වල්ලිපුරම් රන්පත හෙවත්
යාපා පටුනේ සිංහල උරුමය
හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
වල්ලිපුරම් නමැති ස්ථානය යාපන දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරේ වඩමාරච්චි ප්‍රදේශයේ
පිහිටියේ ය. වල්ලිපුරම් ගමේ විෂ්ණු කෝවිලට අයත් භූමි භාගයේ කණින අවස්ථාවේ දී
රන්පතක් හමුවී ඇත. මෙය ක්‍රි.ව. 1936 දී හමු වූවකි. අත්තිවාරමක් යට තිබී හමු වූ මෙම
රන්පත දිගින් අඟල් 3 ක්ද පළල අඟලක් ද පමණ විය.
වල්ලිපුරම් රන්පත ලියා ඇත්තේ බ්‍රාහ්මී අක්ෂරවලිනි. මෙම අක්ෂරවල ස්වරූපය අනුව එම
අක්ෂර ක්‍රි.ව. දෙවැනි සියවසට අයත් වන බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කර
ඇත. බ්‍රාහ්මී අක්ෂරවලින් අප රටේ ආදීතම සෙල්ලිපි හා ලෙන් ලිපි ලියා ඇත. මෙම
බ්‍රාහ්මී යන වචනය ව්‍යවහාර කොට ඇත්තේ ඒ ලිපිවල ඇති අකුරුවලට මිස භාෂාවට නොවේ. ඒ
ලිපිවල භාෂාව ආදිම සිංහල හෝ මුල සිංහලයයි. සමහර උගත්හු මෙයට සිංහල ප්‍රාකෘත යැයි ද
කියති.
වල්ලිපුරම් රන්පත හා එහි වැදගත්කම
වල්ලිපුරම් රන්පතෙහි සඳහන් වී ඇත්තේ අකුරු 49 කි. පේළි හතරකින් ලියැවී ඇති මෙය
සම්පූර්ණයෙන් මෙසේ ය.
“සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසිගිරයෙ නකදිව බුජමෙනි
බදකර අතනෙහි පියගුක තිස
විහර කරිතෙ (8)
මහාචාර්ය පරණවිතාන මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද එපිග්‍රැපියා සසිලනිකා ග්‍රන්ථයෙහි
හතරවැනි කාණ්ඩයේ දී ඇති අරුත් දෙකක් මෙසේ ය. “වසභ රජුගේ රාජ්‍ය සමයෙහි ඉසිගිරය
ඇමතිවරයා නකදිව පාලනය කරද්දී බදකර අතනෙහි පියංගුක තිස්ස විහාරය කරවන ලදී.”
මෙයින් කියැවෙන අනෙක් අරුත මෙසේ ය.
“වසභ රජුගේ රාජ්‍ය සමයෙහි ඉසිගිරිය අමාත්‍යවරයා නකදිව පාලනය කරන කල්හි බදකර අතනෙහි
පියංගුක තිස්ස විසින් විහාරයක් කරවන ලදී. (9)
වසභ රජතුමා (ක්‍රි.ව. 65 - 109) ගේ නම මෙහි සඳහන් වන්නේ වහය යන නාමයෙනි. වසභ රජුගේ
ප්‍රදේශාධියෙකු වශයෙන් සැලකිය හැකි ඉසිගිරිය නැමැති මේ අමාත්‍යවරයා බදකර අතන නම්
ස්ථානයෙහි මෙම විහාරය කරවා ඇති බව මෙයින් පැහැදිලි වෙයි. මෙම බදකර අතන යන්න පිළිබඳව
ද මහාචාර්ය පරණවිතාන මහතා පැහැදිලි කර ඇත.
බදකර අතන යන නම වල්ලිපුරම් ගම සඳහා ව්‍යවහාර කරන ලද පැරණි නාමය විය හැකිය.
ක්‍රි.ව. දෙවන සියවස තරම් ඈත කාලයකට සම්බන්ධ වූ විහාරයක් මේ ස්ථානයෙහි තිබූ බවට මෙම
රන්පත සාක්ෂියක් වන්නේ ය. පියගුක තිස යන්න ද විහාරයෙහි නම වූයේ නම් පියගුක යන්නට
පියගු දිවයින යනුවෙන් අර්ථ දිය හැකි වේ. එසේ වන විට විහාරයේ නම ‘තිස් වේ. මේ විහාරය
කර වූ පුද්ගලයාගේ නාමය තිස වහයෙන් සලකා පියගු දිවයිනෙහි තිස්ස යනුවෙන් ද අර්ථ
සැපයිය හැකි ය.
‘පියඟු දීප’ යන්න මහාවංසයෙහි සඳහන් වන්නේ තිස්ස නම් මහතෙර කෙනෙකුත් වාසය කළ ස්ථානය
ලෙස ය. දුටුගැමුණු රාජ්‍ය යුගයේ දී මෙම රහතන් වහන්සේ පියඟු දිවයිනෙහි සිට අහසින්
වැඩියය බව එහි කියැවේ.
සීහලවත්තු නැමැති පාලි ග්‍රන්ථයෙහි ද පියඟු දිවයිනෙහි විසූ සංඝයා වහන්සේලා ගැන
සඳහන් වී ඇත්තේ සද්ධාතිස්ස රජු හා සම්බන්ධ වී ඇති කතා පුවතක් විස්තර කිරීමේ දී ය. ඒ
අනුව සද්ධාතිස්ස රජු වෙස්වලා ගෙන ගොස් කුඹුරක වැඩ කොට ලද චේතනයෙන් භික්ෂූන් වහන්සේ
නමකට දන් දීමට කැමති විය. රජ බිසව එම මුදල් අනුව සූදානම් කර දානය දීම පිණිස රජ
වාසලෙහි වූ දාසියක භික්ෂුවක් සෙවීමට ආරාමයට යැවීය. ඇය එසේ යන විට පුවඟු දිවයිනෙහි
තිස්ස තෙරුන්, මහ තෙරුන් විසින් එවන ලද භික්ෂූන් වහන්සේ නමකට එම දානය පිළිගැන්විය
හැකි වූ බව එහි සඳහන් ය. මහාවංසටීකාව වූ වංසත්ථප්පකාසිනියෙහි ද පුවඟු දීපවාසී
මලියමහාදේවතෙරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා අට නමක් ගැන සඳහන් වේ.
වසභ කුමරා රාජ්‍ය පදප්‍රාප්ත වූයේ අභ්‍යන්තර දේශපාලන අර්බුද පැවති අවධියක දී බව
මහාවංසයේ විස්තරවලින් පැහැලි වෙයි. (18) ඔහු සිංහල රාජ වංශයේ අලුත් පරපුරක මූලිකයා
වශයෙන් ද ඉතිහාසඥයින් විසින් හඳුන්වා දී ඇත. ආර්ථික සංවර්ධනයෙහිලා ඔහු සුවිශාල
මෙහෙයක් කර ඇති බව වංසකතා අනුව ද පැහැදිලි වෙයි. වසභ රජතුමා වැව් එකොළසක් හා ඇල
මාර්ග දොළොසක් කළ බව පූජාවලියෙහි සඳහන් වන අතර ඒ සියල්ලම නම් කර ඇත. එහි සඳහන් වන
නම්වලින් පමණක් රාජාවලි දොළොසක් පමණි.
උතුරේ අයිතිය හා රන්පත
වසභ රජුගේ රාජ්‍ය සමයෙහි (ක්‍රි.ව. 65 - 109) උතුරේ පාලනය තමා යටතේ වූ ප්‍රාදේශීය
පාලකයකු යටතේ පවත්වාගෙන යාමට තරම් රජරට රාජධානිය ප්‍රබල වූයේ ය. වල්ලිපුරම්
රන්පතෙහි සඳහන් වන ‘නකදිව් යන පදය මෙහි දී ඉතා වැදගත් වනු ඇත. ‘නකදිව් යන්න එදා
එනම් මීට වසර 1820 කට ඉහත දී භාවිත වී ඇත්තේ ‘නාගදීප’ යන අර්ථය ඇතිව සමස්ත යාපනය
අර්ධද්වීපය සඳහා ම බව පැහැදිලි කරුණකි.
මේ නිසා නාගදීප වශයෙන් අද ව්‍යවහාර කරන දූපතට පමණක් සීමාවන නාමයක් නොවන බව සඳහන් කළ
යුතුව ඇත.
මහාවංසයේ මුල්වරට නාගදීපය සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩමවීම පිළිබඳ
කතා ප්‍රවෘත්තියෙනි.
ක්‍රි.ව. දෙවැනි සියවසේ දී ටොලමිගේ සිතියමෙහි සඳහන් වන ‘නගදිබ්’ යන්න සිංහල නකදිව
හෙවත් නාගදීප යන්න බව ද, එය වත්මන් යාපන අර්ධද්වීපය හැඳින්වීම පිණිස හැඳින්වෙන බවත්
විද්වතුන් ගේ පිළිගැනීමයි. යාපනේ ප්‍රදේශය ජනාවාස වී ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ
සිට ය.
යාපනේ ‘යා’ යනු ආර්ය පාද යන තේරුම දෙන ඈපා යන්නට සමාන වන හෙයින් එය යුව රජුගේ පාලනය
යටතේ පැවැති ප්‍රදේශයක් වශයෙන් නිගමනය කළ හැකි ය. ‘යා’ යන්න ජිවක යන්නෙන් බිඳුණි
යන්න මහාචාර්ය පරණවිතාන පවසන තවත් අදහසකි.
ශ්‍රී ලංකාවේ නාගදීපය නම් ප්‍රදේශය පාලනය කළ ‘දීපරාජ’ නැමැත්තෙකු පිළිබඳව විභංග
අටුවාව වන සම්මෝහවිනෝදනියේ සඳහන් ය. ක්‍රිස්තු පූර්ව යුගයන්හි දී සහ ක්‍රිස්තු
වර්ෂාරම්භයේ දී සියවස් කිහිපයක් යන තුරුම යාපන අර්ධද්වීපය හැඳින්වූයේ නාගදීපය යන
නමින් හෙයින් අටුවාවේ සහ ශිලා ලිපියේ (දෙවන සියවසට අයත් සඳහන් ‘දීපරාජ’ යන දෙදෙනාම
යාපනය අර්ධද්වීපය කැර වූ යුව රජුන් බව ස්ථිර වශයෙන් ම නිගමනය කළ හැකි ය.
වල්ලිපුරම් බුදුපිළිම වහන්සේ
වල්ලිපුරම්හි පිහිටි විෂ්ණු දේවාලයට යාර පනහක් පමණ ඊසාන දෙසින් බුදු පිළිමයක් හමු
වූයේ වල්ලිපුරම් රන්පත හමුවීමට ප්‍රථයෙනි. එනම් 1900 වර්ෂයේ දී ය. මෙම බුදු පිළිම
වහන්සේ අඩි 8 පමණ උස ය. වම් අත මැණික් කටුව ළඟින් කැඩී ඇත. මෙය ක්‍රි.ව. 2 හො 3
වැනි සියවසට අයත් බුදු පිළිමයක් සේ සැලකේ.
මෙම බුදු පිළිම වහන්සේ වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයා ගැනීම පිළිබඳ 1916 දී ජේ.පී.
ලුවිස් මහතා පවසන අන්දමට මෙය පැරණි සිංහල ජනාවාසයක් ව පැවතුණු බවට සාධකයක් ලෙසට
සැලකේ.
වල්ලිපුරම් බුදු පිළිම වහන්සේ අනුරාධපුරයේ රුවන්වැලිසෑයෙන් හමු වූ බුදු පිළිම
වහන්සේට බෙහෙවින් සමාන ය. මේවා අමරාවතී බුදු පිළිම සම්ප්‍රදායට අයත් සේ සැලකේ.
වල්ලිපුරම් බුදු පිළිම වහන්සේ මෙසේ යාපනේ උද්‍යානයෙහි බෝධියක් සෙවණේ තබා තිබුණු අතර
1916 දී එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ හෙන්රි බ්ලෙක් විසින් සියමෙහි
එවකට රජ කළ 4 වැනි රාම රජුට ප්‍රදානය කරන ලදී. මෙම බුදු පිළිම වහන්සේ නිල්වන් කොළ
පැහැය සහිත දිලිසෙන කිරිගරුඬ පාෂාණ වර්ගයකින් නිම කර ඇත.
වව්නියාව ප්‍රදේශයෙනුත් මෙවැනි බුදු පිළිම වහන්සේ හමු වී ඇත. දක්ෂිණ භාරතයේ
ආන්ද්‍රා ප්‍රදේශ්හි අමරාවතී නම් ස්ථානයේ ඇති බුදු පිළිම වහන්සේට සමාන පිළිම වහන්සේ
තිස්සමහාරාමයේ යටාල වෙහෙරෙන් ද හමු වී ඇත.
මහ ඉලුප්පල්ලමේ බුදුපිළිම වහන්සේ මේ සම්ප්‍රදායට අයත් ය. මෙම වල්ලිපුරම් බුදු පිළිම
වහන්සේ දැනට තායිලන්තයේ (සියමෙහි) බැංකොක්හි ගරුඪ පාෂාණ විහාරයෙහි තැම්පත් කර ඇත.
මෑතක් වන තුරුම වල්ලිපුරම් රන්පත ලන්ඩනයේ බැංකුවක තැම්පත් කර තිබුණු අතර මහාචාර්ය
වල්පොල රාහුල හිමිපාණෝ 1991 පෙබරවාරි මස 3 වැනි දා එම රන්පත එවක වූ ජනාධිපතිතුමාව
වූ රණසිංහ ප්‍රේමදාස මහතාට භාර දෙමින් ජාතිය සතු කළහ.
මෙම රන්පත දැනට ආරක්ෂා සහිතව තැම්පත් කර ඇති අතර, එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක
අගය වෙන කවරදාටත් වඩා අනාගතයේ දී වැඩි වනු ඇත. |