[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මව්පිය දූ දරු ගැටුම් ඔවුනොවුන් තේරුම් නොගැනීම නිසයි

මව්පිය දූ දරු ගැටුම් ඔවුනොවුන් තේරුම් නොගැනීම නිසයි

“සෙත්මිණ” වැඩිහිටි නිවාසයට අප ගොඩ වුණේ එහි වෙසෙන පියවරුන් වෙනුවෙන් පින්කමක් කිරීමේ අදහසිනි. ඒ සඳහා තව කාලය තිබූයෙන් වටපිට බැලීමි. එක් පියකු හමුවේ මගේ දෑස නතර විය.

‍සේපාලිකා ගස යට හිඳගෙන ඈත බලා සිටින ඒ පියා වෙත මම සෙමෙන් ළං වුණෙමි. භීතිය, දුක, සංතාපය, ශෝකය කැටි වූ ඒ දැස මා ළඟට එනතුරු ම නො දුටුවා ය.

ඔහු සිටි කුඩා බංකුවට මම ද බර වු‍ණෙමි. මා දෙස බැලූ ඔහුගේ දෑසේ පිරී තිබුණු කඳුළු මහ රළ පහරක් වෙරළට වේගයෙන් ගසා එන්නා සේ කම්බුල දිගේ රුරා වැටුණි. ඒ කඳුළු හලන්නට කිසිදු බාධාවක් නැත. ඉතාමත් වේගයෙන් ගලන කඳුළු දෙස මම බලා සිටියෙමි

“ඇයි මේ?” මම හඬ අවදි කළෙමි

“මට මගේ දරුවෝ මතක් වුණා.”

ඒ පියාගේ සිතේ ගුලි වී, කැටි වී, හිර වී තිබුණ දුක, කඳුළු අතරින් මුදා හළ බවක් මට සිතුණි.

‘දරුවෝ’ . . . . මව්පියන්ගේ ලේ, ඇට, මස්, නහර, කිඳා බැසගෙන තිබෙන එක් සුන්දර වූ බලාපොරොත්තුවකි. ඉතාමත් දුකසේ ඇති දැඩි කරන දරුවන් ටිකෙන් ටික උස් මහත් වනවිට මව්පියන් මදිපුංචි වන්නේ ඇයි? ඔවුන් නුරුස්සන්නේ ඇයි? ඒ හඬට කන් නො දෙන්නේ ඇයි?

ගැටුමේ ආරම්භය. . .

අද සමාජය වේගයෙන් පරිහානියට යමින් පවතී. පවුලක දරුවන්, මව්පියන් අතර, යම් අරගලයක් පවතී. උස් මහත් වන දරුවන් ඔවුන් ගැන සොයනවාට කැමැති නැත. නමුත් දරුවන් සිතන්නේ අප දැන් රැකියාවක් කරන සමාජයේ අත්දැකීමක් ඇති පිරිසක් බව ය. අම්මා, තාත්තා අවවාදයක් කළවිට ඔවුන් කිපේ. දොර වේගයෙන් වසයි. රවා බලයි. එකටෙක කියයි. “මම දැන් පොඩි එකෙක් නෙමේ. මගේ පස්සෙන් එන්න එපා. මම ම‍ගේ වැඩ ගැන බලා ගන්නම්” යැයි කියයි. සමාජය පුරා උඩුදුවමින් යන පවුලක් තුළ ඇති ගැටුම එතැනින් ඇරඹෙයි.

පුතා විවාහ කරගෙන නිවසට එන ලේලිය සාම්ප්‍රදායික සිරිත් විරිත් සුරකින්නට මැලිබවක් දක්වයි. බොහෝ විලාසිතාවලට කැමැති ඇය, යහලු මිතුරන් ද බොහෝ සේ ඇසුරු කරයි. ප්‍රිය සාද ඇයගේ ජීවිතයේ බහුල ය. තමන් සමාජයේ යම් ස්ථාවරයක සිටින බව සිතයි. ඇය‍ගේ සිතිවිලි මහලු මව්පියන්ට නොතේරේ. ඔවුන් සොයනුයේ ඉතාමත් නිරහංකාර ප්‍රියමානප සියුමැලි ගති ඇති, තම ඥාතීන්ට ගරු බුහුමන් කරන දියණියකි. එහෙත් තරුණ ලේලියට එය හිසරදයකි. එතැනින් ද ගැටුම හට ගනියි.

තව විටෙක රූප පෙට්ටියේ පෝලිමට යන නාට්‍ය පෙළ අපගේ කාලය මෙන්ම පවුලේ සමගිය ද සොරාගෙන ඇත. බත්පත බෙදා ගන්නා තාත්තා ප්‍රවෘත්ති බැලීමට ද, කුඩා දරුවා කාටුන් බැලීමට ද, වැඩිමහල් දරුවා ක්‍රිකට් ‍ හෝ නාට්‍ය බැලීමට ද, අම්මා ඉවුම් පිහුම් හෝ වෙනත් දෙයක් නැරඹීමට ද සැරසී සිටියි. එනිසා ම අනා ගන්නා බත්පිඩ කටට යනවා ඔවුන් නො දනී. නිවසට කෙනෙක් පැමිණ කතා කළ ද ඔවුන් නො දනී. තමන් ඇබ්බැහි වී ඇති රුචි දෙය දෙස ඇස පොපියා සිටින ඔවුන් නිදිමත වූ විට එතැනින් නැඟිට ඇඳට වැටී නිදා ගැනීමට හුරු වී සිටිති. ඒ නිවසේ දරුවන් මව්පියන් අතර සුහද ගනුදෙනුවක් ඇති වන්නේ නැත. තම තමාගේ තොරතුරු කීමක් හෝ විමසීමක් නැත. දරුවන් ඔවුන්ගේ ලෝකයේ තනි වේ. මව්පියන් තමන්ගේ ලෝකයේ තනි වේ. එතැනින් ද පවුලේ සමඟිය බිඳ වැටී අර්බුද හට ගෙන ඇත.

මා බාල කාලේ. . .

අද අපේ සමාජයේ බොහෝ වැඩිහිටියන්ගේ තවත් මැසිවිල්ලක් තිබේ. ඒ අපට තිබුණ බාල අවදිය අපේ දරුවන්ට නැතිබව කියමිනි. තමාගේ බාල කාලයේ දී වෙල් ඉපනැල්ලේ දුව පැනපු ආකාරය, ගඩා ගෙඩි කඩාගෙන කෑ ආකාරය, ඔංචිලි පැද්ද ආකාරය, මිදුල පුරා දුව පැන නැටූ ආකාරය, ඔවුන්ගේ සිත්වල සිහිනයක් මෙන් මතකයක් ඇත. තම දරුවාට නො මැති, ඒ විවේක සුවය පිළිබඳව ඔවුන්ට කණස්සල්ලක් ඇත. නමුත් ජංගම දුරකතනය මෙන් ම නොයෙක් තාක්ෂණ උපකරණවලට සිර වී ඇති දරුවා ගැන ලොකු වැටහීමක් ද මව්පියන්ට නැත. තරඟකාරි සමාජයේ නො දීම බැරි දෙයක් ලෙස සිතා දුරකතනය දරුවාගේ අතේ තබන්නේ ද මව්පියන් ය. ඉන්පසු මැසිවිලි නඟන්නේ ද ඔවුන්ම ය. තාක්ෂණ ය මේ වනවිට අප වටකොට හමාර ය. එයින් බේරී පලායාමක් සිතනු මෝඩකමකි. නමුත් තාක්ෂණය නිසි ලෙස පරිහරණය කිරීමට දරුවා හුරු කිරීම මව්පියන් සතු වගකීමකි. මෙවලම් භාවිතය නිසා දරුවා නොමඟ ගියා යැයි කීමට මපියන්ට අවසරයක් නැත. ඒ දරුවාට නිසි රැකවරණය ඔවුන් නො දුන් නිසා ය. පවුලේ අර්බුදය මේ හේතුව නිසා ද ඇති වේ.

මේ සියලු ගැටුම්වලට මව්පියන් මෙන්ම දරුවෝ ද වගකිව යුත්තෝ වෙති. දරුවන් කුඩා කාලයේ දී තරගයට දුවන රැල්ලට තල්ලුකරන වැඩිහිටියෝ විෂය දැනුම පමණක් ඔවුන්ට දීමට සැරසී සිටිති. එහා ගෙදර දරුවාට වඩා තමන්ගේ දරුවා එක ලකුණකින් හෝ ඉදිරියෙන් සිටිනවා නම්, එය මහමෙරකි. පංති. . පංති. . පංති. ඉරිදා දහම් පාසලකට නොයන දරුවා අමතර පංති යැවීමට මව්පියන් කටයුතු කරන්නේ එනිසා විය හැකි ය. දහමින් කිසිදු පෝෂණයක් ලබා නොදී තරගයකට‍ යොමු කරන දරුවා නොතේරෙන වයසේ සිට තරගයට දුවයි.

එලෙස උස් මහත් වන දරුවා සමාජගත වීමේදී යම් යම් ගැටුම් ඇති වේ. ගුණයෙන්, දහමින් පෝෂණය නො කිරීම මව්පියන් කළ වරදකි. එයට සියුම් ලෙස දඬුවම් විඳීන්නේ ඔවුන් වයසට යාමත් සමඟම ය. තමා‍ගේ දරුවා කුඩා කාලයේ සිට ම ළඟට ගෙන “පුතේ අපි මේ ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක් යන්නේ. දුක් විඳීමින් නොයෙක් නොයෙක් ලෝකවල අපට ඉපදෙන්නට සිදු වෙන්නේ ඒ නිසයි. ඒ නිසා මේ ලැබුණ මිනිසත් ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගමු”. කියා දරුවන්ට කියා දෙන මව්පියන් අපට හමුවන්නේ ඉතාමත් කලාතුරකිනි.

දරුවා ගුණයෙන් පෝෂණය කරමු. . .

ඒ වගේම පාසල් යනවිට දන නමා මව්පියන්ට වන්දනා කරන්නට කියා නො දෙන ඔවුන් බායි. . . බායි කියමින් අත වනන්නට පුරුදුව සිටියි. නිවසේ වැඩ සිටින බුදුපිළිම වහන්සේට වන්දනා කොට අම්මා, තාත්තා, ආච්චි, සීයාට වන්දනා කොට නිවසෙන් පිටවෙන දරුවෝ අද ඉතාමත් ම සීමිත ය. තරගය ඔවුන් පසුපස හඹා එන නිසා දෝ ඔවුන් ද ඒ තරගයට දිවීමට සැරසී සිටිති.

අද සමාජයේ එකින් එකට පෙළ ගැසී ඇත්තේ එක් එක් ආකාරයේ ගැටුම් ය. මෙය තවදුරටත් සමාජගත වීමට පෙර වර්තමානයේ ජීවත්වන අප විසඳුම් සෙවීමට උත්සුක විය යුතු ය. ඒ සඳහා ඇති එකම විසඳුම බුදු දහම යි. තම දරුවා තිසරණය සමාදන් කොට පංචසීලය රැකීමටත්, දහමෙන් පොහොසතකු කිරීමටත් ගුණවතකු කිරීමටත් කටයුතු කිරීම මව්පියන් සතු කාර්යයකි. ඒ වගේම දිනපතා පවුලේ සියලු දෙනාම එකතුව බුද්ධ වන්දනාවට කාලයක් වෙන්කර ගැනීමත්, නිවසේ සිටින වයෝවෘද්ධ අම්මා, තාත්තා, ජීවතුන් අතර සිටීනම් කුඩා දරුවන්ට දැනෙන සේ ඒ වයෝවෘද්ධ වැඩිහිටියන් රැකබලා ගැනීමත් කළ යුතුව ඇත. එසේ නොමැතිව වයසක වැඩිහිටියන්ට පොඩි දෙයටත් කෑ ගසමින්, බැණ වදිමින්, අපහාස කරමින්, ඔවුන්ගේ සිත බොහෝ සේ තලාපෙළා දමයි නම්, ඔවුන්ට ද ඒ විපාකය බොහෝ විට දිට්ඨදම්මවේදනීය කර්මයක් ලෙස ගෙවීමට සිදුවනු ඇත. මරණින් මතු දුගතිය හිමිවනු ඇත.මේ සියලු දෙයින් අපට පසක් වනුයේ එක් දෙයකි. එනම් භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ අමාදම් වැස්සෙන් අප තවමත් තෙමී නැති බව ය.

නිකිණි පුර පසළොස්වක

  අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ.
ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]