර්ම කරුණු සිය ජිවිතයට බද්ධ කර ගනියි. අපගේ සංස්තෘතියෙහි අනන්‍යතාවය, සංස්කෘතියේ ලක්‍ෂණ ඉගෙන ගෙන ශ්‍රේෂ්ට ජාතියක් වශයෙන් නැඟී සිටීමට අවශ්‍ය පෞරුෂ ලක්‍ෂණ වර්ධනය කර ගනියි. අතීතයේ විසු අපේ සිංහලයන් රට, ජාතිය හා ආගම වෙනුවෙන් සිදු කළ අමිල ජාතික මෙහෙවර ඉගෙන ගනියි. එබඳු වීර චරිතයක් වීමට සිය රුචිකත්වය මනස තුළ ගොඩනැගෙයි. අපගේ උරුමයන් හා අතීත ශ්‍රී විභූතිය මනාව ඉගෙන ගෙන සිය ජාතියට බුදු දහමට මහත් බැඳීමක් ඇති කරයි. බෞද්ධයකු වශයෙන් පන්සලට හා භික්‍ෂූන් වහන්සේලාට ඉටු කළ යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමට යොමු වෙයි. වත්පිළිවෙත් හා පුද පූජාවන් නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය පුහුණුව දහම් පාසලෙන් ලැබේ. පසඟ පිහිටුවා වැඳීමට, අත්මාර්ථකාමී සිතිවිලි පරාජය කිරීමට, අනෙකා පරයා නැඟී නොසිටීමට, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වෙනුවට මෙත් කරුණා ගුණ පැතිරවීමට කටයුතු කරයි. මෙසේ ගුණාත්මක දරුපිරිසක් සමාජයට දායාද කරන්නේ දහම් පාසල් අධ්‍යාපනයයි. එය දෙමාපියන් හා වැඩිහිටියන් වශයෙන් අප සියලු දෙනාම මැනවින් දැනගත යුතු කාරණයකි.

හැදියාව තුළින් ගොඩනැගෙන සභ්‍යත්වය දහම් පාසල් දරුවන්ගේ හැසිරීමෙන් දැකිය හැකි ය. ඇඳුම් පැළඳුම් භාවිතය සභ්‍යත්වයේ මූලික ලක්‍ෂණයකි. ලජ්ජා භය ඇතිව සමාජයේ හැසිරීමට දරුවන් යොමු වන්නේ බුදු දහමෙන් ඉගැන්වෙන ලෝකපාලක ධර්ම (ලජ්ජා හා භය) නිසාය.

මෙම ලිපියේ ඉතිරි කොටස වප් අව අටවක පෝදා 28 පත්‍රයේ පළවේ.

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]