[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝය දා නිවාඩුවෙන් ප්‍රයෝජන ගැනීමට නම්...

පෝය දා නිවාඩුවෙන් ප්‍රයෝජන ගැනීමට නම්...

" බුදු දහමට අනුව සියලු කි‍්‍රයාවලීන් සිදුවන්නේ කරුණු හයක් පදනම් කරගෙන ය. ඒවා ලෝභ,දෝෂ, මෝහ, අලෝභ අදෝෂ හා අමෝහ යනුවෙන් දැක්වේ. මෙහි මුල් කරුණු තුන අකුසල පැත්තේ හෙවත් වැරදි පැත්තේ කි‍්‍රයාවන්ට මුල් වේ. ඊළඟ කරුණු තුන කුසල පැත්තේ හෙවත් නිවැරැදි පැත්තේ කි‍්‍රයාවන්ට මුල්වේ."

වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ කැලැන්ඩරයේ එන දින සටහන් වලට අනුව සෑම පසළොස්වක පොහොයක්ම නිවාඩු දින ලෙස සටහන් වී ඇත.

සිංහල බෞද්ධ චින්තනයට අනුව ජන සම්මුතිය විසින් සම්මත කරගනු ලැබූ පෝය නිවාඩු හතරක් මාසයකට තිබුණි. පුර පසළොස්වක, අව අටවක , අමාවක හා පුර අටවක යන නිවාඩු හතරයි. බෞද්ධයන් මෙවන් නිවාඩු යොදාගත්තේ සාමාන්‍ය ජීවිතයේ වැඩ අත් හැරීමට හා ආධ්‍යාත්මික වැඩවල යෙදීමටයි. ඒ අනුව සිංහල බෞද්ධයෝ පෝය හතරටම සිල් ගත්හ. පන්සල් ගියහ. ආත්මාර්ථයෙන් බැහැර වී ශ්‍රමදාන ආදී පරාර්ථ චර්යාවල යෙදුණ හ. මෙසේ පෝය දින ගත කිරීම බුදු දහමට අනුව සිදු වූවාක් ලෙස සැලකිය හැකි ය.

බුදු දහමට අනුව සියලු කි‍්‍රයාවලීන් සිදුවන්නේ කරුණු හයක් පදනම් කරගෙන ය. ඒවා ලෝභ,දෝෂ, මෝහ, අලෝභ අදෝෂ හා අමෝහ යනුවෙන් දැක්වේ. මෙහි මුල් කරුණු තුන අකුසල පැත්තේ හෙවත් වැරදි පැත්තේ කි‍්‍රයාවන්ට මුල් වේ. ඊළඟ කරුණු තුන කුසල පැත්තේ හෙවත් නිවැරැදි පැත්තේ කි‍්‍රයාවන්ට මුල්වේ. සාමාන්‍ය ජීවන රටාව තුළ අකුසල් හෙවත් වැරැදි පැත්තේ කි‍්‍රයාවන්ට මුල් වීම පහසුවෙන් සිදුවේ. එබැවින් බුදු දහමේ ඉගැන්වෙන ජීවන රටාවේ මූලික ලක්ෂණය වනුයේ අකුසල් හෙවත් වැරැදිවලින් වැළකී සිටීමයි. අදවන විට පන්සිල් ගැනීමක් මිස සමාදන් වීමක් සිදු නොවේ. එනම් සිල්පද මැනවින් සිතට ගැනීමක් සිදුවේ යැයි කිව නොහැක. දහම් පාසලේදී දරුවන් පන්සිල් සමාදන් වීමේ පටන් වැඩිහිටියන් ඒ ඒ අවස්ථාවල සිදුකරන පන්සිල් ගැනීම දක්වා සියලු අවස්ථාවල සිදුවන්නේ පන්සිල් සමාදන් වීමක් නොව පන්සිල් ගැනීමකි. එයින් සිදුවන්නේ පන්සිල් සමාදන් වීමෙන් ගත හැකි ප්‍රයෝජන නොගැනීමයි. එනම් වැරැදි වලින් වැළකී සිටීමට ‍‍නොහැකිවීමයි.

වර්තමානයේ සෑම මසකට ම වරක් යෙදෙන පෝය නිවාඩුව නිසිලෙස ගතකිරීමට බෞද්ධයන් පුරුදු විය යුතුය. භික්ෂූන් වහන්සේ ඒ සඳහා මඟ පෙන්විය යුතු ය. පෝය දිනයේ අටසිල් සමාදන් වූවද සුදුරෙදි ඇඳ පොරවාගෙන භික්ෂූන් වහන්සේ කියන සිල්පද කියනු විනා එම සිල්පද වල අර්ථය සිතට ගෙන කුසල් හි යෙදීමක් පිළිබඳව අදහසක් බොහෝ බෞද්ධයන්ට නොමැත. පන්සිල් සමාදන් වීමේ හා අටසිල් සමාදන් වීමේ අර්ථය කුමක්දැයි භික්ෂූන් වහන්සේ පෝයට පන්සලට පැමිණෙන හා විවිධ ස්ථානවල එකතු වී පින් දහම් රැස්කරන බෞද්ධයන්ට කියා දිය යුතු ය.

පෝයට පන්සල් ‍යෑමේදී සුදු ඇදුමෙන් සැරසී යෑමද පෙරසිට පැවත එන වැදගත් චාරිත්‍රයකි. එයින් කියාපාන්නේ පිරිසිදු හා චාම් ජීවිතයයි. අද පන්සල් ‍යන බොහෝ දෙනා සුදු ඇඳුමෙන් සැරසී ගියත් එහි අරමුණ කුමක්දැයි දන්නේ නැත. හිරු එළියෙන් එන හානි වළක්වා ගැනීමත්, ශරීරයට ඇතුළු වන විෂබීජ පළවා හැරීමත් සුදු ඇදුමෙන් අපේක්ෂා කරන වැදගත් කරුණු ය. සුදු ඇඳුම කිළිටි වූවහොත් එය අරමුණු කරගෙන භාවනාවක් ද කළ හැකි ය. . සමහරු ගෙදර තිබෙන ලස්සනම හොඳ ම ඇඳුම ඇඳගෙන ද පන්සල් යති. එසේ පන්සල් යන්නේ පන්සල් යෑමේ අරමුණ නොදන්නා නිසයි. සාමාන්‍ය ජන ජීවිතයේ දී අන් අයගේ සිත්ගන්නා බව හෙවත් තෘෂ්ණාවට ලක්වීම පන්සල් යෑමේදී බැහැර කළ යුතු මුත් වර්තමානයේ පන්සලට යන සමහරුන්ට එවන් කිසිදු අවබෝධයක් නොමැති ව යන්නං වාලේ යති. එසේ පන්සල් ‍යෑමෙන් ප්‍රයෝජනයක් අත්විඳීය නොහැක.

අත් හැරීම පුරුදු කිරීම බෞද්ධයන් තුළ තිබිය යුතු මූලික ලක්ෂණයකි. දන්දීම ඉතාම වැදගත් පින්කමක් ලෙස සැලකෙන්නේ එමඟින් අතහැරීමට සිත පුරුදු කරන නිසා ය. එහෙත් අද සමහරුන් දන් දෙන්නේ අතහැරීමේ මූලික අරමුණ ඇතිව නොව ලෞකික වෙනත් යමක් අල්ලා ගැනීමේ අරමුණ ඇතිව ය. පෝය දාට පන්සල් ‍යන බෞද්ධයන්ට මෙම කරුණු වටහා දීම තුළින් තෘෂ්ණාවෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් බැහැර වී අතහැරීමට පුරුදු කිරීමට භික්ෂූන් වහන්සේ අනුශාසනා කළ යුතු ය.

මෙරට සංස්කෘතිය තුළ සෑම යහපත් ලෞකික වැඩක් කිරීමේ දී පන්සල හා භික්ෂූන් වහන්සේ මුල් වී ඇත. එමඟින් ලෞකික දියුණුව ලබා ගැනීමට යහපත් මාර්ග කියාදෙනු ලබයි. ලෞකික වශයෙන් දියුණු වී සිටීමද නිවනට පදනමක් කරගත හැකි නමුත් ලෞකකිකත්වයෙන් බැහැර වීමට මඟ නොපෙනේ නම් ඔවුන්ට නිවන් ලැබිය නොහැක. ‍

නිකිණි පුර පසළොස්වක

  අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ.
ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]