[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙස් මුහුණු යට සැඟවුණු මුහුණු

වෙස් මුහුණු යට සැඟවුණු මුහුණු

යමෙක් කුසතණවලින් කුණු මස් ඔතයි ද එය ම හේතුකොටගෙන ඒ කුස තණ ද දුගඳ හමයි. බාලයා ඇසුරු කරන පුද්ගලයා ද දුර්ගන්ධවත් වන්නේ එලෙසින් ය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මංගල සූත්‍රයෙහි සඳහන් උතුම් මංගල කරුණු තිස් අටෙන් පළමු කරුණ වන්නේ බාලයන් ආශ්‍රය නොකිරීම ය. එය සැනසීමට හේතු වේ.

“බාල“ නම් වයසින් බාල කුඩා දරුවන් හෝ ළමයින් හෝ නොවේ. ගුණයෙන් හා නුවණින් මඳ පුද්ගලයන් ය. පව් කරන්නන් ය. “ කතාවට, යන්න එපා‍. ආශ්‍රය කරන්න එපා. ඔය මනුස්සයා ළඟටවත් යන්න එපා. පව්කාරයෙක්.“

තමන්ගේ චරිතයට මෙවැනි නිගාවක් කරනවාට ඔබ කැමැති වෙන්නේ නැහැ නේද?.

එසේ නම් පස්පව් දස අකුසලයන්ගෙන් බැහැර වුණු අයෙක් බවට පත්විය යුතු ය. බාලයෙක් වන්නට, ඇසුරට නුසුදුසු පුද්ගලයෙක් වන්නට හේතුවන කරුණු කීපයක් හඳුනා ගනිමු. ප්‍රාණඝාතය , සොරකම,. වංචා හා කපටිකම් කිරීම. ඉන්ද්‍රියයන්හි අසංවර බව හා අශීලාචාර චරිතයකින් යුතු පුද්ගලයෙක් වීම. බොරු කීම. ඵරුෂ වචන කීම. කේලම් කියා පුද්ගලයන් අසමඟි කිරීම. බොරු පොරොන්දු දීම. දුන් පොරොන්දු කඩකිරීම. අන් අයට නිකරුණේ අවමන් කිරීම. නින්දා කිරීම. මත්වතුර සහ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම. ආදී කරුණු මූලික වශයෙන් සඳහන් කළ හැකි ය.

මේ කියූ ලක්ෂණයන්ගෙන් යුතු පුද්ගලයකුගේ චරිත ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මයෙහි මේ ආකාරයෙන් සඳහන් කරයි.

“මේ ලෝකයෙහි බාල තෙමේ නපුරු සිතිවිල්ලක් ම සිතන්නේ ය. නපුරු වචනයක් ම පවසන්නේ ය. නපුරු දෙයක් ම කරන්නේ ය. මේ ආකාර දුර්ගුණයන්ගෙන් යුතු පාපී පුද්ගලයකු සමඟ දැන හෝ නොදැන ඇසුරට යොමු වූවොත්, යම් විටක කවර තත්ත්වයේ පුද්ගලයකු වූව ද නුවණින් විමසා බලා කටයුතු නොකළහොත් පිරිහීමට මෙන් ම විනාශයට ද පත්වන්නේ ය.

මේ පිරිහීමේ හා විනාශයේ තරම කෙතරම් ද යත් කාරුණික හදවතක් ඇත්තෙක් අකාරුණික වූ වධකයකු බවට පත්විය හැකි ය. ඒ වගේ ම පරිත්‍යාගශීලි අයෙක් නම් මසුරු බවට පත්විය හැකි ය. සංවරශීලි හා නීතිගරුක පුද්ගලයෙක් අසංවර හා අනීතිකව සමාජයට විපත්තිදායක කෙනෙක් බවට පත්වීම වැළැක්විය නොහැකි ය.

“අජාසත් කුමරු පෙර යහපත් දරුවෙකි. එහෙත් දෙව්දත් තෙරගේ නරක ඇසුර නිසා ඔහු පීතෘ ඝාතකයෙක් බවට පවා පත්විය. ‘සත්ථිකුම්භ‘ ජාතක කතාවේ එන “ගස්බෙනයක සිටි ගිරා පැටවුන් දෙදෙනා සුළඟකට ගසාගෙන ගොස් දෙපැත්තකට වැටුණි. එක් පැටවෙක් සොරුන් පිරිසකගේ ඇසුරටත් අනෙක් පැටවා තාපසයන්ගේ ඇසුරටත් පුරුදු විය. සොරුන්ගේ ඇසුර ලැබූ ගිරවා පරුෂ වචන කතා කිරීමටත්, තාපසයන්ගේ ඇසුර ලැබූ ගිරවා මිහිරි, ඉතා ප්‍රිය වචන කතා කිරීමටත් පුරුදු විය.

එමෙන් ම එකම අම්මාගේ කුසින් හා එකම පියාණන්ට දාව උපන් සොහොයුරු සොහොයුරියන් අතර ද ඇසුර හේතුකොටගෙන විවිධ වෙනස්කම් ඇතිවන බව අප බොහෝ ලෙසින් දැක ඇත. ඒ වගේ ම අසා ඇත.

අපගේ ඇසුරට නුසුදුසු වන්නේ කවර ගති ලක්ෂණ ඇති අය දැයි සිඟාලෝවාද සූත්‍රෙය් දී පෙන්වා දී ඇත. එක් අයෙක් වන්නේ මිතුරාට කිසිවක් නොදී නිතරම මිතුරාගෙන් යමක් ලබා ගන්නට උත්සාහ කරන තැනැත්තා ය. ඔහුගේ හෝ ඇයගේ ස්වභාවය වන්නේ කිසිවක් රැගෙන නොපැමිණ මිතුරාගෙන් යමක් රැගෙන යෑමයි. තමාට අවශ්‍යතාවයක් හෝ බියක් සැකයක් ඇති වූ විට පමණක් මිතුරා වෙතට පැමිණේ. ස්වල්පයක් දී බොහෝ දේ බලාපොරොත්තු වේ. තමාගේ ලාභය සඳහා ම මෙසේ ඇසුරු කරන්නා අඤ්ඤදත්ථූහර නම් වේ. වචනයෙන් පමණක් සංග්‍ර කරන්නේ වචීපරම මිතුරා ය.

උපකාරයක් ඉල්ලූ විට ඊයේ හෝ දින කිහිපයකට පෙර කීවානම් කරන්නට තිබුණා යැයි පවසා අතීතයෙන් සංග්‍රහ කරන අය ඔබට මොනතරම් හමුවී තිබෙනවා ද? අනාගතයේ උපකාර කරමි‘යි අනාගතය දක්වා වචනයෙන් ම පමණක් සංග්‍රහ කරන අය මොනතරම් ද?. උපකාරයක් ඉල්ලූ විට නැති බැරිකම් කියා මඟහරින අයත් එසේ ම යි. ඔවුහු ප්‍රයෝජනයක් ලැබිය නොහැකි නිරර්ථක හෝ රැවටිලි කතාවෙන් සංග්‍රහ කරති.

තමාගේ ලාභය හා යහපත පිණිස මිතුරාගේ හොඳ හෝ නරක සියලු දේ අනුමත කරන අයත් වෙති. . මිතුරා පාපයක් කිරිමට සූදානම් වන විට එය ද අනුමත කරයි. යහපතක් කරන විට එය ද අනුමත කරයි. මිතුරා ඉදිරියේ දී නැති ගුණ කියමින් වර්ණනා කරන අතර මිතුරා නැති තැන අගුණ කියයි. මේ අනුප්පියභාණී මිතුරාගේ ස්වභාවයයි. මෙවැන්නන් හඳුනවා ගැනීමට සමත් විය යුතු ය.

අපාය සහායක මිතුරා සුරාවට කැඳවාගෙන යයි. අවේලාවෙහි තැන් තැන්වල කැඳවාගෙන යයි. නිතර ධනය වියදම් කරවන විනෝදවීම්වලට ම යෑමට උනන්දු වෙයි. සූදුවට පුරුදු කරයි.

මේ ආකාරයෙන් බාල හෙවත් නරක පුද්ගලයන්ගේ ගති ලක්ෂණ නුවණින් දැක පළමුව තමා යහපත් කෙනෙක් වීමට උත්සාහ කරන්න. අනතුරුව තමන් හා සම, ඊටත් වඩා යහපත් ගුණ ඇති පිරිසක් සමඟ ආශ්‍රය කරන්නට උත්සාහ කරන්න. එදිනෙදා ජීවිතයේ දී පිළිවෙත තුළ තමන්ට සාර්ථක ජීවිතයක් අත්පත් කරගත හැකි වෙයි. යහපත්, අයහපත් සියලු දෙනා සමඟ කටයුතු කිරිමට සිදු වේ. එවන් අවස්ථාවක දී යමකුගේ යහ ගුණයන්ට බැඳී යමකුගේ දුර්ගුණවලට හසු නොවීමට තරම් කල්පනාකිරී විය යුතු ය. ඒ වගේ ම ඔබ යහපත් කෙනෙක් ව සමාජයේ, කාර්යාලයේ දී පමණක් නොව මහ මඟ දී, බස් රිය හා දුම්රියේ දී පවා කල්පනාකාරී විය යුතු බව සිහි තබා ගන්න.

වංචාකාරී, මායාකාරී හා නපුරු පුද්ගලයන්ට රැවටී වටිනා තරුණ ජීවිත විනාශ කරගත් තරුණ දියණිවරුන් මෙන් ම පුතණුවරුන් බහුලව සමාජයේ දක්නට ලැබේ.

“පාපා නිවාරෙන්ති“ ලෙසින් දක්වා ඇති පරිදි මව්පියන් විසින් තම දරුවන් කුඩා කල සිට අයහපත් ඇසුරෙන් මෙන් ම පවින් වැළක්වීමට උත්සාහ ගැනීම උතුම් වගකීමක් මෙන් ම යුතුකමක් ද වේ.

ගුණයෙන් උසස් පුද්ගලයෙක් හෝ තමාට ගැලපෙන ගුණ ඇති පුද්ගලයෙක් ඇසුරු කරන්න. එවැනි පුද්ගලයෙක් ඇසුරට නොලැබුණොත් හුදකලාව වාසය කිරීම යහපත් ය. බාලයාගේ ඇසුර පිරිහීමට හා විනාශයට හේතුවන බව තථාගත ධර්මයේ පෙන්වා දී ඇත.

“යමෙක් කුසතණවලින් කුණු මස් ඔතයි ද එය ම හේතුකොටගෙන ඒ කුස තණ ද දුගඳ හමන්නේ ය. එසේම බාලයා ඇසුරු කරන පුද්ගලයා ද දුර්ගන්ධවත් වන්නේ එලෙසින් ය.“

නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]