[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික මිහින්තලා පුදබිමේ නව ප්‍රතිසංස්කරණ ඇරැඹේ

ඓතිහාසික මිහින්තලා පුදබිමේ නව ප්‍රතිසංස්කරණ ඇරැඹේ

ශ්‍රි ලංකාද්විපය තුළ, කලාව,ශිෂ්ටාචාරය,වාරිනිර්මාණ, ගෘහනිර්මාණ,භාෂාව,සාහිත්‍ය,සිරිත් විරිත් ඇතුළු සෑම අංශයකින්ම දියුණු ජනතාවක් බිහිවන්නේ ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍රකර ගෙනය.අනුබුදු මිහිදු මාහිමියන් ඇතුළු පිරිස මෙරටට වැඩම කරමින් ඇදහිලි හා විශ්වාසයන් මත පදනම් ව ජිවත්වු ජන සමාජය නව මඟකට යොමු කරමින් බුදු දහම මෙරට ව්‍යාප්ත කරවූහ.මේ උතුම් ‍ඓතිහාසික පුණ්‍ය භුමිය දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ වන්දනා මානයට පාත්‍ර වන්නේ ද එහෙයිනි.


ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

වර්තමානය වනවිට වසර ගණනකට පසුව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන පුද බිමේ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදු වෙමින් පවතී.බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලද අනු බුදු මිහිදු මාහිමියන් වැඩම කරවමින් බුදු දහම රට පුරා ව්‍යාප්ත කළ මේ උතුම් පින්බිමෙහි සංවර්ධන කටයුතු සදහා දායකත්වය දැක්විමට කෘතගුණ දන්නා ජාතියක් ලෙස සියලු දෙනාට අවස්ථාව උදාවී තිබේ.

ඓතිහාසික මිහින්තලා රාජ මහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්විමෙන් මේ වනවිට ආරම්භ කර තිබේ.මේ සදහා යුද හමුදාව ,නාවික හමුදාව,ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ශ්‍රමදායකත්වය ලබා දෙයි.

‘’ඒ අනුව මේ වනවිට මිහින්තලා පුදබිමේ මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.ඒසේම මිහින්තලා මහා සෑය හා සේල චෛත්‍යයෙහි සුදු පිරියම් කිරිමේ කටයුතු සිදු කළ යුතුව තිබේ.තවද මිහින්තලා පුදබිමේ උඩ මලුවේ දෙමහල් දාන ශාලාවක් ද ඉදි කෙරෙමින් පවතී.

මිහිදු මාහිමියන් වැඩම කළ මිහින්තලා ආරාධනා ගල වන්දනා කිරිමට ජනතාව ගමන් කරන පියගැට පෙළෙහි ඉදි කර ඇති ආධාරක වැට, ‍මහා සෑය වන්දනා කිරිමට ගමන් ගන්නා පියගැට පෙළෙහි ආධාරක වැට,බුදු පිළිම වහන්සේ වැඳපුදා ගැනීමට ගමන් ගන්නා පියගැට පෙළෙහි ආධාරක වැට අබලන්ව ඇති හෙයින් ඒවා යළි නවීකරණය කර ඉදි කළ යුතුව ඇත.එසේම ධාතු මන්දිරය,භාවනා කුටි,පියගැට පෙළ ඇතුළු ඓතිහාසික ස්ථාන රැසක් සංවර්ධනය කළ යුතුව තිබේ.ඒ අනුව මේ සඳහා අවශ්‍ය දායකත්ව ලබා දෙන මෙන් ඓතිහාසික මිහින්තලා රාජ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය

වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සැදැහැති ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ජාතික උරුමයක් වන මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීම විශේෂයෙන් පෞද්ගලික අපේක්ෂාවක් නොව තුන් කාලයටම මේ පුණ්‍ය භූමිය සුරක්ෂිත කර පෝෂණය කිරීමටත්, රැක ගැනීමටත් කරන උත්සාහයක් බවද උන්වහන්සේ පවසා සිටිති.’’

‘’චෛත්‍ය,ආරාම,ලොව පැරණිතම රෝහල, දාන ශාලා,කළු දිය පොකුණ ආදී විශේෂ වාස්තුවිද්‍යාත්මක ස්මාරක රැසක නටබුන් අපට වර්තමානය වනවිට මිහින්තලා පුදබිමෙහි දැක ගැනීමට හැකි ය. මේ ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද වටිනා පුරාවස්තු රාශියක් මිහින්තලේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙම උතුම් ස්ථාන සංරක්ෂණය කරමින් යළි ගොඩ නංවමින් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරිමට කාලය උදාවි තිබේ.’’


සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ආයතනික කටයුතු) චන්දන බණ්ඩාර මහතා ඇතුළු පිරිස ප්‍රතිසංස්කරණ කටයුතු ගැන සාකච්ඡා කරමින්.

මිහින්තලා පුදබිමේ සේල චෛත්‍යය පිහිටි ස්ථානය මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුන ස්ථානය හා බුදුරජාණන් වහන්සේ තුන්වැනි වර මෙහි වැඩම කළ අවස්ථාවේ පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ මද වේලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයේ ඉදිකර ඇතැයි සැලකේ. මහාදාඨික මහානාග රජු විසින් පළමුවන සියවසේ මෙම සේල චෛත්‍ය කරවන ලදැයි සැලකෙන අතර දෙවන සියවසේ දී කනිට්ඨතිස්ස රජතුමා වටදා ගෙය කරවූ බවටත් පසු කාලයන්හි දී තවත් රජවරු එය ප්‍රතිසංස්කරණය කළ බවටත් සඳහන්වේ. මෙහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටුවා ඇත.

මිහින්තලා පුදබිමේ ඇති විශාලතම දාගැබ මහා සෑයයි. මහදාඨික මහානාග රජතුමා විසින් මහා සෑය කරවා ඇත.

මෙම පුදබිමෙහි ඇති අනෙක් සුවිශේෂි චෛත්‍යය වන්නේ මිහිදු සෑයයි.මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උත්තිය රජු විසින් ක්‍රිස්තු පුර්ව දෙවන සියවසේ මෙය ඉදිකර ඇතැයි සැලකේ.ඓතිහාසික මිහින්තලා පුද බිමෙහි මිහිඳු සෑය ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේ ය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය මත මෙම මිහිඳු සෑය ප්‍රතිසංස්කරණය කොට එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී බැතිමතුන්ගේ වන්දනාමාන සඳහා නිරාවරණය කිරීමට නියමිත ය.

රාජ්‍ය පොසොන් උත්සවය මෙවරද මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්විමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පුජා පුණ්‍ය මහෝත්සවය මෙවර පැවැත්වේ. ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතීඥ ඩබ්ලිව්.දයාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම ආලෝක පුජා පුණ්‍ය මහෝත්සවය සිදු කෙරේ.

මිහින්තලා පුද බිමෙහි සිදු කෙරෙන සංවර්ධන කටයුතු හා රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමිව සිදු කෙරෙන ලේක්හවුස් ආලෝක පුජෝත්සවයේ කටයුතු පිළිබදව සොයා බැලිම සදහා පසුගියදා (19)සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතාගේ උපදෙස් මත ලේක්හවුස් ආයතනයේ නිලධාරින් පිරිසක් මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි බැහැදකිමින් සාකච්චා කළේ ය.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි දායකත්වය ද ඇතිව සිදු කරන පොසොන් උත්සවයට පෙර පුදබිමෙහි ප්‍රතිසංස්කරණය කළ යුතු ස්ථාන පිළිබඳවත්,විදුලි අලෝකකරණය, සැරසිලි කටයුතු ආදී කරුණු පිළිබඳවත් මෙහිදි විශේෂ අවධානයක් යොමු කෙරිණ.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ(ලේක්හවුස්) නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි(ආයතනික කටයුතු)චන්දන බණ්ඩාර, කළමණාකාර(පරිපාලන මෙහෙයුම්)ගයාන් බංඩාර, කළමණාකාර(පහසුකම්)අර්ජුන සිරිවංශ, සහකාර කළමණාකාර (සුබසාධක)සමින්ද විජේතුංග යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  මැදින් අව අටවක 

අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]