[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර

සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

අවිද්‍යාව නැති කිරීම

ඡන්දයත්, ලෝභයත්, අවිද්‍යාවත් සම්පූර්ණයෙන් ම නැති කරන්නා වූ , මාර්ග විද්‍යාව උපදවන්නා වූ භික්ෂූන් වහන්සේ සියලුම නරක ගතිවලින් දුරු වේ. අවිද්‍යාව නැති කර ගැනීමට ඇති එක්තරා ක්‍රියා මාර්ගයක් නම් නිදි වර්ජිත වීමයි. ඉතිවුත්තක පාලියෙහි සඳහන් වන ජාගරිය සූත්‍රයෙහි ඊට අනුබද්ධ කරුණු සඳහන් වේ. නිදි වර්ජිතයන් සිත එකඟ කරගෙන, භාවනා කොට, සම්‍යක් නුවණින් ප්‍රමුදිත ව, විප්‍රසන්න ව බුදු දහම ගැන විමර්ශනය කළ යුතු ය. නිදි වර්ජිතයන් බුදු දහම අනුව සිතන කල්හි, කෙලෙස් නිවන වීර්යයෙන් යුක්ත නුවණ උද්ගත වේ. එකල් හි සංයෝජනයන්ගෙන් මිදී ධ්‍යාන ලාභී ව සම්‍යක් සම්බෝධිය ස්පර්ශ කරන්නේ ය.

 

 

****

පිරිවෙන් අධ්‍යාපනය සඳහා සති පුහුණුව

මේ වෙන විට පැමිණ ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් ඇති කිරීමට පිරිවෙන් අධ්‍යාපන බලධාරීන් පෙළඹී ඇති අවස්ථාවක්. මීට සමගාමී ව බුදුසරණ පුවත් පතේ පිරිවෙන් පිටුවක් හඳුන්වාදී ඇත.

මීතිරිගල නිස්සරණ වනය පැත්තෙන්, වසර 4ක පමණ කාලයක් මුළුල්ලේ පිරිවෙන් ශිෂ්‍යයන්ට, පිරිවෙන් ගුරුවරුන්ට සහ පිරිවෙන් අධ්‍යක්ෂකවරුන්ට සතිමත් බව ගැන පුහුණුව ලබාදීම පිළිබඳව ඉදිරිපත් වී කටයුතු කිරීමෙන් ලබාගත් අත්දැකීම් සම්භාරයක් අප සතුව ඇත. අප මේ කටයුත්ත පළමුවෙන්ම පටන් ගත්තේ එවකට සිටි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සදාචාර සහ ආගමික අංශයේ අධ්‍යක්ෂතුමාගේ අනුග්‍රහය යටතේ යි.

මෙම අවස්ථාවට එවකට සිටි පිරිවෙන් අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය සහ අනුග්‍රහය ලැබුණි. මීටම තිරිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වී, දිවයිනේ සියලු අධ්‍යාපන කලාපවල අධ්‍යක්ෂකවරුන්ට පැය තුනක වැඩසටහනක් පැවැත්වූ අතර, එය ඉතා සාර්ථක වැඩසටහනක් විය.

පසුව මාරඹ චන්දවිමල ස්වාමීන් වහන්සේ පිරිවෙන් ක්ෂේත්‍රයේ භාවනා විෂයේ සහකාර අධ්‍යක්ෂක ලෙස පත් වීමෙන් පසු උන්වහන්සේගේ දැඩි උනන්දුව මත පිරිවෙන් කීපයක ශිෂ්‍යයන් සහ ගුරුවරුන් සඳහා අපි වැඩසටහන් පැවැත්වීමු. ඒ වගේම ගුරු උපදේශක සහ පිරිවෙන් අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේලා සඳහා ද වැඩසටහන් කීපයක් පැවැත්වීමට අපට හැකි විය.

මෑතකදී අවසන් කළ වැඩසටහනට අපේ වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේත් දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේත් වැඩම කිරීම අපට ලොකු ශක්තියක් වුණා. අප ඒ වෙලාවේ නිස්සරණ වනය පැත්තෙනුත් පොරොන්දුවක් දුන්නා, සාමාන්‍ය ගිහි භාවනා වැඩමුළු වෙනුවට ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා සහ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වැඩසටහන් සඳහා ප්‍රමුඛතාව දීමට ලබන වසර සඳහාත් මේ වෙන විට සැලසුම් (පිරිවෙන් ලිත්) සකස් කරමින් යනවා. ඉතින් එතනදී නිස්සරණ වනය වගේ අරණ්‍ය පරිසරයක නේවාසිකව සතිය පුහුණු කිරීමේදී සැබෑ ජීවිත පරිවර්තනයක් වන බව සම්බන්ධ වුණු ස්වාමීන් වහන්සේ අත්දැක ඇත. ඉතින් මේ වෙලාවේ පිරිවෙන් අධ්‍යාපනයේ වැඩි දියුණුව සඳහා නව සංශෝධන ඉදිරිපත් වෙන විට, අප ළඟ පළපුරුද්ද තියෙනවා. ඒ පළපුරුද්දට අනුව ඉදිරියටත් වැඩසටහන් කරනකොට අප බලාපොරොත්තු වෙනවා ලංකාවේ තිබෙන සෑම පිරිවෙනකම ගුරුභවතුන් ගෙන්වා සති පුහුණුව ලබා දීමට. මෑතකදී සිදු වූ සාකච්ඡාවලට අනුව, අලුත පත් වීම් ලබන ගිහි පැවිදි පිරිවෙන් ගුරුවරුන්ට පුහුණුවක් ලබාදීම වගේම දිස්ත්‍රික්ක මට්ටමෙන් පුහුණුව ලබාදීමත් සලකා බලමු. ඒ වගේම, හැකි නම් ප්‍රාචීන පණ්ඩිත විභාගවලට ඇති විෂයවලින් එකක් සම්පූර්ණයෙන්ම විපස්සනා භාවනාව සඳහා යොමු කර, ඒ අනුව ‘භාවනා වැඩමුළු මෙපමණ ප්‍රමාණයක් කළොත් අවසන් විභාගයට මෙපමණ ලකුණු ලැබෙනවා’ කියා මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේම පිරිවෙන් ශිෂ්‍යයන් අතර භාවනාව ප්‍රචලිත කිරීමටත් එයට අවශ්‍ය ගුරුවරුන් වඩ වඩාත් නේවාසික භාවනාව හරහා සුදුස්සන් බවට පත් කිරීමටත් පිරිවෙන් ක්‍ෂේත්‍රයේ දැනට උසස් නිලතල දරන ස්වාමීන් වහන්සේලා ඒකමතිකව තීරණය කර තියෙනවා. ඒ වගේම රජයෙනුත් “දහම් පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල” සඳහා විෂය භාර රාජ්‍ය ඇමැතිවරයෙක් පත් කර තියෙනවා.

බුදුසරණ පත්‍රයේ පිරිවෙන් පිටුව ප්‍රයෝජනයට ගෙන අපි මෙතුවක් ලැබූ අත්දැකීම් දිගින් දිගටම ඉදිරිපත් කිරීමටත් ඉදිරියට කරන්න ඇති වැඩසටහන් පිළිබදව දැනුවත් කිරීමටත් බලාපොරොත්තු වෙමු. සියලු බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ ලිපිය මාර්ගයෙන් අපි කරුණු තුනක් සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙමු.

1. ඒ සඳහා දැනටමත් සහයෝගය දක්වන, පිරිවෙන් ක්ෂේත්‍රයෙහි සිටින, වගකීම් දරන ඒ ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය මේ සතිපට්ඨාන භාවනා පුහුණුව සඳහා ලැබෙන බව බුදුසරණ පාඨකයන්ට කියාපෑම.

2. ඒ සඳහා සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වන පැවිදි ශිෂ්‍යයන් භාවනා පුහුණු නිලධාරීන් ලවා පුහුණු කරවා, ඒ අනුව විභාගයේ විෂයයක් බවට පත් කර ලකුණු ලබා දීම හරහා උනන්දුවක් ඇති කරවීම.

3. අප දීර්ඝ කාලයක් සතිපට්ඨාන භාවනාව සම්බන්ධව කටයුතු කර ලබාගත් යහ ප්‍රතිඵල තුළින් ඇති වූ විශ්වාසය මතින් පාඨකයා අතරට සති පණිවුඩය ලබාදීම.

ඒ අනුව ඉදිරියේ දී මෙවන් ලිපි කිහිපයක් පළ කරන්න බලාපොරොත්තු වෙමු. අපි ළඟ ඇති තොරතුරු පාඨකයන් හට බෙදා දීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දීම ගැන පිරිවෙන් ක්ෂේත්‍රයේ සිටින ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් ලද ආශීර්වාදයටත්, බුදුසරණ පත්‍රයටත් ස්තූතිවන්ත වෙමු. ඒ වගේම සමස්ත පිරිවෙන්වලම සිටින ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වයටම සතිය උගැන්වීම, ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කොඳු ඇට පෙළට ලොකු ශක්තියක් වන බව අප දන්නා නිසා ඉදිරියේදී මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහිම වෙනසක් ඇති කිරීමට මේ හරහා බලාපොරොත්තු වන බව සතුටින් ප්‍රකාශ කරන්න කැමති යි.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]