[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කවරයේ කතාව: දුක් විසට මුල

කවරයේ කතාව:

දුක් විසට මුල

රජගහනුවර භාරද්වාජ ගෝත්‍රයට අයත් ය. ඒ නමින් ම ප්‍රසිද්ධ වූ බමුණෙක් විය. ඒ බමුණාගේ බිරිඳ “ධාන ජානි“ ය. ඇය තෙරුවන් කෙරෙහි පැහැදුණු උපාසිකාවකි.

දිනක් ඇය සිය සැමියාට බත් පිළිගන්වන අවස්ථාවේ දී පය ලිස්සා වැටෙන්නට ගියා ය. එකෙනෙහි ම භාග්‍යවතුන් වහන්සේ සිහිකොට “ නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස“ යනුවෙන් තුන් වරක් පැවසී ය. ඒ අවස්ථාවේ දී බමුණ කිපුණේ ය.

කොතැනැදීත් ඒ මුඩු මහණ ගේ ම ගුණ කියනවා යැයි දොස් කීවේ ය. මම ඔහු සමඟ වාද කරමි‘යි පැවසීය.

බමුණ, දෙවියන් ඇතුලු ලෝකයෙහි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වාදාරෝපණයට සමතෙක් ඇතැයි නො සිතමි. ඔබ උන්වහන්සේ වෙතට ගිය විට මා පවසන්නේ ඇත්ත ද බොරු දැයි වැටහෙනු ඇතැයි බැමිණිය පැවසී ය.

බමුණා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. උන් වහන්සේ සමඟ පිළිසඳර කතා කොට පසෙකින් ඉඳගෙන ප්‍රශ්න නැඟීය. “කුමක් නැසීමෙන් සුවසේ සිටිය හැකි ද? කුමක් නැසීමෙන් ශෝක නොකර සිටිය හැකි ද? කුමන එක් දෙයක් නැසීමෙන් ඔබට රිසි යේ ද? යැයි බමුණා ඇසූ මේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ මේ ලෙසින් පිළිතුරු දුන්හ.

“ක්‍රෝධය නැසීමෙන් සුව සේ සිටිය හැකි ය. ක්‍රෝධය නැසීමෙන් ශෝක නො කර සිටිය හැකි ය. බ්‍රාහ්මණය, දුක් විසට මුල් වූ ක්‍රෝධය වැනැසීම මැනැවැ‘යි ආර්යන් වහන්සේ පවසත්. ඒ ක්‍රෝධය නැසීමෙන් නිශ්ශෝක වේ‘යැයි වදාළ සේක.

මෙය ඇසූ බමුණ තෙරුවන් කෙරෙහි පැහැදී උපාසකයෙක් විය. භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලී ය. භාග්‍යවතුන් වහන්සේ බමුණාට පැවිද්දත්, උපසම්පදාවත් දුන් සේක. පැවිදිව විදසුන් වඩා නොබෝ දිනකින් කෙලෙස් නසා රහත් බවට පත් විය.

භාරද්වාජගොත්ත බමුණා භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වී යැයි ඇසූ ඒ ග්‍රෝතයට ම අයත් එක් බමුණෙක් කුපිතව භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් අසභ්‍ය පරුෂ වචනයෙන් පරිභව කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඔහුගේ බැණුම් අසා සිටි සේක. බමුණාගේ බැණුම අවසන් වූ පසුව ඔහුට කතා කොට, බමුණ, ඔබ වෙත නෑ මිතුරෝ අමුත්තෝ ඉඳහිට එන්නේ දැයි ඇසූ සේක. එසේ ය.

ඔවුනට ඔබ කන බොන දෑ දෙත් ද?

එසේ ය.

බමුණ ඔබ ඔවුනට දෙන ඒ දෑ ඔවුන් නො පිළිගත්තොත් ඒවා කාට අයත් වෙත් ද?

වෙන කාට ද? ඔවුන් ඒවා නො පිළිගන්නේ නම් ඒවා අපට ම යි.

බමුණා එසේ කී කල, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කතා කොට බ්‍රාහ්මණයෙනි, අප ඔබට බැණුමක්, කිපීමක්, කළහ කිරීමක් නොකර නිහඬ ව සිටිද්දී ඔබ අපට අක්‍රෝස පරිභව කළේ ය. ඔබගේ ඒ ආක්‍රෝශ පරිභව අපි නො පිළිගනිමු. ඒවා ඔබට ම ආපසු ලැබෙයි.

බ්‍රාහ්මණයෙනි, ආක්‍රෝශ කරන්නාට පෙරළා ආක්‍රෝශ කරන්නා ද, කිපෙන්නාට පෙරළා කිපෙන්නා ද, කලහ කරන්නාට පෙරලා කලහ නඟන්නා ද ඒ තැනැන්තා අනෙකාත් සමඟ එකතුව ඒවා වළඳන්නෙකි. අප ඔබ හා එකතුව නො වළඳමු. ඔබ කී දෑ ඔබ කරා ම පැමිණේ යැ‘යි වදාළ සේක.

ගෞතමයෝ රහත් කෙනෙකැ‘යි රජුත් රට වැස්සාත් පිළිගෙන ඇත. එහෙත් ශ්‍රමණ ගෞතමයන් කිපෙන බවක් මට හැඟේ යැ‘යි බමුණා පැවසී ය.

භාග්‍යවතුන් වහන්සේ, ශාන්ත වූ සංසුන් පැවැතුම් ඇති මනා වූ නුවණින් දැන සියලු කෙලෙසුන්ගෙන් මිදුණු ලාභ අලාභ, නින්දා ප්‍රශංසාදී අට ලෝ දහමින් නො සැලෙන ස්ථිර ගුණ ඇති ක්‍රෝධ නො කරන රහතකු තුළ ක්‍රෝධයක් කොයින් ද? යි වදාළ සේක.

කිපුණහු හට පෙරළා කිපෙන්නා ඒ පළමු වැන්නාට වඩා ලාමක ය. කිපුණාහුට නො කිපෙන්නා ලෙහෙසියෙන් දිනිය නො හැකි යුද්ධයකින් දිනුවෙක් වෙයි.

අනෙකා කිපුණා දැක සිහි ඇති ව ඉවසන තැනැත්තා තමාටත් අනෙකාටත් යන දෙදෙනාට ම අභිවෘද්ධිය සලසන්නෙකි. මෙසේ ඉවැසීමෙන් තමාටත් අනුන්ටත් යහපත සලසන්නාට ධර්මය නොදන්නා අන්ධබාලයා “මෝඩයෙකැ‘යි හැඟෙයි යැ යි වදාළ සේක.

මේ කතාව අසා සිටි, මුල දී භාග්‍යවතුන් වහන්සේට ආක්‍රෝශ පරිභව කළ ඒ භාරද්වාජ බමුණා පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. ඉක්බිති පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු ද පැවිදි උපසපන් කළ සේක. හේ විදසුන් වඩා නොබෝ කලෙකින් සියලු කෙලෙස් නසා රහත් විය.

නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]