[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැප පහසුකම් තිබුණත් සිතට සහනයක් නැත්තේ මෙවැනි අයටයි

සැප පහසුකම් තිබුණත් සිතට සහනයක් නැත්තේ මෙවැනි අයටයි

අප සියලු දෙනාම ලස්සනට නිරෝගීව සිටීමට කැමැතියි. එහෙත් අපේ ආයුෂ බොහොම ටිකයි. ආ පසු හරී බැලුවොත් මනුස්ස ලෝකයේ ජීවත්වෙන්න තිබෙන කාලය බොහෝ ගෙවාදමා තිබෙන්නේ. තව ටික කාලයයි තිබෙන්නේ. ඒ ටික කාලයෙත් ඊර්ෂ්‍යාවෙන් පෙළි පෙළී ඉන්නවා නම් ඒ ජීවිතයේ වටිනාකමක් නැහැ.

සමහර විට අප මනුස්ස ලෝකයේ බොහෝ පිළිගැනීම් ඇති, සත්කාර සම්මාන ලබන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඊර්ෂ්‍යාව බහුල නම් ඊළඟ උප‍ත නිරයේ විය හැකියි.

බුද්ධ දේශනාවේ ඊර්ෂ්‍යාව පිළිබඳව ලස්සනට පහදා දී තිබෙනවා. චුල්ලකම්මවිභංග සූත්‍රයේ සඳහන් වන්නේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අනුන්ගේ ලාභ, සත්කාර, ගෞරව, මානන, පිදුම් ආදියට ඊර්ෂ්‍යා කරනවා. ඒ ගැන ගැටෙනවා. ඒ ඊර්ෂ්‍යාව තම සිතේ බැස ගන්නවා. අනුන්ගේ සැපය, දියුණුව, ලස්සන ආදීය දරන්නට නොහැකි වෙනවා. විශේෂයෙන්ම

තමන් අකමැති කෙනෙකුට මේ දේ ලැබෙන විට එය ඉවසන්නේ නැහැ. තමන් අකමැති කෙනාගේ ගුණ ප්‍රකටවන විට , ගරු නාම ලැබෙනවිට, දියුණුවනවිට ඊර්ෂ්‍යා කරයි නම් ඒ තැනැත්තා බුදු සසුනෙන් බැහැරව සිටින අයෙක ඊර්ෂ්‍යාව සිතට කිසිම සුව පහසුවක් ගෙන දෙන්නේ නැහැ. යම් ආයතනයක් තුළ වේවා, කණ්ඩායමක් තුළ වේවා, නිවසේ වේවා ් කටයුතු කරද්දී තමා‍ට අන් අය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇතිවුණොත් කිසිදු සුවපහසුවක් ඇතිවන්නේ නැහැ. සුවපහසු ව අධ්‍යාපනය කරන්නවත් බැහැ. ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරද්දී ඔබ නිරන්තරයෙන් ඊර්ෂ්‍යාව කියන අකුසලයෙන් පීඩා විඳීනවා නම්, ඔබට එය විශාල අකුසලයක්. එනිසා ඔබ ඔබට ආදරේනම්, සුවපහසුව ඉන්න කැමැති නම්, ඊර්ෂ්‍යාව දුරුකරන්න ඕනේ.

කුසල සිතේ පහසුව. . .

ඒ වගේම අප ආශා කරන්න ඕන කුසලසහගත සිතක තිබෙන සුවපහසුවට. තමන් තමන්ගෙන්ම අසන්න ඕනේ "අනේ මම ඇයි පොඩි දෙයටත් මටත් ඕනේ , මටත් ඕනේ කියා හිතන්නේ." "මෙයාට හරියන්න නම් එපා" කියා පතමින් මගේ සිත අකුසලයට පත්කර ගන්නේ. ඊර්ෂ්‍යාව නැත්නම් කෙ තරම් සුවපහසුවක් තිබෙනවා ද? කියා අත්විඳ බලන්න.

ඊර්ෂ්‍යාවේ ස්වභාවය තමයි කාටහරි පොඩි දෙයක් ලැබෙනවා නම් ඒක ලොකුවට පේනවා. ලොකුවට දැනෙනවා. මට නැහැ. "මෙයාටමයි හැමදේම ලැබෙන්නේ" කියා අපේ සිත අපට කියනවා.

අනුන්ට ලැබෙන සම්මානය, සත්කාරය, ‍ගෞරවය වන්දනාව, පූජාව ඉවසන්න බැහැ. ඊර්ෂ්‍යාව ඇතිවූ විට අපට උයාගත් කෑම ටික කන්න බැහැ. හරියට නින්දක් නැහැ. පිරිසුදුව ඉන්න හිතෙන්නේ නැහැ. මේ හැම දෙයින් ම අපට කියන්නේ සුවපහසුවක් නැති බවයි. ඒ නිසා අපි ඊර්ෂ්‍යා සිතක් ඇතිකර ගන්න බය වෙන්න ඕනේ.

එහි ආදීනවය බහුල ලෙස මෙනෙහි කරන්න ඕනේ.

අංගුත්තර නිකායේ මල්ලිකා සූත්‍රයේදී මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්ස, මම මේ සමාජයේ ස්ත්‍රීන් හතර වර්ගයක් දකිනවා. ඒ වගේ එකිනෙකා කොටස් කර දකින්නට ලැබෙන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්ස, ඒ පළමු ස්ත්‍රිය තමයි ඇය අවලස්සනයි. දුප්පත්, කිසිදු පිළිගැනීමක් නැහැ. දෙවැනි ස්ත්‍රිය විරූපියි.

එහෙත් ධනවත්. පිළිගැනීම තිබෙනවා. තුන්වැනි ස්ත්‍රිය සුරූපියි. නමුත් දුප්පත්. පිළිගැනීමක් නැහැ. හතරවන ස්ත්‍රිය සුරූපියි. ධනවත්. පිළිගැනීම තිබෙනවා.

සුරූපි විරූපි ‍වෙනසක්. . .

භාග්‍යවතුන් වහන්සේ වදාළා, මල්ලිකා අවලස්සන ව ඉපදෙන්නේ සංසාරයේ ක්‍රෝධ කළ තැනැත්තියන්. දුප්පත් වෙලා ඉන්නේ සසරේ දී දන් නො දුන් තැනැත්තියන්. පිළිගැනීමක් නැත්තේ සසරේ ඊර්ෂ්‍යා කළ නිසා යි.

සමහර කාන්තාවන් විරූපි යි. ඒ සසරේදී ක්‍රෝධ කරලා. නමුත් දන් දුන් නිසා ධනවත්.

තව කාන්තාවක් සසරේ ක්‍රෝධ නොකළ නිසා සුරූපි යි. නමුත් දන් නොදුන් නිසා දුප්පත්. ඊර්ෂ්‍යා කළ නිසා පිළිගැනීමක් නැහැ.

සමහර කාන්තාවක් සුරූපියි. ධනවත්, සමාජයේ පිළිගැනීමකුත් තිබෙනවා. එවැනි ස්ත්‍රීන් සසරේ මෙත් සිත පුරුදු කරලා, දන්දීලා වගේම කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා කරලත් නැහැ.

දේශනාවේ සඳහන් වෙන ආකාරයට කිසිම පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන්නේ නැත්තේ ඇයි? ඇය සසරේදී අනුන්ට ලැබෙන සත්කාරයට, ලාබයට, ගෞරවයට ඊර්ෂ්‍යා කරලා. ද්වේෂ කරලා, ඊර්ෂ්‍යාවෙන් බැඳීලා. ඒ නිසා මේ ජීවිතයේ අල්පේශාක්‍ය යි. කවුරුත් ගණන් ගන්නේ නැහැ. බුද්ධ වචනය අහලා නැති නිසා ඇය "මටයි කිසිවක් නැත්තේ" කියා මේ ජීවිතයේදීත් පිළිගැනීම් තිබෙන කෙනාට, ලාභය ලැබෙන කෙනාට ඊර්ෂ්‍යා කරනවා.

එහෙමනම්, ගත වූ සංසා‍රයේ අනුන්ට ඊර්ෂ්‍යා කරලා මේ ජීවිතයේ දී පිළිගැනීමක් නැහැ, බුද්ධ වචනය අනුව හික්මෙන්න ප්‍රඥාව නැති නිසා මේ ජීවිතයේදීත් පිළිගැනීමක් ඇති කෙනාට ඊර්ෂ්‍යා කරනවා. නැවත උපද්දවා ගන්නේ පිළිගැනීමක් නැති ස්වභාවයම යි. එහෙමනම්, සංසාරේ කළ දේට මෙවැනි ජීවිතයක් ගත කරන ගමන්ම නැවත වතාවක් පිළිගැනීමක් නැති කෙනෙක් බවට පත් වෙනවා.

එසේනම් අපට පැහැදිලියි ි සැපෙන්, සුවයෙන් ඉන්න කැමැතිනම්, කළයුත්තේ කුමක් ද? ඊර්ෂ්‍යාව දුරු කිරීම යි. ඊර්ෂ්‍යා කරනවානම් ,එය තමන්ට ම විඳවන්නට සැකසෙන ‍දෙයක්. මේ ජීවිතයේ විඳවන ඒවා මදිවට අලුතින් විඳවන්නට කර්මයක් සකස් කර ගන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් තැනැත්තියක් තව කෙනෙකුට ලැබෙන සත්කාර, ගෞරව, සම්මානවලට ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම් ඇයට පුළුවන් කියනවා කය බිඳී මරණින් පසු යහපත් තැනක උපදින්න.

දේශනාවේ තිබෙන්නේ ඇය කය බිඳී මරණින් පසුව සුගතිය නම් ස්වර්ගයට යනවා කියලයි. නැතිනම් ඇය මිනිස් ලොව උපත ලැබුවොත් ඇයට හොඳ පිළිගැනීමක් මහේශාක්‍ය බවක් ලැබෙනවා. එයට හේතුව අනුන්ගේ ගෞරවයට, සත්කාරයට, වන්දනයට, පූජනීයත්වයට ඊර්ෂ්‍යා කරලා නැහැ. ගැටිලා නැහැ. ඊර්ෂ්‍යාවෙන් සිත බැඳගෙන නැහැ.

එසේනම් ,අපි මේ මනුස්ස ලෝකයෙන් ගිහින් ඊළඟට පය ගහන තැන අපට ප්‍රශ්නයක්. ඊර්ෂ්‍යාව වගේ අකුසලයකින් අපේ සිත දූෂිතවෙලා තිබුණොත් ඒ සිත අප අරගෙන යන්නේ නරක උපතකට. මනුස්ස ලෝකයට ආවත් කිසිදු පිළිගැනීමක් නැති කෙනෙක්. හැබැයි අපි සිතට එන ඊර්ෂ්‍යාව දුරු කරලා සුන්දර කුසල් සිතකින් වාසය කළොත් ඒ සුන්දර කුසල් සිත අපි රැගෙන යන්නේ සුගතියට යි. මිනිස් ලෝකයට ආවොත් අපට සමාජයේ ලොකු පිළිගැනීමක් තිබෙනවා.

කුසල් සිතක් උපදවා ගන්නා අයුරු...

එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් තැනැත්තියක් මුදිතාව දියුණු කරනවානම්, අනුන්ගේ සැපයට කැමැති වෙනවා නම් ඊර්ෂ්‍යාව දුරුවෙනවා කියලා. මම ආයුෂයෙන් වැ‍ඩෙම්වා, වර්ණයෙන් වැඩෙව්ම්වා, සැපයෙන් වැඩෙම්වා,බලයෙන් වැඩෙම්වා, යසසින් වැඩෙම්ව! ඒ වගේම මම ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩෙම්වා! කියා තමාට මුදිතාව වඩා ගන්නා ගමන්ම සියලු ලෝ සතුන් කෙරෙහිද දස දිසා ලෙස මුදිතාව පතුරුවන්නට පුළුවන්නම් අපට කුසල් සිතක් උපදවා ගන්නට පුළුවනි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් මේ ආකාරයට මුදිතා භාවනාවෙන් මුදිතා ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානයෙන් නො පිරීහී මිය ගියොත් කල්ප හතරක් ආයුෂ තිබෙන සුබකින්න නම් බඹ ලොව උපදිනවා කියලා.

එනිසා අපට තිසරණය සරණ යන්නට ලැබුණ ‍මේ අවස්ථාවේදී සිත අකුසල් වලින් දූෂණය කර නොගෙන ඊර්ෂ්‍යාව වැනි අකුසල් දුරු කරන්න පුළුවන්නම් ඒකමයි ලාභය. තෙරුවන් සරණ ගිය අපි ඊර්ෂ්‍යාව නම් අකුසලය දුරුකරලා මුදිතාව නම් සුන්දර ගුණය දියුණු කරන්න පුළුවන්නම් ඒකමයි ලාභය.

මෙවැනි සුන්දර ගුණ පුරුදු කරලා දෙව්ලොවක ඉපදෙන්නට පුළුවන්නම් එයයි ලාභය. මෙවැනි සුන්දර ගුණ සම්පත්තියක් පුරුදු කර භාග්‍යවතුන් වහන්සේ වදාළ අමා මහ නිවනේ ගමන් කළ හැකිනම් , එයමයි අපට ලැබෙන ලාභය. අකුසල් දුරකර කුසල් වඩාගෙන ඒ අමා මහ - නිවනට පැමිණෙන්නට පුළුවන් වුණොත් මිනිස් ලොව ලැබූ ලොකුම ලාභය එය නොවේ ද?.

නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]