ඇසළ අමාවක 2021.08.08
යහපත මතකයේ රැඳීමට...
දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා බමුණෙක් ‘ස්වාමීනි’, භාග්‍යවතුන් වහන්ස,
මම බොහෝ දේ දැන ඉගෙන තිබෙමි. පාඩම් කර ඇත්තෙමි. එහෙත් දැන් ඒවා මතකයට නොනැඟෙන්නේ ය.
ඒ කුමක් නිසා දැ”යි විමසුවේ ය.
එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් දෙයක් මතකයේ රඳවා ගැනීමට හා නැවත නැවත
සිහිපත් කිරීමට අපහසු වන්නේ පංච නීවරණයන්ගෙන් අපේ සිත වෙළි පවතින නිසා බව ය.
සමාජයේ බොහෝ දෙනකුට සිදුව ඇත්තේ ද මේ බමුණාට සිදුවී ඇති දෙයම ය. සාමාන්‍යයෙන් කුඩා
කල සිට වයෝවෘද්ධ වී මිය යනතුරුත් අපි ධර්මයට සවන් දෙමු. දැන ඉගෙන ගනිමු. අන් කවර
කලෙකටත් වඩා මෙකල ධර්මය අසන්නට, දැන ඉගෙන ගන්නට අවස්ථාව ද ලැබේ. බොහෝ පිරිසක් ඊට
යොමුවී ඇති බව ද පෙනෙන්නට තිබේ.
එහෙත් ඒ දහම් කරුණු ජීවිතයට ප්‍රායෝගික වන බවක් පෙනෙන්නට නැත. බොහෝ ක්‍රියාකාරකම්
කිසිදා දහම් පදයක් නො ඇසූ ගණනටය. සමාජ ක්‍රියාකාරකම් පසෙක තබා තමන් ගේ සිතිවිලි හා
හැසිරීම් ගැන අවංකව විමසීමෙන් ඒ බව අවබෝධ කර ගැන්ම අපහසු නැත.
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ උන්වහන්සේට කරන ඉහළම ගෞරවය ඉහළම පූජාව ප්‍රතිපත්ති
ගරුකවීම වන බව ය. සම්බුදු දහමේ අපට අපූර්ව ප්‍රතිපදාවක් හඳුන්වා දී තිබේ. තමන්ගේ
මෙලොව ජීවිතය සේ ම මරණින් මතු ජීවිතය ද අර්ථ සම්පන්න කර ගැනීමට එය අම්ල දායාදයකි.
එදා බුදුරජාණන් වහන්සේ බමුණාට පැහැදිලි කොට වදාළ නීවරණ නම් සිත අපිරිසුදු කරන,
කුසල් සිතිවිලිවලට බාධා කරන සිතිවිලි ය. ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරනවා නම්
තමන්ට අනර්ථයක් නොවී ප්‍රතිපත්ති ගරුක අනුන්ට ද අනර්ථයක් නොවී යහපත් ජීවිතයක් ගත
කිරීම අපහසු වන්නේ නැත.
විශේෂයෙන් එය වර්තමාන සමාජයට බෙහෙවින් වැදගත් ය. එසේ කියන්නේ වැඩි පිරිසක් වෙතින්
ඇසෙන්නට පෙනෙන්නට තිබෙන බොහෝ ක්‍රියාකාරකම් තුළ සමාජය ම පීඩාවට පත්වන නිසා ය.
‘කාමච්ඡන්දය’ දැන උගත් දේ අමතක කරන ප්‍රබල නීවරණයකි. එනම් කාම වස්තූන් පිළිබඳ ඇති
බලවත් කැමැත්ත ය. තණ්හාව ය. එවැනි අවස්ථාවක එවැනි වස්තූන් තමන් සතු කර ගැනීමේ අරමුණ
මිස යහපත අයහපත සිහි වන්නේ නැත.
ව්‍යාපාදය හෙවත් තරහ සිතිවිලිවලින් පිරුණූ පුද්ගලයාගේ ද මතකය දුර්වල ය. එවැනි
පුද්ගලයකු වෙතින් අර්ථයක්, යහපතක් බලාපොරොත්තු විය නොහැකි ය.
ඇතැම් අය නිරන්තරයෙන් නිද්‍රාශීලි ය. එවැන්නන්ට ද දැන උගත් යහපත් දෙය මතකයට නොනැඟේ.
සිතේනොසන්සුන්කම උද්ධච්ච කුක්කුච්චයයි. එනම් සිතේ කැළඹීමයි. කළ හා නොකළ දේ පිළිබඳ
ඇතිවන පසුතැවීමයි. කැළඹුණු ජලයෙහි කිසිවක් පැහැදිලි නොවන්නා සේ මේ පුද්ගලයාගේ ද
අරමුණු අපැහැදිලි ය. මතකය අවදි නොවන්නේ ය. විවිධ දේ ගැන සිතෙහි වන සැකය විචිකිච්චාව
ය. එවිට ද යහපත් සිතිවිලි මතකයට නොනැඟේ. මේ නීවරණ ගැන හොඳින් අවබෝධ කොට ඒවා දුරු කළ
යුතු, ප්‍රහාණය කළ යුතු යහපත් පුද්ගලයකු වීමටය. යහපත් හැසිරීම්, ඇති වන්නෛ් යහපත්
සිතිවිලි උපදින්නේ නම් ය. එහෙයින් ඒවා උපදින්නට ඇති අවහිරතා මඟ හැරගත යුතුය. ඒ සැබෑ
ලෙසම තෙරුවන් සරණ ගිය පුද්ගලයා ගේ ස්වභාවය යි. |