[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් පිරෙන පින්කම්

පින් පිරෙන පින්කම්

" බෝ මලුව, විහාර ගෙය, විහාරයේ අවට ස්ථානය හොඳීන් පිරිසුදු කළ යුතු ය. බෝධින් වහන්සේ වටා ඇති පර වූ මල් ඉවත් කර මල් ආසන පිරිසුදු කිරීම විශේෂ පිනක් රැස්වෙන දෙයකි. ඒ වගේම පහන් වැටි, හඳුන්කූරු තැටි ආදිය පිරිසුදු කිරීමත් කළ යුතු යි. "

සම්බුදු දහමෙහි පූජා විධි දෙකක් පිළිබඳ ව උගන්වයි. ඒ අමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා ලෙස ය. මේ අතරින් ආමිස පූජාව යනු කුමක්ද? ආමිස පූජාවෙන් අපේ ජීවිතයට ලැබෙන පිහිට, පිළිසරණ කෙබඳු ද කියා මෙම ලිපියෙන් විස්තර කෙරේ.

ආමිස පූජා ලෙස හඳුන්වා දී ඇත්තේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සංකේත වන බුද්ධ ප්‍රතිමා වහන්සේ, ස්ථුප, බෝධින් වහන්සේ ආදී පූජනීය ස්ථානයන්ට පුද පූජා පවත්වා ගෞරවයෙන් වන්දනා කිරීම යි. අපේ රටේ බොහෝ විට පෙරහර පැවැත්වීම, මල් පූජා, අධිෂ්ඨාන පූජා, පහන් පූජා, බෝධි පූජා , දන් දීම ආදියත් ආමිස පූජා ලෙස සැලකිය හැකි ය.

ආමිස පූජාවට අයත් ඉතාම ජනප්‍රිය මෙන් ම බොහෝ දෙනා සිදුකිරීමට කැමැති පූජාවක් වන්නේ බෝධි පූජාව යි. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ සිට මේ දක්වා ම බෞද්ධ ජනතාව උන්වහන්සේ‌ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාරී වූ , සෙවණ සැලසූ ඇසතු වෘක්ෂයට බෝධින් වහන්සේ සේ සලකා පුදපූජා පවත්වති. රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි තිසරණ සරණ ගිය ධර්මාශෝක රජතුමා දඹදිව බෝධි වන්දනා කළ ආකාරය ඉතාමත් පැහැදිලි ව අදටත් සටහන්ව තිබේ.

මේ කල්ප සියය ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සී, සිඛී, වෙස්සබු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සත්බුදු රජාණන් වහන්සේලාට බුද්ධත්වය ලබා ගැනීමට උපකාරී වූ ඒ බෝධින් වහන්සේලා වන්දනා කිරීම ඈත අතීතයේ පටන් ම සිදු වූ පින්කමක්. බුද්ධ ප්‍රතිමා නිර්මාණ නො තිබූ කාලයේ පවා බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කිරීමට බුද්ධ සංකේතයක් ලෙස බෝධින් වහන්සේට පුද පූජා පවත්වා තිබේ.

බෝධිය බෞද්ධ සංකේතයක් වු ව ද, වර්තාමන ශ්‍රී ලාංකික බෞද්ධයන් බෝධින් වහන්සේට අගෞරව කරන අවස්ථා ද තිබේ ශනි, කේතු, බ්‍රහස්පති, සෙනසුරු ආදි ග්‍රහ අපල තිබෙනවා යැයි මිථ්‍යා දෘෂ්ටියට එළඹි එහි බැසගෙන, කපුටන්, නාගයන් ආදි සතුන්‌ගේ සිතුවම් ඇඳ රාහු, අපල, ශනිගේ අපල, කේතුගේ අපල, සෙනසුරුගේ අපල දුරුවේවා! කියන කොඩිවැල් බෝධින් වහන්සේගේ අතුවල එල්ලති. එය බෝධින් වහන්සේට කරන විශාල අගෞරවයකි. ඒ වගේම තවත් පිරිසක් අසවලාගේ අපල දුරුවේවා! අසවලා නිරෝගි වේවා! අසවලාට රැකියාවක් ලැබේවා! කියමින් ලියා බෝධින් වහන්සේ‌ගේ අතුවල එල්ලා සරණක් බලාපොරොත්තු වේ. එවැනි අඥාන ක්‍රම මඟින් සාර්ථක බෝධි පූජාවක් කළ නොහැකි ය.

අප විහාරස්ථානයකට වන්දනා කිරීමට ගිය පසු මුලින් ම විහාරස්ථානයේ වතාවත් කිරීමට හුරු විය යුතු ය. බෝ මලුව, විහාර ගෙය, විහාරයේ අවට ස්ථානය හොඳීන් පිරිසුදු කළ යුතු ය. බෝධින් වහන්සේ වටා ඇති පර වූ මල් ඉවත් කර මල් ආසන පිරිසුදු කිරීම විශේෂ පිනක් රැස්වෙන දෙයකි. ඒ වගේම පහන් වැටි, හඳුන්කූරු තැටි ආදිය පිරිසුදු කිරීමත් කළ යුතු යි. මේවා පිරිසුදු කිරීමේ දී තම සිතේ තිබෙන ලෝභ, ද්වේෂ, මෝහ දුරුවේවා! මේ කොළ රොඩු අතු ගෑවි යන්නා සේ සිතේ තිබෙන අකුසල් දුරුවේවා! ආදි ලෙස සිතමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙන් එය සිදුකරනවා නම් එයින් තමාට ද පින් රැස් වේ.

ඉන්පසු තෙරුවන් සරණ ගොස් සිල්පද සමාදන් වී බොහෝම ශ්‍රද්ධාවෙන් බෝධින් වහන්සේට පූජා පැවැත්වීම එහිදී බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ අර්ථ සහිත ව මෙනෙහි කර දම්සක් පැවැතුම් සූත්‍රය, රතන සූත්‍රය, ධජග්ග සූත්‍රය, මෝර පිරිත ආදී සූත්‍රයක් සජ්ඣායනා කොට තමා රැස්කර ගත් සියලු පින් දෙවියන්ට අනුමෝදන් කර මෛත්‍රී භාවනාව හෝ බුදුගුණ භාවනාව හෝ කළ හැකි නම් ඒ බෝධි පූජාව සම්පූර්ණ වී තමාට අප්‍රමාණ පිනක් රැස්වෙයි. එසේ කිරීම තුළින් තමා බලාපොරොත්තු වන දෙයක් වේ නම් ඒ කරා සෙමින් ළඟාවිය හැකි ය. එහෙත් මිථ්‍යා මතවල එල්ලී කරන බෝධි පූජාවෙන් නම් තමා බලාපොරොත්තු වන දේ ලැබිය හැකි යැයි සිතීම අපහසු ය.

එලෙස ම ආමිස පූජාවේ තවත් විශේෂ පින්කමක් වන්නේ ගිලානෝපස්ථානය යි. එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළා "යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඔහු මට උපස්ථාන කරන්නේ" ය. කියා. බොහෝ විට අප බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමට කැමැති වුවත් ගිලනුන්ට උපස්ථාන කිරීමට මැළි වේ. එයට හේතුව එවැනි පිනක ඇති වටිනාකම ගැන ඇති අනවබෝධය යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ කුඩා සතකුගේ පවා ජීවතය රැක ගැනීමට උදව් කිරීම බොහෝ ආත්ම ගණනකට ආනිසංස ගෙන දෙන පින්කමක් බවය.

එලෙස ම මව්පිය උපස්ථානය, වැඩිහිටියන්ට ගෞරව කිරීම, මංමාවත් ඉදිකිරීම, ළිං පොකුණු තැනීම, අසරණයන්ට පිහිට වීම ආදී සියලු සුබසාධක කටයුතු ආමිස පූජාවට අයත් වේ . කෙනෙක් නිරන්තරයෙන් සිල්පද රකිනවා නම් ඔහු නිරන්තරයෙන් ලෝකයට සාමය දන් දෙයි. එනිසා ආමිස පූජාව ශ්‍රද්ධාවෙන්, අවබෝධයෙන් සිදු කරනවා නම් ඔහුට හෝ ඇයට මෙලොව මෙන් ම පරලොව ද යහපත උදාවෙයි.

බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]