[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක 2021.04.04

සැපය ලැබිය යුතු මඟ

සිතේ හටගන්නා වූ කුසලාදී ධර්මයන්ට සිත ම මුල් වේ. එම ධර්මයන් සිත ම පෙරටු කොට පවතී. ශ්‍රේෂ්ඨ කොට පවතී. සිතින් ම උපදී. යම් කෙනෙක් යහපත් සිතින් යමක් කියයි නම්, කරයි නම් සිරුර හැර නො යන සෙවණැල්ල සේ සැපය ඔහු පසුපස ලුහුබඳී. මේ බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය, ධම්මපදයෙහි එන සදූපදේශයකි. ජීවිතයේ සැප බලාපොරොත්තුවීම, දුක ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය මිනිස් ස්වභාවය යි. උදේ පටන් රෑ වනතුරුත්, ඇතැම්විට නින්දේත් බොහෝ දෙනෙක් සිහින දකින්නේ සැප ලබන්නට ය. සම්බුදු දහම සැප ළඟා කරගන්නා පහසුම මඟ අපට දේශනා කොට ඇත.

එහෙත් සමාජ සංසිද්ධීන් අනුව ඇතැම් පිරිස් සැප ලුහු බඳින්නේ වැරැදි මඟ යමිනි. තමන්ගේ සැප බලාපොරොත්තුවෙන් අනුන්ට කවර අනර්ථයක් වුවද බොහෝ දෙනකුට කම් නැත. තාවකාලික ව ඉතා සුළු කලකට ඒ මඟ තුළ සැප ලැබුව ද කළ කම්වල පල වරදින්නේ නැතිවම ඔවුන් පසුපස ලුහුබැඳ ඒම ද වැළැක්විය නොහැකි ය. අද සමාජයේ ඇස ගැටෙන ඇතැම් චරිත මේ ධර්මතාව ගැන කිසිදු සැලකිල්ලක් ඇති බව පෙනෙන්නට නැත. විවිධාකාර ගැටුම්, ප්‍රශ්න එහි ප්‍රතිඵල ය.

ලෝබ, ද්වේෂ, මෝහා දී අකුසල සිතිවිලිවලින් පිරුණු සිතින් කටයුතු කිරීම ය, මේ අකටයුතුකම්වලට මුල්වන්නේ. සම්බුදු දහම මනසට මුල්තැන දුන් ධර්මයකි. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ‘පසන්නේන මනසා’ ලෝබ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන්ගෙන් මිදුණු මනසින් කරන කටයුතු ජීවිතයට යහපත උදාකර දෙන බවය . බෞද්ධයන් ලෙස අප උත්සාහ කළ යුතු අපගේ මනස ඒ තැනට ගෙන එන්නට ය. ඒ සඳහා කළයුතු වැදගත්ම දෙය මනස පිළිබඳ අවදියෙන් සිටීම ය. මනස පාලනය කර ගැනීම ය. එය බොහෝ දෙනකුට අසීරු විය හැකිය. ඒ අනාදිමත් කලෙක සිට ලැබෙන විවිධාකාර අත්දැකීම් වලින් මනස ව්‍යාකූල වී ඇති නිසා ය. එහෙත් උත්සාහවන්තයාට ලැබිය නොහැකි ජයග්‍රහණයක් නැත. කැලෑවේ වෙසෙන අලියාත් හීලෑ අලියාත් අතර මහා වෙනසක් තිබේ. එහෙත් කැලෑවේ වෙසෙන අලියකු හීලෑ කිරීම පහසු කටයුත්තක් නොවේ.

සංසාරයේ බොහෝ දුර ගෙවා ආ ගමනේ විවිධ අත්දැකීම්වලින් සංකීර්ණ වූ මනස පාලනය කිරීමද ඒ සා අසීරු කටයුත්තෙකි. කැලෑ අලියකු පියවරෙන් පියවර හී ලෑ කරන්නා සේ මනස සංවර කර ගැනීමට ක්‍රියා කළ යුතුව තිබේ. සංවර සිත තුළ ක්‍රමයෙන් ලෝබය පහව යයි. රාගී බවින් දූෂිතවෙමින් පැවති සිත ක්‍රමයෙන් විරාගී වෙයි. ද්වේෂයෙන් දැමුණු සිත අද්වේෂයෙන් සිහිලැල් වෙයි. ක්‍රම ක්‍රමයෙන් පිරිසුදු වන සිත තුළ මෝහය පහව යයි. මුළාව දුරුවෙයි. ධර්මය දකින්නට, අවබෝධ කරගන්නට නුවණැස පහළ වෙයි. එකල් හි ජීවිතයේ යතාර්ථය තේරුම් නො ගෙන සැප ළඟා කරගන්නට සිතා කරනු ලබන බොහෝ අයහපත් කටයුතුවලින් මිදී යහපතම දකින්නට පුළුවන.

එම තත්ත්වය පහසුවෙන් ළඟාකර ගත නොහැකි විය හැකිය. එහෙත් නිරන්තර පුරුදු පුහුණු කිරීම තුළ මනස ජයගත හැකිවනු ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කෙනකුගේ සිත පිවිතුරු කිරීම තවත් කෙනකුට කළ නොහැකි බව ය. එහෙත් ඒ සඳහා මාර්ගය උන්වහන්සේ පෙන්වා දෙන බව ය. ජීවිතයේ සැබෑ සැප බලාපොරොත්තු වනවා නම්, අප කළ යුතු ඒ මඟ යාම ය. වෙසෙසින් කාලීනව මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

  මැදින් අව අටවක 

අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]