[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිසරු බිමක ඉදිකළ සාරවත් පින්කෙත කොවුල්වැව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය

නිසරු බිමක ඉදිකළ සාරවත් පින්කෙත කොවුල්වැව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටා තිබෙන කොවුල්වැව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය වර්ෂ 1947 දී පමණ ගොඩනඟන ලද්දකි.

මුතුගල විහාර පරපුරෙහි විහාරස්ථානයක් වන ඇටම්පොල ශ්‍රී ක්ෂේත්‍රාරාමාධිපති කොවුල්වැවේ ඛේමානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ ශිෂ්‍යවරයන් වහන්සේ දෙනමක් විය. ඒ අතුරින් ඇකිරියගල සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම කොවුල්වැව වර්ධනාරාම විහාරස්ථානයෙහි ආදි කර්තෘවරයා ලෙස සැලකිය හැකි ය . ගිණිගත්පිටිය සංඝ පරපුර නියෝජනය කළ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික, එවකට සංඝරාජ පිරිවෙනෙහි පරිවේණාධිපති මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමාධිපති මාබෝපිටියේ මෙධංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ සහ කොවුල්වැවේ ඛේමානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට පත් වූ ඇකිරියගල සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපසම්පදාවේ දී කොවුල්වැවේ ඛේමානන්ද හිමියන් ගේ ආචාර්යත්වයෙන් පමණක් උපසම්පදාව ලබා ඇත. ඇටම්පොල විහාරස්ථානයට අයත් ව තිබූ භූමි භාගයක කොවුල්වැව වර්ධනාරාම විහාරස්ථානය ගොඩනංවා ඇත . මෙම විහාරස්ථානයට ශ්‍රී වර්ධනාරාමය යන නම තැබීම සඳහා මූලික හේතුව වී ඇත්තේ පෙර කී බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමයේ මාබෝපිටියේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇකිරියගල ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ පැවිදි ආචාර්යවරයන් වහන්සේ නමක්වීම යි.

කොවුල්වැව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය ආරම්භ කළ භූමිය ඊට පෙර විවිධ විෂමාචාරයන් සිදු කරන්නන්ට තෝතැන්නක් ව පැවැතී තිබිණ. එවකට කොවුල්වැව වත්තේ වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ මොහොට්ටි මහත්මා ගේ සහ කොවුල්වැවේ විදානෙ රාලහාමි යන අය ගේ ප්‍රධාන දායකත්වයෙන් යුක්ත ව ප්‍රදේශවාසී සැදැහැතියන් ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම ස්ථානය සුද්ද පවිත්‍ර කොට කුඩා පොල් අතු සෙවිලි කළ ගොඩනැඟිල්ලක් තනා ඇත . ඒ විහාරස්ථානයේ පළමු ගොඩනැඟිල්ල යි. පසුව කොවුල්වැව ප්‍රදේශවාසීන් ඇටම්පොල විහාරස්ථානයට ගොස් තමන් කළ ගොඩනැඟිල්ලේ වස් විසීමට ස්වාමීන් වහන්සේ නමක් අවශ්‍ය බව පවසා වස් ආරාධනාවක් සිදුකොට තිබේ. එම අවස්ථාවේ දී ඇකිරියගල සරණපාල ලොකු හාමුදුරුවන් වහන්සේ දායකයන් ගේ ආරාධනාව පිළිගෙන මෙහි වැඩම කොට ඇත.
විහාරාධිපති පූනාහැල සද්ධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිකාරී මැදවල සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ

උන්වහන්සේ විසින් ශ්‍රී ඛේමානන්ද දහම් පාසල ආරම්භ කොට ප්‍රදේශයේ දුවා දරුවන් ගේ සදාචාර සංවර්ධනය උදෙසා අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කරමින් එම දහම් පාසල ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලක් බවට පත් කොට ඇත . ඊට සමකාලීන ව උන්වහන්සේ ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථානයෙහි කුඩා විහාර මන්දිරයක් තැනීම සේ ම, බෝධීන් වහන්සේ නමක් ද රෝපණය කොට ඇත . කොවුල්වැව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති විනයාචාර්ය මංගල ධර්මකීර්ති ශ්‍රී සරණපාල , ශාස්ත්‍රපති ,රාජකීය පණ්ඩිත, පූනාහැල සද්ධානන්ද පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 1952 දී මෙම විහාරස්ථානයේ දී පැවිදි බිමට පත් විය . උන්වහන්සේ පැවිදි බිමට පත්වන විට මෙම විහාරස්ථානයේ තත්ත්වය කෙසේ ද යන්න පිළිබඳ බොහෝ කරුණු අපත් සමග ප්‍රකාශ කොට තිබේ .

“අපි පුංචි කාලේ මේක මහා ඉඳී ගස් පිරිච්ච ඉඩමක්. පන්සල දියුණු කරල හදන්න තරම් ලොකු මුදලක් ලොකු හාමුදුරුවන්ට තිබ්බෙත් නෑ, දායකයන්ට තිබ්බෙත් නෑ. අපි කොළඹ ඉඳලා උගන්නල ලැබිච්ච වැටුපෙන් තමා මේ චෛත්‍යය , අලූත් විහාර , සංඝාවාස හැදුවේ “

පූනාහැල සද්ධානන්ද නායක මාහිමියන් වහන්සේ කොළඹ නාලන්ද විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය වැනි දිවයිනේ සුප්‍රසිද්ධ පාසල් කිහිපයක ම සේවය කොට තමන් වහන්සේ ඉන් උපයා ගත් වැටුපෙන් සහ සැදැහැති දායකයන් ගේ උපකාරයෙන් මෙම විහාරස්ථානයේ සකල විහාරාංග සම්පූර්ණත්වයට පත් කළ බව ආවර්ජනය කරන්නේ හදපිරි සතුටකිනි. ධර්ම ශාලාව, චෛත්‍ය රාජයාණන් වහන්සේ, බුදු මැදුර, දෙමහල් සංඝාවාසය, වාහල්කඩ ඇතුළු අනෙකුත් සියලු විහාරාංගයන් උන්වහන්සේ ගේ මූලිකත්වයෙන් ගොඩනංවා ඇත. විහාරස්ථානය මඟින් පවත්වන දහම් පාසලේ දූ දරුවන් 100ක් පමණ දහම් අධ්‍යාපනයේ යෙදෙන අතර, විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන සතිපතා විවිධ ආගමික වතාවත් සිදු කරනු ලැබේ. ඒ නිසා ම ප්‍රදේශයේ බොදුනුවන් ගේ අතිශය ප්‍රියමනාප භාවයට පත් වූ විහාරස්ථානයක් ලෙස වර්ධනාරාම විහාරස්ථානය හඳුන්වා දිය හැකි ය. වර්තමාන විහාරාධිකාරී නිට්ටඹුව , දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හි පීඨාධිපති , දර්ශනපති , පූජ්‍යපාද මැදවල සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිරන්තරයෙන් ම විහාරස්ථානයේ භෞතික දියුණුව හා දායකයන් ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් වෙහෙසී කටයුතු කරති. එදා නිස්සාර භූමියක් ව පැවති මෙම භූමි භාගය අද සුවහසක් සැදැහැතියන් ගේ දෙලොව වැඩ පිණිස කටයුතු සලසන සාරවත් කෙම් බිමක් සේ විරාජමාන ව පවතී .

බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]