[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මයෙහි අර්ථය වෙනස් වීම ධර්මයට වගේම ශාසනයටත් හානියක්

ධර්මයෙහි අර්ථය වෙනස් වීම ධර්මයට වගේම ශාසනයටත් හානියක්

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මහවල ශ්‍රී ධර්මායතන විහාරාධිපති සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ (විශ්‍රාමික) රාජකීය පණ්ඩිත ග්‍රන්ථවිශාරද ශාස්ත්‍රපති කෑලිගම විජිතනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

අපේ නායක හාමුදුරුවනේ, පුංචි කාලයේදීම පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා විනය මූලික ශාසනික ප්‍රතිපත්තියෙන් සුශික්ෂිත චරිතයක් ඇති ධර්මානුගත චරණයෙන්, ශාස්ත්‍රීය ශික්ෂණයෙන් ශික්ෂිත වූ ඔබ වහන්සේ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ශාසනික සේවයෙහි නියැළීමට ආ ගමන් මඟ පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙනවා නම්,

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කෑලිගම කියන බොහොම රමණීය ප්‍රදේශයක විසූ සත්ගුණවත් කොඩිතුවක්කු ආරච්චිලාගේ මුදලි අප්පුහාමි පියතුමන් හා සෙනවිරත්න අධිකාරම් මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකේ මාතාව යන දෙපළ සදාදරණීය මව්පියන් කොටගෙන ජන්ම දායාදය ලැබුවා. මා ඇතුළුව පවුලේ සහෝදර සහෝදරියන් 6 ක් සිටි බවත් , මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කෑල්ල විද්‍යාලයෙන් මූලික ගිහි අධ්‍යාපනය ලබාගැනීමට කටයුතු කළා. මගේ මව්පියන් බොහොම ගුණවත් ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව තුනුරුවන් කෙරෙහි අචල ගෞරවයකින් කටයුතු කළ දෙපළක් නිසාම මා තුළත් පැවිදිවීමට ආසාවක් ඇතිවුණා. මව්පියන්ගේ ආදර්ශවත් ජීවිතයත් ගුරුභවතුන්ගේ නිවැරැදි මඟ පෙන්වීමත් තුළ පැවතුණ උතුම් ගුණාංගයන් මගේ දෙලොව ජීවිතයම ආලෝකවත්වීමට හේතු වුණා.

ඒ අනුව සබරගමු පළාතේ ද්විතීය සංඝනායක කෑල්ලේ ශ්‍රී සාරානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1954 වර්ෂයේ දී කෑලිගම විජිතනන්ද යන ශාසනික නාමයෙන් මඩුවන්වෙල මුදලින්ධාරාම විහාරස්ථානයේදී සම්බුද්ධ ශාසනයේ උත්තරීතර ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වුණා.

පැවිදි වීමෙන් අනතුරුව රත්නපුර මුවගම සිරි විසුද්ධාරාම පිරිවෙනෙහි ඉතාම මැනවින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකළා. කෑල්ලේ ශ්‍රී සාරානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව ශ්‍රී ලාංකේය පැවිදි අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ප්‍රකට වුණ ගාල්ල විද්‍යාලෝක පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී ශාස්ත්‍රවේදී උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත්, ලබා ගත්තා. ඒ වගේම ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් ප්‍රාචීන පණ්ඩිත උපාධියත්, ග්‍රන්ථ විශාරද පශ්චාත් උපාධියත් ලබාගෙන , අධ්‍යාපන ඩිප්ලෝමාවත්, බුද්ධ ධර්ම ඩිප්ලෝමා විභාගයත් ලබා ගැනීමට කටයුතු කළා.

අධ්‍යාපනය ලබමින් සිටි කාල පරිච්ඡේදයේදීම නිසි වයස් සම්පූර්ණවීමත් සමඟ 1960 වර්ෂයේ දී මල්වතු මහා විහාර උපෝෂථාගාරයේ දී උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදාශීලයට පත්වුණ බවත් ප්‍රකාශ කළ යුතුයි. එහිදී ඕමල්පේ ටැම්පිට විහාරාධිපති දාපනේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේගේ හා සබරගමු පළාතේ ද්විතීය සංඝනායක කෑල්ලේ ශ්‍රී සාරානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදා පුණ්‍ය කර්මය සිදුකළ බව පුණ්‍යාණුමෝදනා පූර්වකව කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව හොරණ නාලන්දා පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් සේවය ආරම්භ කළා. ගාල්ල, රත්නපුර, බදුල්ල, මොණරාගල ,කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවලත් බොහෝ කාලයක් සේවය කිරීමට හැකි වුණා. ශ්‍රී පාදස්ථානාධිපති බටුගෙදර යසස්සී ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අනුව රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබීමත් සතුටක්. පසුකාලීනව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ වශයෙන් විශ්‍රාම යනතෙක් විශාල ශාසනික කාර්යභාරයක් ඉටුකිරීමට හැකියාව ලැබුණා.

එම කාල වකවානුවේදීම රත්නපුර මහවල ප්‍රදේශයේ ශ්‍රී ධර්මායතනය නමින් විහාරස්ථානයක් ආරම්භ කිරීමටත් කාලයාගේ ඇවෑමෙන් එම විහාරස්ථානය තුළ ශී‍්‍ර ධර්මායතන පිරිවෙන නමින් පිරිවෙනක් ආරම්භ කිරීමටත් කටයුතු කළ නිසා එම ප්‍රදේශයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගැනීමට පහසුවක් සැලසුණා. සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් පිරිවෙනක් ආරම්භ කිරීමට ලැබීමත් සතුටට කරුණක්. ආගමික, ශාසනික, ශාස්ත්‍රී , සමාජීය ක්ෂේත්‍රයන්ට අදාළව සිදුකරනු ලබන සේවය ඇගයීමට ලක්කරමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ සානුනායක විංශත්වර්ගික කාරක සංඝ සභාව වෙතින් විනය කීර්ති ශ්‍රී ධම්මදින්න සරණපාල ගෞරව නාමය සහිතව සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමට කටයුතු කළා.

සංඝ නේතෘන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගනිමින් ඒවාට අනුකූලව උන්වහන්සේලාට කීකරුව කටයුතු කළ නිසාම සාර්ථක ගමනක් යාමට හැකියාව ලැබුණ බව ගෞරව සම්ප්‍රයුක්තව මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

ඔබ වහන්සේ ශාස්ත්‍රීය ලෝකයට දායාද කරන්නට යෙදුන ග්‍රන්ථ මොනවාද? නායක හාමුදුරුවනේ

ශාසන ප්‍රතිසංවිධානයට යෝජනා, සැපවත්වීමේ මඟ, පිරිවෙන් අධ්‍යාපනය හෙවත් සම්භාව්‍ය දේශීය අධ්‍යාපනය, කොළොන්නා කෝරළේ ඉතිහාසය, මඩුවන්වෙල වලව්ව හා ලංකාවේ කළුකුමාරයා, සාමණේර බණ දහම් වත, දැහැමි පාලනයේ පිය සටහන්, අපූරු ඇතා සහ තවත් කතා, දිවිමඟට පහනක් යටතේ 1. සීලය මිනිසා උසස් බවට පමුණුවයි , 2. සක්දෙවිඳුටත් වැරදුණු අනාවැකිය, 3 පුදුම ඉදිකටුව, 4. සත්හැවිරිදි පුතකු ගෙන් පාඩමක් , 5 සැපය තිබෙන්නේ සම්පත්වල නොවේ, 6 කළ උපකාර අමතක කළ උගතෙක් , 7 බොන්න බොන්න මෙන්න සුරා, 8 මී අඹ පොකුරේ පණු අඹයක්, 9 දෙගුරුන්ගේ අගය, 10 බත්හැළියට රණ්ඩුවක් ,11 හිත ගිය තැන මාලිගාව, ජීවක චරිතය, සත් හැවිරිදි වියේදී උපසම්පදාව ලැබූ සෝපාක රහතන් වහන්සේ හා සාමණේර ප්‍රශ්න, නිරවුල් දිවිමගට පිවිසුම, ලක් බුදුසසුන හා ස්‍යාම නිකායික සංඝ පරම්පරාව සබරගමු වේ ව්‍යාප්තවීම, සදහම් සිසිල, මජ්ක්‍ධිම පටිපදා, රාහුල රහතන් වහන්සේගේ චරිතාපදානය හා සංසාර විමුක්තිය, බ්‍රහ්මයානය ආදී ග්‍රන්ථත් හෙරණසිඛ හා හෙරණසිඛ විනිය, රසවාහිනි (පාලි) මහියංගණ ජනශ්‍රැති ආදීය සංස්කරණයන් වශයෙනුත් රචනා කළා.

බහුශ්‍රැත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේ පැවිදි ජීවිතය තුළ ලබා ගත් අත්දැකීම් සම්භාරය අනුව හැදෙන වැඩෙන ස්වාමීන් වහන්සේලාට ලබා දෙන්නේ මොනවගේ අනුශාසනාවක් ද?

භික්ෂු ජීවිතයක් ගතකරනවා නම්, ශාසන චර්යාවට අනුකූලව පැවිදි ජීවිතය ගත කළ යුතු බවට මම සැමවිටම උන්වහන්සේලාට අනුශාසනා කරනවා.බණ පොත් පරිශීලනය කළ හැකි ආකාරයට නිවැරැදිව අක්ෂර වින්‍යාසය ඉගෙන ගනිමින් ශාසනික වත් පිළිවෙත් නිවැරැදිව පුරුදු පුහුණු වීම අවශ්‍ය යි. ඇතැම් ධර්ම දේශනාවල නිවැරැදිව වචන ශබ්ද වන්නේ නැහැ. එවැනි අවස්ථාවල ධර්මයේ අර්ථය වෙනස්වෙන්න පුළුවන්. ධර්මයෙහි අර්ථය වෙනස්වීම ධර්මයට වගේම ශාසනයටත් හානියක්. එම නිසා අක්ෂර වින්‍යාසය නිවැරැදිව උච්ඡාරණයට ඉගෙන ගනිමින්. බ්‍රහ්ම චර්යාව වත පිළිවෙත පුරුදු පුහුණු වෙමින් ශාසනමාමක ව කටයුතු කිරීම ශාසනයේ පැවැත්මට ඉතාම අවශ්‍යයයි. එමෙන්ම කාලය නිකරුණේ ගතනොකර හැම විටම අර්ථවත්ව කාලය ගත කිරීමට වගබලා ගත යුතුයි.

නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]