[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාර ප්‍රශ්නයට පිළිතුරක්

මාර ප්‍රශ්නයට පිළිතුරක්

මාරයා යනු කවුරුන් ද? ඔහුට පණ තිබේ ද? සත්‍ය වශයෙන් ම අපට බලපෑම් කළ හැකි ද? යනු පොදු මහත් සමාජය ම තුළ පවතින ප්‍රශ්න සමුදායකි. එකී මාර ප්‍රශ්නයට පිළිතුරු දෙන්නෝ ද විවිධ අදහස් දක්වති. මෙනිසා මරු හෙවත් මාර ගැන ඔබ දැනුවත් කිරීම සුදුසු වන බව අපගේ අදහස යි.

මාර නොහොත් මරු යන වදනෙහි අරුත කුමක් ද? යන්න ප්‍රථමයෙන් ම විමසා බලීම සුදුසු ය. මාර යන්නට විවිධ අරුත් දැකගත හැකි ය. මරන්නා, මාරයා, මරණය, කාමදේව, ආදි වශයෙනි. මෙකී අරුත් දෙස තරමක් ඕනෑකමකින් බලන ඕනෑ ම කෙනෙකුට හැඟී යන්නේ කිසියම් වූ විනාශකාරී අදහසක් ගැබ්ව ඇති බව යි. කෙටියෙන් ම කිවහොත් මාරයා යනු ද විනාශකාර දෙයකි. කෙනෙකි. සත්ත්වයන් අයහපතෙහි යොදවා මරන හෙයින් මාර නම් වන බව ද පාලි සාහිත්‍යයේ දැක්වේ.

අප මහා ගෞතම බුදුන් වහන්සේ සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ එක් ලක්ෂ විසිපන්දහසක් තථාගතයන් වහන්සේලා දැක බුදු බව පතා මනෝ ප්‍රණිධානය පිරූහ. තවත් නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ තුන් ලක්ෂ සත් අසූ දහසක් අබිමුව වාග් ප්‍රණිධානය සම්පූර්ණ කළහ. එසේ ම සාරාසංඛ්‍ය කල්පයක් කාය - වාග් ප්‍රණිධානය පුරා සම්බුද්ධත්වය අවබෝධ කළහ.

මාරයාගේ ආගමනය බෝසතුන්ගේ මෙකී දිගු ගමනේ අවසන් ආත්ම භාවය වූ සිද්ධාර්ථ කුමාර ආත්ම භාවයේ පමණක් නොව මුළු මහත් ගමන පුරාවට ම සිදු වූවකි. බුදු දහම තුළ විවිධ මාරයෝ දැකගත හැකි ය.පඤ්චමාර යනුවෙන් එය හකුළා දැක්විය හැකි ය.

මාරයා හට පණ තිබේ ද නැද්ද යන්න විමසීමට පෙර උක්ත මාරයෝ පිළිබඳ දැන සිටීම සුදුසු වේ. එව්ට ඔබට ම මාරයාගේ සජීවී අජීවී භාවය අවබෝධ කරගත හැකි ය. පඤ්චමාර යනුවෙන් මාරයෝ පස් ආකාරයකින් දැක්වේ.

දෙවපුත්තමාර - යහපතට විරුද්ධ වූයේ දෙවපුත්තමාර නම් වේ. වසවත්ති මාරයා යනු ද මොහු ම යි.

ක්ලේශමාර - ලෝභ, දෝස, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්චාදි කෙලෙස් තුදුසක් (14) ඇත. විස්තර වශයෙන් මෙම කෙලෙස් දහහතර ඇතැම් තැනක එක් දහස් පන්සියයක් දක්වා දීර්ඝව විග්‍රහ වෙයි. එකී කෙලෙස් සත්ත්වයාගේ යහපත නසා අයහපතෙහි යොදවන හෙයින් මාර නමින් දැක්වේ. බුදු පසේ බුදු සහ අරහත් උතුමෝ මෙකී සියලු කෙලෙස් නැසූ හෙයින් ක්ලේශ මාරයා පරාජය කොට ඇත්තා හ.

අභිසංඛාරමාර - කුසලා‘කුසල සිත්වල යෙදෙන චේතනාව අභිසංඛාර නම් වේ. භවයක් පාසා ජාති, ජරා, මරණාදිය ඇති කරවමින් සත්ත්වයා විපතට පත් කරවන හෙයින් අභිසංඛාරමාර නම් වේ.

ඛන්ධමාර - පඤ්චස්කන්ධය (නාම රූප) ඛන්ධ නම් වේ. මෙම පඤ්චස්කන්ධය ක්ෂණයක් පාසා නැසෙන හෙයින් ඛන්ධමාර නම් වේ.

මච්චුමාර - මරණය මච්චු නම් වේ. ජීවිතින්ද්‍රියාගේ සතුරා මරණය යි. ජීවිතින්ද්‍රිය බිදීමෙන් සිදු වන මරණය මච්චුමාර නම් වේ.

ඉහත සදහන් කළ මාර වර්ගීකරණය අනුව දේවපුත්ත මාරහට හැර අන් සිව් වැදෑරුම් මාරයනට ම පණ නැති බව කාටත් තේරුම් යන සත්‍යයකි. දේවපුත්තමාර නොහොත් වසවත්ති මාරයාට පණ ඇති බව අපගේ වැටහීම යි. ඒ බව පහත නිදසුන් මඟින් අවබෝධ කරගත හැකි ය.

බුදුන් වහන්සේ අබිමුවට විටින් විට මාරයා පැමිණි බව ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ. මහාභිනිෂ්ක්‍රමණය කරන මොහොතේ දී ම වාහල්කඩ සමීපයට මාරයා ආ බව කියැවේ. ඉන් පසු චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව බෝ මැඩ අසළ වැඩ සිටින විට ද මාරයාගේ පැමිණීම විය. සහම්පතී මහා බ්‍රහ්මයා බෝ සතුන්ට ශ්වේත ඡත්‍රය උසුලා සිටී. අසූ හාරදහස් කන්‍යාවන් වට කරගත් මහාකාල නාග රාජයා තුති ගී ගයන්නට විය. ශක්‍රාදි දෙවියෝ ආසරි පැතුම් ගෙනාහ. සෙසු දෙවියෝ දිවමල් දිවසුන් ඉසින්නට විය. නමුත් ක්ෂණයකින් සියල්ල වෙනස් විය. මුළු පරිසරය ම අන්ධකාරයෙන් වෙළුණි. උල්කාපාතයෝ වැටෙන්නට වූහ. ගල්, වැලි, ගිනි ආදි නව විධ වරුෂා ඇදහැලෙති. පෘථිවිය සැලෙයි. බියට පත් දෙවියෝ බුදුන් වහන්සේ තනි ‍කොට පළා යති. මහබඹු සක්වළ ගල මුව විට තබා දුවයි. වරෙව්, සිද්ධාර්ථයා මරව්; පරසක්වල ගසව් යන බියකරු වදන් කියමින් ගිරිමෙඛලා ඇතුපිට නැගි මාරයා බුදුන් වහන්සේ ඉදිරියට පැමිණියේ ය. තෙල වජ්‍රාසනය තොපට අයිති නැත. මෙයින් බැස පළා යවයි මරහු කීහ.

මම මෙතනින් නො නැඟිටිමි. සපරිවාර මාරයා දැක මම බිය නො වෙමි.මෙතැනින් මා සොලවන්නටවත් තොපට නොහැක.

බුදුන් වහන්සේ පොළව දෙසට දක්ෂිණ ශී‍්‍ර හස්තය දිගු කළහ. පොළව කම්පා විය. මාරයා බිය විය. මාර සෙනඟ හිස් ලූ ලූ අත දුවන්නට වූහ.පැරැදී පලා ගිය වසවත් මරු තෙම දූවරුන්ට මෙම සිද්ධිය කීය. ‘අරහත් වූ සුගත තුමූ මාගේ විෂයය ඉක්මවා ගියහ. එනිසා මම දුකින් සිටිමි.‘

මාර දූවරු බුදුන් වහන්සේ අබියසට ¼ගොස් ක්‍රමෝත්පාදනය වන අයුරින් රඟ දෙන්නට වූවෝ ය. එහෙත් බුදුන් වහන්සේ කම්පාවකට පත් නො වූහ. මෙම මාර දූවරු යනු කවුරුන් ද යන්න වෙන ම සාකච්ඡා කළ යුත්තකි.

මාරයා පුද්ගලයෙක් ය; යන්න තහවුරු කරගැනීමට බොහෝ සාධක ඇත. මෙහි ලා මජ්ක්‍ධිම නිකායේ මාරතජ්ජනීය සූත්‍රය වැදගත් වේ. සැරියුත් මහ රහතන් වහන්සේගේ කුසට ඇතුළු වූ මරු උන් වහන්සේට හිංසා කරන්නට විය. මේ මාරයා බව දැනගත් සැරියුත් මහ රහතන් වහන්සේ මාරයා සමඟ සංවාදයක යෙදුනහ. උන් වහන්සේ ද සසර තුළ දූසි නමින් මාරයෙක් ව ඉපිද රහතන් වහන්සේ නමකට හිංසා කිරීම නිසා අවීචිමහ නරකයේ සහ ඔසුපත් නරකවල අනේක දුක් විදි බව මාරයාට උන්වහන්සේ ම සඳහන් කළ බව මෙම සූත්‍රයේ දැක්වේ.

කළ කම් පල දීම කාටත් පොදු වු ධර්මතාවකි. මාරයාටත් එය පොදු වූවා නම් වසවත්ති මාරයා යනු පුද්ගලයෙක් බව තේරුම් ගත හැකි ය.

දිනක් බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ දම් දෙසමින් සිටියහ. එයට බාධා කරනු වස් මාරයා බුදුන් අභියසට ගොස් මෙසේ කීවේ ය.

සිව් පිරිස මැද නිර්භීතව සිංහයෙකු මෙන් නාද කරතත් යුෂ්මතුන්ට බලවත් විරුද්ධකාරයෙකු ඇති බව දැන ගන්න. කිම? ඔබ දිනුවා යැයි සිතන්නේහි ද? මෙයට පිළිතුරු දෙන බුදුන් වහන්සේ මෙසේ වදාරති.

මාරය, විසත්තික සංඛ්යා්ත තෘෂ්ණාව තරණය කළා වු; දසබලධාරී වු; මහා වීර වූ; තථාගතවරයෝ අටපිරිස්හි නිර්භීත වූයේ ඒකාන්තයෙන් අභීතව නාද කරති. මාරයා තමාව හඳුනා ගත් බව දැන පලා ගියේ ය. මෙවන් සංවාදයක් දෙදෙනෙකු විනා සිදු විය හැකි ද?

මාරයා යනු බාධාකාරී, විනාශකාරී පුද්ගලයෙකු බව තේරුම් ගත යුතු ය. එසේ ම තම චිත්ත සන්තානය තුළ අකුශල සිතිවිලි ද තම විනාශයට මඟ පාදයි. එම චිත්ත ක්ලේශ ද මාර යන නමින් ම හඳුනාගත හැකි ය. මෙයින් අප වටහා ගත යුත්තේ ආභ්‍යන්තරික හෝ බාහිර වශයෙන් තම අයහපතට හේතු වන සියලු විනාශකාරී දෑ මාර නම් වන බවත් එයට එය සප්‍රාණික හෝ අප්‍රාණික විය හැකි බව යි. ඒ සියලු දෑවලින් ඉවත්ව ජීවත් වීමට අප උත්සහ ගමු. මරුට බයේ පලා යන්නෙක් නො වී නිර්භීතව කෙලෙස් වනය නසා විනාස කිරීමට වෙර වීරිය වැඩිය යුතු ය.

නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]