[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

සසුනේ දියුණුවට කැප වූ ගොමිල කෝලිත නාහිමියෝ

උපසම්පදාව ලැබීමෙන් පසු ධර්ම ශාස්ත්‍රීය සේවාව ආරම්භ කළ නාහිමියන් වහන්සේ කළුතර ධර්ම විජය මූලික පිරිවෙණ, මොරටුව ජනානන්ද පිරිවෙන හා එගොඩ උයන මෙත්තෙන්ද පිරිවෙන යන විද්‍යස්ථානයන්හි ගුරුවරයකු මෙන් ම විශ්‍රාම යන තුරු පරිවේණාධිපති වශයෙන් ද දීර්ඝ කාලයක් සේවාව සිදු කළ හ.

මාකඳුර බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරාධිපති ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා කාරක සංඝ සභික මාතර මහ දිසාවේ කන්දබඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක විශ්‍රාමලත් පරිවේණාධිපති විනය කීර්ති ශ්‍රී නන්දසාර උපාධ්‍යාය ගොමිල කෝලිතාභිධාන නායක මා හිමිපාණන් වහන්සේ සිය උදාරතර දිවියේ 70 වන වියට පා තැබූ හ.

දක්ෂිණ ලංකාවේ මාතර මහ දිසාවේ මොරවක් කෝරලයට අයත් මාවරල ගොමිල ග්‍රාමයේ දී ජයවීර ගමගේ දියෝනිස් පියතුමාට හා එච් කේ ජොසිහාමි මව්තුමියට දාව 1951 ඔක්තෝම්බර් මස 10

වැනි දින උපත ලැබූ පින්වත් කුමරු කුඩා කල ඇහැළකන්ද කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරී ය. කුඩා කල පටන් පැවිදි වීමට තිබූ ආශාව නිසා ම එවකට මාකඳුර බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරාධිපති ව වැඩ විසූ රන්සෑගොඩ නන්දසාර මහා ස්වාමීන්ද්‍රයන් වෙත භාර කෙරිණ. පැවිද්ද සඳහා අවශ්‍ය හෙරණසිඛ දිනචරියාව සතර බණවර ආදිය මැනවින් හැදෑරීමෙන් පසු 1964 නොවැම්බර් මස 04 වැනි දා ගොමිල කෝලිත නමින් උතුම් පැවිද්ද ලැබී ය.

පැවිදි වීමෙන් අනතුරුව ඌරාපොල සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙනටත්, සපුගොඩ විද්‍යානිකේත පිරිවෙනටත්, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනටත් ඇතුළත් ව සිංහල, පාලි, සාංස්කෘත, ධර්ම විනය, ඉතිහාසය, පුරාවිද්‍යාව, ජෝතිෂ්‍ය ශාස්ත්‍රය වැනි විෂයයන් මනාව හදාරා විද්‍යෝදය පිරිවෙන් අවසාන පරීක්‍ෂණය විශිෂ්ට ලෙස සමත් වූ හ. ඉන්පසු රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව, දෑ අවුරුදු ගුරු පුහුණුව ද මැනවින් හැදෑරීය. සපිරුණු විසිවයසින් යුක්ත වූ කෝලිත සාමණේරයන් වහන්සේ වර්ෂ 1973 ජුනි මස 04 වැනි දා මහනුවර මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූයේ රන්සෑගොඩ නන්දසාර, රන්සෑගොඩ පාලිත, වැලිහේනේ සෝරත යන මා හිමිවරුන් ගේ ආචාර්යත්වයෙනි.

උපසම්පදාව ලැබීමෙන් පසු ධර්ම ශාස්ත්‍රීය සේවාව ආරම්භ කළ නාහිමියන් වහන්සේ කළුතර ධර්ම විජය මූලික පිරිවෙණ, මොරටුව ජනානන්ද පිරිවෙන හා එගොඩ උයන මෙත්තෙන්ද පිරිවෙන යන විද්‍යස්ථානයන්හි ගුරුවරයකු මෙන් ම විශ්‍රාම යන තුරු පරිවේණාධිපති වශයෙන් ද දීර්ඝ කාලයක් සේවාව සිදු කළ හ. මොරටුව ලුනාව බෝධිරාජාරාම විහාරය ද සංවර්ධනය කිරීමට දායක වූ නාහිමිපාණන් වහන්සේ

ස්වකීය ආචාර්යයන් වහන්සේලා ගේ අපවත් වීමෙන් පසු පැවිද්ද ලැබූ බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයට වැඩම කොට 2011 ජුනි මස 11 වැනි දා විහාරාධිපති පදවියට පත් වූ හ. විහාරස්ථ පෞරාණික ගොඩනැඟිලි ආදිය නවීකරණය කරමින් වර්තමාන දියුණු තත්වයට පත්කිරීමට අතිශය වෙහසක් දැරූ නාහිමිපාණන් වහන්සේ ශ්‍රී දේවානන්ද දහම් පාසල, සුධර්මා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ආදියෙහි ප්‍රධානාචාර්ය ධුරය හා අනුශාසකත්වය දරමින් කටයුතු කළහ. වර්තමානයෙහි මුලටියන ශාසනාරක්‍ෂක බල මණ්ඩලයෙහි උප සභාපති ධුරය ද දරමින් කටයුතු කරන නාහිමිපාණන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය වෙතින් සියලු ම සේවාවන් අගයා 2011 වර්ෂයේ දී

උපසම්පදා කාරක සභික ධුරයක් ද, 2018 වර්ෂයේ දී විනය කීර්ති ශ්‍රී නන්දසාර යන ගෞරව නාමය සහිත මාතර කන්දබඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ද, 2021 වර්ෂයේ දී උපාධ්‍යාය පදවියට ද පත්කොට වදාළ හ.

ජාතික ආගමික ශාසනික වශයෙන් සුවිසල් මෙහෙවරක නිරත ව සිටින නාහිමිපාණන් වහන්සේ සසුනෙහි පැවැත්ම උදෙසා ශිෂ්‍යවරු රාශියක් ද නිර්මාණය කළහ. පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රවේදී කෙහෙල්වල විපස්සී, කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක බැරගම ශ්‍රී රාහුල, කැටපොලකන්දේ සිරිධම්ම, මුරුංගාගස්යායේ තපස්සි යන හිමිවරු ඒ අතරින් ප්‍රධාන වෙති.

සිය උදාරතර දිවියේ 70 වැනි වියට පා තබන උපාධ්‍යාය ගොමිල කෝලිතාභිධාන අප නායක මා හිමිපාණන් වහන්සේට ශතාධික වර්ෂයක් නිදුක් ව, නිරෝගී ව වැඩ විසීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යි ප්‍රාර්ථනා කරම් හ.

****

ගෝනදුව දක්ඛින චේතියාරාමයේ අනෝමදස්සී ලොකු හාමුදුරුවෝ

කිසිදු නායක පදවියක් හෝ තනතුරක් නොමැති උන් වහන්සේ බොහෝ දෙනා ආමන්ත්‍රණය කරනුයේ "අනෝමදස්සී ලොකු හාමුදුරුවෝ"යනුවෙනි.

පසු ගිය විසි හත් වැනි දා ගෝනදූවේ අනෝමදස්සී ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ අනූව වැනි ජන්ම දිනය එලඹී තිබූ අතර, උන් වහන්සේට දිගාසිරි හා ආශිර්වාදාත්මක උපහාර පුදනු වස්, මෙසේ ලියන්ට අදහස් කළෙමි.

සිය පින්බර දිවි මගෙහි අනූ වැනි ජන්ම දිනය සමරන අපේ සුපින්වත් අනෝමදස්සි ලොකු හාමුදුරුවන් වහන්සේ, කළුතර ප්‍රදේශයේ වැඩ වාසය කරන උගත්, ධර්මධර, විනයධර, ගුණ වෘද්ධ, තපෝවෘද්ධ මහා යතිවරයන් වහන්සේ නමකි.

කිසිදු නායක පදවියක් හෝ තනතුරක් නොමැති උන් වහන්සේ බොහෝ දෙනා ආමන්ත්‍රණය කරනුයේ "අනෝමදස්සී ලොකු හාමුදුරුවෝ"යනුවෙනි.

උන්වහන්සේ විශ්‍රාම ලත් පාඨශාලාචාර්ය හිමි නමකි. ගුරුවරයකු ලෙස සුවිසල් කාර්යභාරයක් ඉටු කර ඇති උන් වහන්සේ, වත්මන දක්ඛින චේතියාරාම විහාරාධිපති වහන්සේ ලෙස ස්ව ගම් වරයෙහි කුදු මහත් සාසනික, ආගමික හා සමාජ සේවාවන් රැසක් ඉටු කරමින් විහාරස්ථානයේ වැඩ සිටිති.

ඉතාම සංයමයෙන් හා නිහතමානී ව කටයුතු සම්පාදනයෙහි ලා කටයුතු කරන අපේ ගෞරවණීය අනෝමදස්සී ලොකු හාමුදුරුවන් වහන්සේ, ඕනෑම ආරාධනාවකට වැඩම කරමින් එම ස්ථානයන්හි ප්‍රදේශවාසීන්ට හා සංඝ රත්නයට ආශිර්වාදයක් වන්නට තරම් කාරුණික වන්නාහ.

වාද්දුව මධ්‍ය විද්‍යාලයීය ලේඛනගත ප්‍රථම ශිෂ්‍යයා ගිහි කල උන් වහන්සේ වීම ද මෙහි දී විශේෂයෙන් සඳහන් කිරීම වටී.

⁣ අපේ පින්වත් ගෝනදුවේ අනෝමදස්සී ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ දිවි මගෙහි ඉදිරි කාලය,නිදුක් නිරෝගී ව තවත් බොහෝ කාලයක් ලෝ හිත සුව පිණිස සසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට සියලු දෙවි රැකවරණෙන්, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් උන් වහන්සේට ශක්තිය,ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]