[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක බොරුවක් වසා ගන්නට බොරු සියයක් කියන දරුවකු නොව වරද පිළිගෙන නිවැරැදි වන දරුවකු රටට දායාද කරමු

එක බොරුවක් වසා ගන්නට බොරු සියයක් කියන දරුවකු නොව වරද පිළිගෙන නිවැරැදි වන දරුවකු රටට දායාද කරමු

අපේ සමාජයේ‌‌ ‌බොහෝ මව්පියන් දුක සේ යමක් උපයාගෙන ඒ සියලු දේ දරුවන් වෙනුවෙන් වියදම් කරනවා. දරුවාට පවුලේ තිබෙන ආර්ථික ප්‍රශ්න ගැන දැනෙන්නට ඉඩ දෙන්නේ නැහැ. එවිටත් දරුවාට පවුල ගැන හැඟීමක් නැතිව යනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දරුවන් ගේ පූර්ව ආචාර්යයන් වන්නේ මව්පියන් බවයි. මුලින්ම දරුවාට හොඳ නරක කියා දෙන්නේ ඔවුන්. ඒ නිසා මව්පියන් දරුවා අයහපතෙන් වළක්වා යහපතේ යොදවන්නට නිරන්තරයෙන් ම උත්සාහ කරනවා.

සෑම අම්මා කෙනෙක් ම, සෑම තාත්තා කෙනෙක් ම කැමැති තමන් ගේ දරුවා සමාජයට බරක් නොවී හොඳ ගුණ යහපත් දරුවෙක් වෙනවා දකින්නයි. දරුවා සමඟ වැඩිපුර ම රැඳෙන්නේ අම්මා. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ත් දරුවකු නො මඟ ගියහොත් අම්මාට තමයි සමාජයෙන් චෝදනා එල්ල වෙන්නේ. එනිසා අම්මා කියන වචනය තුළ බොහෝ වගකීම් ගැබ්වෙලා තිබෙනවා. පවුලක මවක් වඩාත් දක්ෂ විය යුත්තේ දරුවන් ගේ දුර්වලතා වගේ ම හැකියාවන් තේරුම් ගෙන යහපත, අයහපත නිවැරැදි ව තේරුම් කර දෙන්නට යි.

අද අප සමාජයේ තිබෙන පරිසරයත් එක්ක දරුවෙක් නො මඟ යෑමට තිබෙන ඉඩකඩ වැඩියි. එහිදී මව්පියන්ට ලොකු වගකීමක් තිබෙනවා දරුවා අයහපතින් මුදවා ගන්න. සමාජය විවෘත යි. එදා ට වඩා මේ සමාජය දියුණු වුවත් ගුණධර්ම පරිහානිය වේගවත්. විෂම හැසිරීම් තිබෙන මිනිසුන් බහුල යි. අන්තර්ජාල පහසුම් සුලභ යි. සමාජය ගැන දැනුමක් නැති දරුවා විෂම මිනිසුන් ගේ පහත් අදහස්වලට හසුවිය හැකියි. මගේ අම්මා මා හැදූ ආකාරයට මමත් මගේ දරුවා හදාගන්නවා කියා යම් මවක් සිතුවොත් සමහර විට එය අසාර්ථක විය හැකි යි. ඒ, එදා සමාජය සහ අද සමාජයේ ඇති වෙනස්කම් නිසා. ඒ නිසා වැඩිහිටියන් නිරන්තරයෙන් දරුවා ගේ හැසිරීම් ගැන අවධානයෙන් සිටිය යුතු යි. හොඳ නරක දෙකේ දී ම දරුවා සමඟ ඉතා කුළුපඟව මව්පියන් සිටියොත් ඒ දරුවා පෙළෙඹෙනවා, තමාට හරිගිය දේ ත්, වැරැදුණ තැනත් විශ්වාසයෙන් ඔවුන් සමඟ කියන්න. දරුවාට සමහර දේ අනතුරක් කියා නො තේරුණත් මව්පියන්ට පුළුවන් දරුවා වරදින් ආරක්ෂා කර ගන්න. වැඩිහිටියන් ගේ ක්‍රියාකලාපය අනුවයි දරුවා යමක් කියන්නේ, කරන්නේ. දරුවා තුළ පූර්ණ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට මව සහ පියා සමත් විය යුත්තේ එනිස යි. වැරැදි අරමුණක් තුළින් ඉදිරියට හඹායාම ළමා මෙන් ම තරුණ වයසේ ස්වභාවයක්. එය මැනවින් වටහා ගෙන සිටීම සමාජයේ ම වගකීම යි.

අපේ සමාජයේ ‌‌ ‌බොහෝ මව්පියන් දුක සේ යමක් උපයාගෙන ඒ සියලු දේ දරුවන් වෙනුවෙන් වියදම් කරනවා. දරුවාට පවුලේ තිබෙන ආර්ථික ප්‍රශ්න ගැන දැනෙන්නට ඉඩ දෙන්නේ නැහැ. එවිටත් දරුවාට පවුල ගැන හැඟීමක් නැතිව යනවා. "මගේ මව්පියන් කො තරම් දුක සේ ද මා හදාවඩා ගන්නේ" කියා දරුවාට අනුකම්පාවක් නැති නිසාත්, ඔවුන් අයහපතේ යෙදීමට ඉඩකඩ තිබෙනවා. සමාජයේ සිදුවන විෂම ක්‍රියා ගැන දරුවා සමඟ වැඩිහිටියන් නිතර සාකච්ඡා කිරීම තුළිනුත් එහි තිබෙන භයානක තත්වය දරුවාට කියා දීම තුළිනුත් දරුවා වරදින් මුදා ගත හැකියි. "මගේ දරුවා එසේ කරන්නේ නැහැ" කියා ‌බොහෝ මව්වරු දරුවා ගැන අසීමිත විශ්වාසයක් තබනවා. එ මඟිනුත් දරුවා ගේ ජීවිතයට යම් බලපෑමක් සිදුවිය හැකි යි.

මීට වසර දෙක තුනකට පෙර සමාජයෙන් චෝදනාවක් එල්ලවුණා දරුවාට ජංගම දුරකතනය, අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න එපා. එයින් දරුවාට අයහපතක් සිදුවෙනවා කියා. එහෙත් මේ වනවිට කුඩා දරුවා ගේ සිට තරුණ දරුවා දක්වා ම එය ලබා දීමට මව්පියන්ට සිදුවී තිබෙනවා. දුරස්ථ අධ්‍යාපනය මේ කාලයේ දී අත්‍යවශ්‍ය වී තිබෙනවා. මේ අන්තර්ජාල පහසුකම්වලින් දරුවා අයුතු ප්‍රයෝජන ගත්තොත්, දුරාචාරයට ඇබ්බැහි වුවහොත් දරුවා ගේ මුළු ජීවිතය ම විනාශ වෙලා මෙලොව පරලොව දෙක ම අසාර්ථක වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් අම්මා කාර්ය බහුලයි. ඇයට තිබෙන වැඩ කටයුතු බොහෝ යි. එහෙත් දරුවා මඟ ඇරුණොත් එය ඒ පවුලේ අයහපත පිණිස පවතින්නට පුළුවන්. එනිසා කො තරම් වැඩ තිබුණත් දරුවන්ට අවධානය යොමු කිරීම මව්පියන් ගේ මෙන් ම පවුලේ වැඩිහිටියන් ගේ ද වගකීම වෙනවා. එහිදී අම්මාට විවිධ උපක්‍රම භාවිත කිරීම තුළින් සමහර ගැටලුවලට විසඳුම් ලබාගත හැකි වෙනවා. දරුවා අන්තර්ජාල අධ්‍යාපන කටයුතු කරද්දී නිවසේ පොදු තැනක් ඒ වෙනුවෙන් වෙන් කිරීම, ඒ අවස්ථාවේ දී නිවසේ නිහඬබව රැක ගැනීම, ආදී ‌දේ තුළිනුත් යම් යම් ප්‍රශ්න මඟ හැරේවි. මව්පියන් නවීන තාක්ෂණය ගැන දැනුවත් නැතිනම්, ඒ ගැන දැනීමක් ඇති කෙනකුලවා හෝ දරුවා ගැන සොයා බැලීම තුළින් "අම්මා මම ගැන සෙවිල්ලෙන් ඉන්නේ" කියන අදහස දරුවා තුළ ඇතිවීම තුළිනුත් වරදට බිය වෙනවා.

මෙහිදී අම්මා වගේ ම තාත්තාත්, අනෙක් වැඩිහිටියනුත් කළ යුත්තේ දරුවාට අනතුර ගැන අවබෝධයක් ලබා දීමයි. දරුවා කුඩා කාලයේ පටන් "පුතේ අපේ ජීවිතවලට මේ වගේ අනතුරු අන්තර්ජාලයෙන් ඇති වෙනවා" කියා පරිස්සමත් එහි වැදගත්කමත් දරුවාට මනා ලෙස කියාදීම අප ගේ වගකීම යි. සෑම දෙයක දී ම දරුවාට එපා...එපා... නො කියා එහි ඇති අනතුර දරුවාට පැහැදිලි කර දෙන්න. යම් දරුවකු පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටියොත් ඒ දරුවාට මෙලොව දී ම එහි ආදීනව අත්දකින්නට සිදු වෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, කායික රෝගවලට ගොදුරු වෙනවා, මානසික ව රෝගී වෙනවා, යහලුවන්, ඥාතීන් අහිමි වෙනවා කියා පැහැදිලි කර දෙන්න. ඒ වගේ ම පරලොව ජීවිතය අසාර්ථක වන ආකාරය කියාදීමත් වැඩිහිටි, ගුරුවරුන් ගේ වගකීම යි.

යම් දරුවෙක් පින, පව හඳුනනවා නම්, පිනට කැමැති නම්, පවට අකමැති නම් කවදාවත් අකුසල් කියන දේ ඒ දරුවා අතින් සිදුවන්නේ නැහැ. දහමේ හැසිරෙන දරුවා මව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට නිසි ලෙස ගෞරව කරනවා. දරුවෙක් යහමඟ යොමු කිරීමේ පූර්ණ වගකීම තිබෙන්නේ මව්පියන් අතේ. නිවසේ සියලු දෙනා දිනපතා බුද්ධ වන්දනාව කරනවා නම්, පිරිත් කියනවා නම්, දහම් කතාවේ යෙදෙනවා නම් දරුවා කවදාවත් අයහපතට යොමු වන්නේ නැහැ. ඒ සියලු දෙයට කුඩා කල සිට ම දරුවා යොමු වෙනවා. ඔහු වැඩිහිටියකු වුවත් ඒ දේ ජීවිතයේ එක් අංගයක් කර ගන්නවා. ඔහු තමා ගේ දරුවන්ටත් යහපත් දේ කියා දෙන්නේ ඒ පුරුද්ද තුළින්. ඒ නිසා මුලින් ම අම්මා දැහැමි විය යුතුයි. අම්මා රූපවාහිනියේ සියලු නාට්‍ය බැලීමට පුරුදුව සිටිනවා නම්, දරුවා ද එයට යොමු වීම ස්වභාවය යි. ධර්මයක් නැති දරුවා නිවස තුළ කෙ තරම් රැක්කත් ඔහු සමාජයට ගිය දිනට පව, පින ගැන විශ්වාසයක් නැති නිසා නො මඟ යාමට පුළුවන්. එනිසා මව නිතර ම දරුවා තුළ කර්මය, කර්මඵලය ගැන පැහැදීමක්, විශ්වාසයක් ඇතිකිරීම වැදගත් වෙනවා. දරුවාට එබඳු දේ කියා දීමට නම් මව පින, පව විශ්වාස කරන්න ඕනෑ. අප සිතන තරම් සමාජය දැහැමි නැහැ. බොහෝ දේ නිසා දරුවා මානසික පීඩාවෙන් සිටින්නේ. ඒ පීඩා මඟ හරවා ගැනීමට ඔවුන් දුරකතනයට ඇබ්බැහි වෙන්න පුළුවන්. එහෙත් නිවසේ නිතර ම බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ ඇසෙනවා නම්, පිරිත් සජ්ඣායනා වෙනවා නම්, බෝධි වන්දනා, සෑ වන්දනා කවි ඇසෙනවා නම් දරුවා ඒවාට සවන් දෙන්න පුරුදු වෙනවා. ඒ තුළින් ඔහු ගේ මානසික පීඩාව දුරු වෙනවා.

එනිසා මවකට පවුලේ ආර්ථික ප්‍රශ්න කොතරම් තිබුණත් ඇය දහමේ හැසිරෙනවා නම්, ඒ පවුල තුළ නිතර ම සතුට, සමාදානය පවතිනවා. දරුවා කුඩා කාලයේ පටන් ම සිල් රකින දරුවෙක් නම් පවට බය වෙනවා. ඔහු වරදක් කළ විට "පුතා ඔයා මේ දේ කළා ද?" කියා විමසූ විට ඒ වරද වසා ගැනීමට බොරු සියයක් කියන දරුවෙක් සමාජයට දායාද නො කර ඒ වරද පිළිගෙන නිවැරැදි වෙන දරුවෙක් සමාජයට දායාද කිරීම වැඩිහිටියන් ගේ පරම යුතුකමයි.

බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]