[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අතීතයේ වැඩ සිටි යතීන්ද්‍රයන් වහන්සේ සසුන සක්‍රීය කර තිබෙන මාර්ගය අප අනුගමනය කළ යුතු යි

අතීතයේ වැඩ සිටි යතීන්ද්‍රයන් වහන්සේ සසුන සක්‍රීය කර තිබෙන මාර්ගය අප අනුගමනය කළ යුතු යි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ‌ඓතිහාසික පරමනාගල චිත්තවිවේකාරාමාධිකාරී පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වල්ගම චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

කෙළිදෙළෙන් ගතකරන ළමා වියේදී ම පැවිදිභාවයට පත්වෙලා ශාසනික අධ්‍යාපනය ලබා ගෙන ගුරු හාමුදුරුවන් වහන්සේ ගේ අභාසය ලබමින් පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙමින් ම සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරුවනේ,

මම පුංචි කාලයේ හැදුණේ වැඩුණේ රයිගම් කෝරළයේ බණ්ඩාරගම ප්‍රදේශයේ වල්ගම කියන බොහොම සුන්දර ගම්පියසක. මගේ පියා ඩී. ආර්. කරුණාරත්න නාහල්ල මහතා රජයේ නිලධාරියෙක්. මගේ අම්මා කේ. ගුණවතී පෙරේරා නාහල්ල මහත්මියත් කළමනාකාරිනියක ලෙස සේවය කළා. මා ඇතුළුව අප පවුලේ සහෝදර සහෝදරයින් හතර දෙනකු සිටියා. මම පුංචි කාලයේ දී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා ගත්තා. ඒවගේ ම මගේ මව්පියන් බොහොම ශ්‍රද්ධාවන්තයි. අපේ අම්මා ශාසනය කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූවා වගේ ම හාමුදුරුවන් වහන්සේ කෙරෙහි ඉතාම භක්තිමත් ව, ගෞරවනීය ව පූජනීය අදහස් තිබුණ උතුම් කාන්තාවක්. පානදුරේ අරියධම්ම හාමුදුරුවන් වහන්සේ කෙරෙහි අම්මා තුළ බොහොම ගෞරවයක්, හැඟීමක් තිබුණ නිසා ම උන්වහන්සේ ගේ අදාහන පූජ්‍යෝත්සවයට මම අම්මත් සමඟ සහභාගි වුණා. ඒවන විට මට වයස අවුරුදු හතක් විතර ඇති. ස්වාමීන් වහන්සේ තුළ තිබෙන වටිනාකම, පැවිදි ජීවිතය තුළ තිබෙන උත්තරීතර පූජනීයත්වය ඒ අවස්ථාවේ දී තදින් ම මගේ සිතට කාවැදීම නිසා මටත් පැවිදිවීමට තිබුණා නම්, කියන අසාවක් ඇතිවුණා. මව්පියන් ගේ ආශිර්වාදය ඇතිව වර්තමාන ගුරුදේවෝත්තම රොටුඹ පේමරතන නායක හාමුදුරුවන් වහන්සේ වැඩ සිටි උදුගොඩ වික්‍රමශිලා පිරිවෙන් විහාරස්ථානයට සම්බන්ධ වෙලා 1991 වර්ෂයේ නොවැම්බර් 02 දින පැවැත්වුණු කඨින මහා පුණ්‍යෝත්සවයේ දී පැවිදි බවට පත්වුණා.

අනතුරුව නුගේගොඩ සුභද්‍රරාරාම විද්‍යායතන පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනය ලබා ගෙන පිරිවෙන් අවසාන, ප්‍රාචීන, මධ්‍යම, ප්‍රාරම්භ ආදී විභාග සමත් ව උසස් අධ්‍යාපනයට යොමුවෙමින් උපාධිය දක්වා අධ්‍යාපනය හැදෑරීමට කටයුතු කළා. මම පුංචි කාලයේ සිට ම අධ්‍යාපන කටයුතුවලට වඩා පිරිත් දේශනා කිරීමට විශාල කැමැත්තක් දැක්වුවා. එම කැමැත්ත නිසා ම බුද්ධ වන්දනාව අවසන් වූ විගස පානදුරේ අරියධම්ම නා හිමි,වත්තල සීලරතන නා හිමි , බළංගොඩ ආනන්ද නා හිමි යන මහා යතීන්ද්‍රයන් වහන්සේ ගේ ඡායාරූප වැඳ නමස්කාර කරමින් අරියධම්ම හාමුදුරුවන් වහන්සේ මෙන් බෝධිපූජා තියන්න ලැබේවා, සීලරතන හාමුදුරුවන් වහන්සේ මෙන් පිරිත් දේශනා කරන්න ලැබේවා, බළංගොඩ ආනන්ද හාමුදුරුවන් වහන්සේ මෙන් ධ්‍යාන ලබා ගැනීමට ලැබේවා යන උතුම් මානසිකත්වයෙන් කටයුතු කළා.

ගුරු දේව නායක හාමුදුරුවන් වහන්සේ අසීමිත ගෞරවයෙන් ශාසනික හැඟීම් අප තුළ ජනිත වන ආකාරයට කටයුතු කළා. උන්වහන්සේ ගේ මඟ පෙන්වීම යටතේ පැවිදි ජීවිතය ගතකරගෙන යනවිට කෝට්ටේ කල්‍යාණී ධර්ම මහා සංඝ සභාව වෙතින් 1997 වර්ෂයේ දී අධිශීල සංඛ්‍යාත උතුම් උපසම්පදා සීලයට පත්වීමට පුණ්‍යවන්ත වුණා. බණ්ඩාරගම වික්‍රමශිලා විද්‍යායතන පිරිවෙනේ ධර්මාචාර්යවරයකු ලෙස වසර 10 ක සේවා කාලය සම්පූර්ණ කළ අවස්ථාවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරදිග ශාස්ත්‍ර පිළිබඳ ව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට පත්වුණා. ගරුකටයුතු වටිනාපහ සෝමානන්ද අධ්‍යක්ෂ නායක හාමුදුරුවන් වහන්සේ යටතේ එම සේවාවන් සිදුකරන්න ලැබිල තිබෙනවා. පැවිදි ජීවිතය පිළිබඳ ව කල්පනා කරන විට විහාරස්ථානය තුළ ම අධ්‍යාපනය ලබන මානසිකත්වය නොතිබුණ නිසාම බාහිර කටයුතු සිදුකිරීමේ දී ත් යම් පර්යේෂණාත්මක අධ්‍යනයන් තුළදීත් හොඳ පාරම්පරික ගුරු ඇසුරක් ලැබුණා.

ගරුකටයුතු කුකුල්පණේ සුදස්සී නායක හාමුදුරුවන් වහන්සේ, දඹදෙණිය දාහිගමුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ යන දෙනම ගෙන් ගුරුදේවයන් වහන්සේට දෙවන නොවන ආකාරයෙන් අවවාද අනුශාසනා ලබාදුන් බව මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේ ම ගෞරවනීය පින්වත් මහා යතීන්ද්‍රයන් වහන්සේලා ගෙන් ලැබුණ අවවාද අනුශාසනා නිසා පැවිදි ජීවිතය ආලෝකවත් වීමට හේතුවක් වුණ බවත් පුණ්‍යාණුමෝදනා පූර්වකව සිහිපත් කළ යූතුයි.

ඔබ වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයත්, ජාතික, ආගමික, ශාසනික සේවයත් පිළිබඳව කෙටියෙන් සඳහන් කරනවා නම්,

ධර්ම ශාස්ත්‍රීය සේවය වශයෙන් ග්‍රන්ථ රචනා කරනවා වගේ ම, අතීත යතීන්ද්‍ර පරපුරෙන් පවත්වන ලද විචිත්‍ර දේශනා සහිතව පිරිත් දේශනා පිළිබඳව පුහුණු කරන ලද සුවිශේෂී හැකියාවක් තිබෙන බොහොම දක්ෂ බුද්ධ පුත්‍රයන් වහන්සේ කිහිප නමක් සම්බුද්ධ ශාසනයට දායාද කළා. ශාසනික සම්ප්‍රදායන් රකින සංවිධානයක් ලෙස සමස්ත ලංකා සසුන්මඟ භික්ෂු සංවිධානයේ සභාපති වශයෙන් වසර අටක් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ලෙස යම් කාර්යභාරයක් සිදු කළා. ඒ වගේ ම ශාසනයට අවශ්‍ය පරිදි සමිති සමාගම් රාශියක සේවය කරමින් නායකත්වය ලබාදීමට කටයුතු කර තිබෙනවා. විවිධ රෝගාබාධ වැළඳීමෙන් අසරණ වූ බොහෝ රෝගීන් සුවපත් කිරීමට කටයුතු කර තිබෙනවා. කොරෝනා වසංගතය පවතින මෙම කාල පරිච්ඡේදයේ දී ත් හැකි සෑම අයුරකින් ම උදව් උපකාර කිරීමට කටයුතු කළා. කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික ධූරයක් දරමින් වසර හතරක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම් කාර්යභාරයක් සිදු කළා.

ධර්ම දූත සේවය සඳහා රටවල් විශාල ප්‍රමාණයකට වැඩම කළා වගේ ම දේශීය වශයෙන් ගුවන්විදුලි ධර්ම දේශනා සඳහා සහභාගි වුණා. සියලු විහාරාරාංගයන්ගෙන් සමන්විත ව ඉතාම දැකුම්කළු ආකාරයට ‌ඓතිහාසික පරමනාගල විහාරස්ථානය ඉදිකිරීමට කටයුතු කළා. ලොව ප්‍රථම හා එකම පද්මාකාර සෑ රජාණන් වහන්සේ මගේ දෑතින්ම ඉදිකිරීමට තරම් මා තුළ පැවැති සංසාරගත පුණ්‍යශක්තිය බලවත් වුණා. බොහෝ දෙනාට කළ නොහැකි සම්ප්‍රදායානුකූල පිරිත් දේශනා, පෞරාණික අභිචාර විධි, පිළිම කලාව,ගොක්කොළ කලාව, ආරාමික ගෘහ නිර්මාණ කලාව, අංගම් කලාව, මුක්තාමාණික්‍ය සම්ප්‍රදාය, බෙහෙත් ක්‍රම, ශෛල හා ලී කැටයම් කලාව, ලියවැල් කලාව, පුස්කොළ කලාව, ඇත්දළ කැටයම් කලාව යන මා සතු කලා හැකියාවන් ගරු අධ්‍යක්ෂ ජෙනරාල් නායක හිමිපාණන් වහන්සේ ගේ ඇනුමැතිය යටතේ ධර්ම විනයට මුල්තැන දෙමින් පුරාණ සංස්කෘතිය මතු පරපුරට දයාද කිරීමේ අදහසින් පෙරදිග ශාස්ත්‍ර පාඨමාලාව දායාද කිරීමට තවදුරටත් කටයුතු කරගෙන යනු ලබනවා.

පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේ ලබා ගත් අත්දැකීම් අනුසාරයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන හැදෙන වැඩෙන පොඩි හාමුදුරුවන් වහන්සේට ලබා දෙන උපදෙස් මොන වගේ ද? අපේ හාමුදුරුවනේ,

මෑත භාගයේ දී පොඩි හාමුදුරුවන් වහන්සේ කණ්ඩායම් වශයෙන් වෙන්වෙලා වගේ ඇතැම් අවස්ථාවල දකින්න තිබෙනවා. අතීතයේ වැඩ සිටි යතීන්ද්‍රයන් වහන්සේ සසුන සක්‍රීය කර තිබෙන මාර්ගය තමයි අපි අනුගමනය කළ යුත්තේ . ඒ පැරැණි යතීන්ද්‍රයන් වහන්සේ ගිය මාර්ගය අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාටත් ඉගැන්විය යුතු බවයි මගේ අදහස. එවකට ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ දායකයන් ගේ ජීවිතයේ සියලු වැදගත් අවස්ථා සඳහා දායක වුණා. වර්තමානය වන විට එම ස්වභාවය පන්සලෙන් ගිලිහී යනවා වගේ දැනෙනවා. ශාසනික වර්ග පටිපාටිය ආරක්ෂා කරගෙන ධර්ම ශක්තියට, බුද්ධ ශක්තිය ට අනුකූලව කටයුතු කරන ආකාරයට පොඩි හාමුදුරුවන් වහන්සේ හැඩගස්වා ගත යුතු යි.

බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]