[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජනීය භික්ෂූත්වයට උරුම වූ වන්දනීය ගුණධර්ම

මෙවර උදාර දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමිපාණන් වහන්සේ ය.

පූජනීය භික්ෂූත්වයට උරුම වූ වන්දනීය ගුණධර්ම

අපේ හාමුදුරුවනේ, විද්‍යෝදය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අවධිය තුළ ඔබවහන්සේ ලබාගත් අද්දැකීම් පැහැදිලි කරනවා නම්,

මම විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ 1970 වර්ෂයේ දී . ඒ අවධිය වන විට දේශපාලන වශයෙන් ඉතාමත් භයානක පරිසරයක් නිර්මාණය වෙලා තිබූ කාලයක්. මම ලබාගත් අද්දැකීම් අනුව, විශ්වවිද්‍යාලය තුළ සිදුකරන දේශපාලනය සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බවට ප්‍රකාශ කරන්න කැමතියි. ඒ තුළින් ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල බාධාවක් ඇති වෙනවා. උපාධිය ලබා ගත්තත් ඒ ඒ විෂයයන් පිළිබඳ ව ඔවුන් තුළ පුළුල් හා ගැඹුරු දැනුමක් නැතිවීමට එයත් එක් හේතුවක්. ලෝකයේ කීර්තිමත් විශිෂ්ට විශ්ව විද්‍යාල තුළ ක්‍රියාකාරි දේශපාලනයට අවස්ථාව ලබා දී නැහැ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ 1970 - 1974 වර්ෂය තුළදී ශිෂ්‍ය සංවිධාන සම්බන්ධ කරගනිමින් සුබ සාධන කටයුතු වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් කටයුතු කළා. මගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කළ “විද්‍යෝදය විශ්ව විද්‍යාල බෞද්ධ සහෝදර සංගමය” වර්තමානය වන විට කීර්තිමත් ආයතනයක් බවට පත්වෙලා තිබෙනවා.

ඒ වගේම භික්ෂූන් වහන්සේලාගේ විනයානුකූල බවත්, හික්මීමත් ආරක්ෂා කර ගැනීමේ අරමුණ පෙරදැරිව “විද්‍යෝදය භික්ෂු සංවිධානය” ආරම්භ කරමින් එය “අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු සංවිධානයක්” දක්වා දියුණු කිරීමට කටයුතු කිරීමෙන් භික්ෂුන් වහන්සේලා ගේ ප්‍රතිරූපය සාර්ථකව පවත්වාගෙන යාමට හැකි වුණා.

ලේඛක සංගමය, ඉතිහාස සංගමය, පුරාවිද්‍යා සංගමය, බෞද්ධ සහෝදර සංගමය ආදී සංවිධාන එකොළහක ක්‍රියාකාරීව කටයුතු කළා. මහා ශිෂ්‍ය සංගමය තුළ ක්‍රියාකාරීව කටයුතු කළ අවධියේදීත්, ජාතික ශිෂ්‍ය සංවිධානය තුළින් සම්පූර්ණයෙන්ම නවක වදය නතරකිරීමට කටයුතු කළා. විශ්ව විද්‍යාල විවාද කණ්ඩායමේ උපනායකත්වය දරමින් විශාල සේවයක් ඉෂ්ට කළා සේ ම අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයත් “අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංවිධානයත් බිහි කිරීමට කටයුතු කළා.

ලෝකයේ ඉහළම බෞද්ධ කොඩිය වශයෙන් සැලකෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාව තුළ නිර්මාණය කර ඇති බෞද්ධ කොඩිය අවලංගු කිරීමට කටයුතු කිරීමේදී එය ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාට රජයේ පත්වීම් ලබා නොදීමට ගත් කැබිනට් තීන්දුව රජය සමඟ සුහදශීලිව සාකච්ඡා මාර්ගයෙන් වෙනස් කරමින් ධර්ම අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබාගැනීමට හැකියාව ලැබුණා. විශ්ව විද්‍යාල අවධිය ඉතාමත් දීප්තිමත් , කීර්තිමත් , උද්‍යෝගිමත් කාලයක් වූ බව සිහිපත් කළ යුතුයි. ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තා සේ ම ධර්මානුකූලව යහපතෙහි හැසිරීමේ ප්‍රතිඵලයත් ලබාගත් බව ප්‍රකාශ කළ යුතුයි.

ජාත්‍යන්තර , ආගමික සේවාවන් නියෝජනය කිරීමට ඔබ වහන්සේ කටයුතු කරනු ලැබුවේ කෙසේ ද?

1981 වර්ෂයේදී මා ජාත්‍යන්තර කටයුතු සඳහා යොමු වුණා. ඒ අවස්ථාව වන විට මඩිහේ ප්‍රඤ්ඤාසීහ හිමිපාණන් වහන්සේ යටතේ ගුරුවරයෙකු වශයෙන් මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සේවය කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ලැබුණු රාජකීය තායි ශිෂ්‍යත්වය යටතේ අසූව අග භාගය වන විට තායිලන්තයට වැඩම කළා. පසුකාලීන ව ලෝක බෞද්ධ සම්මේලනයට සම්බන්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිංගප්පූරුව, මලයාසියාව යන රටවල ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරතවීමේ අවස්ථාව උදා වුණා. 1990 වර්ෂය තුළ සිංගප්පූරුවේ පිහිටවනු ලැබූ බෝධි රාජ බෞද්ධ සමිතියත් 2017 වර්ෂයේදී මලයාසියාවේ ක්වංතං බෝධි රාජ බෞද්ධ සමිතියත් යටතේ ජාත්‍යන්තර වශයෙන් සුවිශාල ආගමික කාර්යභාරයක් ඉෂ්ට කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබුණු ආරාධනාවකට අනුව පාරිසරික උපදේශකවරයකු වශයෙන් කටයුතු කිරීමේ දී බුදුදහම උපයෝගී කරගනිමින් පාරිසරික හානිය අවම කරගැනීමට දියත් කළ වැඩපිළිවෙළ විශාල වශයෙන් සාර්ථක වුණා. කාම්බෝජ පැවිදි ශිෂ්‍ය සංගමය රුපියල් කෝටි විස්සකට අධික මුදලක් වියදම් කරමින් ආරම්භ කළ කඩුවෙල ඉහළ බෝමිරිය කාම්බෝජ ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානය තුළින් විශාල සේවාවක් සිදු වන බව ප්‍රකාශ කළ යුතුයි. එය හරහා කාම්බෝජ ජාතිකයන් ශ්‍රී ලංකාවේ වන්දනා කටයුතු සඳහා විශාල වශයෙන් සහභාගි වෙනවා. 2019 වර්ෂයේදී ලංකා ඉතිහාසයෙහි දස දහසකට වැඩි ගිහි පැවිදි විදේශීය බෞද්ධ දූත පිරිසක් සහභාගි වුණ බෞද්ධ උත්සවය පවත්වණු ලැබුවේ මෙම ආගමික මධ්‍යස්ථානය තුළ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ජර්මනිය , අමෙරිකාව ආදී රටවල් ඇතුලුව ලෝකය තුළ බුදුදහම ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විශාල ධර්ම දූත මෙහෙවරක් මේ වන විටත් සිදුකරනු ලබන්නේ කාම්බෝජය සම්බන්ධ කරගෙනයි. තායිවානය සමඟ පැවැති ආගමික සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් එවකට ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් වැඩම කිරීමෙන් දෙරට තුළ පැවැති මිත්‍රත්වය වඩාත් තීව්‍ර කිරීමට හේතූ වූ බව ප්‍රකාශ කළ යුතුයි.

කීර්තිමත් භීක්ෂූන් වහන්සේ නමක් වශයෙන් ජාතික, ආගමික ප්‍රශ්න වලදී නිර්භීත නායකත්වයක් සැපයීමට පන්නරය ලබාගත්තේ කුමන ආකාරයෙන් ද ?

බුදුරජාණන් වහන්සේ වක්කලී සූත්‍රය තුළ දේශනා කරනු ලැබුවේ යමෙකු බුදුරජාණන් වහන්සේ දැකීමට කැමති නම් ධර්මය දෙස බැලිය යුතු බවයි. බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට අපි කවුරුන්ද යන්න තේරුම් ගැනීමට හොඳම ක්‍රමය ධර්මය තේරුම් ගැනීමයි.

අපි කරන කාර්යයන් මුල්කරගෙන ලෝකයට වටිනාකමක් එක්කළ පිරිසක් බවට පත්විය හැකියි. යම් කීර්තියක් ,ගෞරවයක් ලබනවා නම් එයට හේතුව අප විසින් සිදුකළ සේවාවන් සෑම රටකම පැතිරී පැවතීමයි. අධ්‍යාපනය, සංස්කෘතිය, සෞඛ්‍ය, ආර්ථිකය, සදාචාරය , පාරිසරික සංවර්ධනය, සත්ව සුබ සාධනය ආදී සෑම ආකාරයකම විෂය ක්ෂේත්‍රයක් ආවරණය වන පරිදි බෝධි රාජ පදනම යටතේ සේවා ආයතන 31 ක් පවත්වාගෙන යනු ලබනවා. ලෝකයට ධර්ම පණිවිඩය රැගෙන යාම සඳහා ධර්මායතනය මගින් දේශීය හා විදේශීය වශයෙන් ආයතන 20 ක් පවත්වාගෙන යනවා. යම් මහජන විශ්වාසයක් , ගෞරවයක් හා කීර්තියක් ලැබී තිබෙනවා නම්, එය අධ්‍යාපන සුදුසුකම් මත හෝ වෙනත් ගතිසිරිත් මත සිදුවූ වක් නොවන බවත්, එය ආගමික . සාමාජික සේවාවන් නිසාම සිදුවූ වක් බවත් සිහිපත් කළ යුතුයි.

අපේ හාමුදුරුවනේ, විවිධ අභියෝග හමුවේ නූතන භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරිත්වය කෙසේ සකස් විය යුතු ද ?

නූතන භික්ෂූන් වහන්සේලා උපැවිදි වීම සම්පූර්ණයෙන් ම නැවතීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේලාට අප ආරාධනා කර සිටිනවා, සිවුර තුළ රැඳී සිටිමින් ඔබ වහන්සේලාට ලෝකය තුළ කළ හැකි ඉහළම ශාසනික ආගමික සාමාජික සේවාව කළ හැකි බවමනුෂ්‍යයකු වශයෙන් මේ ලෝකය තුළ උප්පත්තිය ලැබූ අපි මිනිස් වර්ගයාටත්, සත්ව වර්ගයාටත්, සමස්ත පරිසරයටත් යම් සේවාවක් සිදුකරමින් කෙටි ජීවිත කාලය අවසන් කිරීම අපේ යුතුකමයි. තමාගේ ජීවිත කාලය තුළ අන්‍යයා වෙනුවෙන් කෙතරම් සේවයක් සිදුකළාද යන්න සිතමින් සතුටු කඳුලක් හෙලීමට නම් පැවිදි ජීවිතය තුළ සිටිමින්ම කටයුතු කළ යුතුයි. අවංකව ශාසනික හැඟීමෙන් ධර්මයට කැපවුණු යම් භික්ෂූන් වහන්සේ නමක් කිසියම් ප්‍රදේශයක වැඩසිටිනවා ද උන්වහන්සේ කවර කලකවත් තනිවන්නේ නැහැ. උන්වහන්සේට සමාජ නායකත්වය හිමිවන්නේ සුවඳ මලකට එක්රොක් වන බඹර ගොමුවක් සේ ගුණයෙන්, සුවඳින් කටයුතු කිරීම තුළයි.

යම් කෙනෙක් ජනතාවගේ යහපත පිණිස කටයුතු කරනවා නම්, බැණුම් ඇසීමට සිදුවෙනවාමයි. යමෙක් සාර්ථකව වැඩක් කරනවා නම්, ඔහු බැණුම් ඉවසාගෙනම ඉදිරියට යා යුතුයි. බැණුම් නොඅසමින් කවුරුන් හෝ වැඩකිරීමට සිතනවා නම් කවදාවත් ඔහුට වැඩක් කිරීමට සිදුවන්නේ නැහැ. එනිසාම දුසිල්වත් අවිචාරවත් පුද්ගලයන් විවිධ විවේචන එල්ල කළ ද, ඒවා යුද සංග්‍රාමයෙහි යෙදී සිටින ඇතෙකු තමාගේ ශරීරයට එල්ල වන්නා වූ ඊතල ඉවසාගෙන තමාගේ ඉලක්කයට ළඟා වන්නේ යම් සේ ද ඒ හස්ති රාජයා සතු ආත්ම ශක්තිය හා ඉවසීම තරුණ භික්ෂූන් වහන්සේලා තුළ පැවැතිය යුතු බව මගේ විශ්වාසයයි.

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]