පැතුම
ගෝඨාභය නිරිඳු තම සවි බල කෙරුම
හිමිසඳ මලියදෙව් රහතුන් නිති සැරුව
සදහම් සුවඳ පිරි දන පාරමි පිරුව
පුදනෙමු බැතින් වට්ටාරම නිසි ගරුව
අරලිය ඇහැළ මැයිමල් පිපි නෙක පාට
වපුරයි සුවඳ පුදබිම තෙමඟුල දාට
පෝසඳ රැසින් බබළන දාගැබ රෑට
දෙව් බඹු පැමිණ පුදයති මැදියම ඊට
රෝපිත දෙතිස්ඵල බෝධිය අති පැරැණී
තෙද බල හැඳින සෙත අයදිති දන පැමිණී
රන්වැට බෝධිවට ඇති නිසලව රමණී
පින් ලැදි සැමගෙ සමගියෙ මුතු ඇත ඇමිණී
පව්මල කෙලෙස් දුරලන සිත කය දවන
පෝයට දසත සිල් සුවඳින් සිත නිවන
රොදබැඳ දනෝ පුදබිම වෙත පිය තබන
පැතුමන් පතති මතුබව දැකුමට නිවන
ගම්බර දෙවිඳු නිති සුරකින දෙනෙත යොමා
රහතුන් වැඩිය බිම පිරි මුනි දහම අමා
සැදැහැ පින් සිතින් වැඳ නිති තම සිරස නමා
මෙත් බුදු හමුව අපි කරලමු සසර නිමා
ටී.ඇම්. පොඩිරාලහාමි
වට්ටාරම
****
රෝ බිය දුරුවේවා
කවි පබැඳුමට හිත නොයෙදෙයි විඩාබර
සිතද අවුල් වී නොයෙකුත් කතා බර
පෙම්බර දරුවන් හමුවිය නොහැක දයා බර
මෙතරම් දරුණු වූයේ ඇයි කොවිඩ් බර
රටටම අඳෙීනාවකි නුඹ පැමිණීම
ඉවසා සිටිනු බැහැ මේ ලෙස මිය යාම
ඉස්සර තිබූ ලෙන්ගතුකම් නැහැ තවම
කොයි කවුරුවත් නැත අද නම් මා ගාව
සැමට නිදුක් නිරෝගි බව ලැබේවා.
දරුණු කොවිඩ්වලින් අප රැකදේවා
ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට සැමට ලැබේවා
මුළු සිරිලක ම පෙර ලෙස නිදහස් වේවා.
ඇල්.ජේ. ආනන්ද ශීලී පෙරේරා
****
මෙවර ජයග්‍රාහී කවිය
බුදුමඟ වැඩි පුතුට
හදවත ඇතේ නිති ඉල්ලු කිරි සුවඳ
හිමි වෙත එවන්නම් මුසු කොට මල් සුවඳ
පුරසඳ වගේ දිදුලන ඔබෙ සිල් සුවඳ
පුතු මගෙ වඩී විහිදුවමින් බුදු සුවඳ
මෙමා කුසට පුතු ආ ඒ දිනේ සිට
තෙමා ළයම කිරි එරුණා පුතු නමට
පමා නොවන්නට සසරේ කිසිම විට
අමා ගඟුල අද සැරසේ මෙත් පුරට
දම් රස මුසුව නිවි නිවී සැනසෙන උවන
කර්ම සැප අතැර කෙරුවයි අභිනිෂ් ක්‍රමණ
සම්බුදු මඟට පිළිපන් සන්සුන් ගමන
නිම් නැති සසර නිම කර ලැබ ගනු නිවන
කරුණා භරිත හිමි හද පතුලින් ගලනා
වරුසා දහම් මිණි කැට සිසිලස දරනා
සරණා සසර සමුදුර කෙළවර දකිනා
පුරණා පෙරුම් පුතු මතු බුදු බව ලබනා
රන් රුවින් දිලි දිලි සේ මියුරු පුන්සඳ
පා පියුම් තබ තබා හිමි දනට වැඩි සඳ
මා සුසුම් දැවි දැවී හිමි දෙපා වැඳි සඳ
කෙලෙස් ගිනි නිව නිවා දම් දෙසයි පින් කඳ
ඒ.එල්. ගීත්මා ඔමන්දි පෙරේරා
11 ශ්‍රේණිය
ශ්‍රී බෝධිරාජ දහම් පාසල
****
මිනිසුනි කවදද එළිය දකින්නේ
තණ්හා ආශා පොදි බඳිමින්නේ
මිසදිටු බවකිනි සසර ගෙවන්නේ
දුක් ඝණ දුරු නැත පහ වී යන්නේ
ජීවිත අඳුරේ කාලෙ ගෙවන්නේ
ගුණ නැණ නැත මිනිසුන් අඳුරන්නේ
පුහු ආටෝපෙනි කාලෙ ගෙවෙන්නේ
බව දුක නැසුමට සසර සොයන්නේ
මිනිසුනි කවදද එළිය දකින්නේ
බුදු හිමි දෙසූ ඒ මග සොයමින්නේ
ජීවිත ගමනට අරුත සොයන්නේ
යන මඟ හරි බව තෝරා ගන්නේ
එවිටයි මිනිසකු පිරිපුන් වන්නේ
ජේන්. සීලවතී, තඹුත්තේගම
****
දහම් මඟ
දිවි මඟෙහි ගත සිතට
පැමිණෙනා දුක් ගැහැට
හසු කළොත් දම් මඟට
මාවතය සැනසුමට
නොගෙන එක පැත්තක්
දකින්නට ඇත්තක්
යන්න ජය ගමනක්
සැබෑ දිවිමග කරමු සවියක්
යථාවම නිසි දකිමු
පලයෙ හේතුව දකිමු
හේතු මුල් නසාලමු
සදා සැනසුම ලබමු
කිතුල්ගල රත්නසේකර රූපසිංහ
****
සුවඳ හමන මලක් වන්න
සුවඳ හමන මලක් වගේ සුවඳ හමන්න
පවස නිවන දිය දෝතක් වගේ සිටින්න
සවන පිනන මිහිරි වදන් නිතර දොඩන්න
වැඩිහිටියන් දෙන ඔවදන් හොඳින් අසන්න
කපිල කෝරලේගේ, සුදුවැලිපත, උඩුගව
****
ප්‍රාර්ථනා
බුදු මඟ යන්නට නො ලැබුණෙ මා හට
පින් කර නැති හින්දයි සසරේ
මෙතේ බුදුන් බුදුවන මතු දිනයට
උපදින තුරු සිටිනෙමි අඳුරේ
සිදුහත් කුමරා සත් පියුමන් මත
සක්මන් කරනා සුබ මොහොතේ
ඒ එක පියුමක් මා වූවා නම්
සසරේ නැත මා අද දිනයේ
නේරංජන ගඟ ඇසතු බෝධියට
බුදු හිමි වඩිනා සුබ නැකතේ
පෑගෙන පරඬැල බුදු හිමි පතුලට
මා වූවා නම්....
කුසිනාරාවේ සාලවනේ
පිරි නිවනේ හිමි සැතපෙන යාමේ
තුරු අග සුපිපුණු එකම මලක සිරි
ගන්නට බැරි වුණ එක කරුමේ
අනුර ජයවීර
පස්සර පාර, හිඳගොඩ
****
කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු
බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස ඉල් පුර පසළොස්වක
පෝදා සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති
මන්දිරයේ අධ්යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ.
සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.
සංස්කරණය
දීපා පෙරේරා |