[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැරැදි වැටහීම

වැරැදි වැටහීම

මෙම ලිපියෙහි 06 වන කොටස නවම් පුර පසළොස්වක පෝදා (පෙබරවාරි 08) පත්‍රයෙහි පළවිය. අද පළවන්නේ එම ලිපියෙහි අවසන් කොටසයි.

අස්සසිස්සාමීති සික්ඛති, පස්සසිස්සාමීති සික්ඛති, සතොව අස්සසති, සතො පස්සසති යන දහම් පද වෙනස් කොට එම පද හඬනැගෙන ආකාරය අනුව අස්පස් කිරීම යනුවෙන් සංඥා කොට මෙයින් ප්‍රකාශ වන්නේ කෙලෙස් ධර්ම අස්පස් කිරීම යැයි කියති. මෙයට අමතරව තමන් ආර්යයන් යැයි පවසමින් ආර්යයෙකුගේ ධර්මදේශනා කරන කටහඬ කනට හෙවත් සෝතයට පැමිණීමෙන් ශ්‍රාවකයා සෝතාපන්න වේ යැයි කියති.

ඒ සඳහා පද බෙදා (සොත + ආපන්න සොතාපන්න) සාවද්‍ය අර්ථ සපයා තිබේ. මෙය බෞද්ධ ජනතාව තමන් වෙත ගෙන්වා ගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද අදහසකි. ත්‍රිපිටකයෙහි ඇතුළත් පාලි පද පමණක් නොව ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඇති ශිලා ලේඛනවල ඇති වචනවලට ද හිතුමනාපයේ අර්ථ කියමින් බුදුරදුන් ලංකාවෙහි උපන්නේයැයි ද දුර්මත පතුරුවති. කවර භාෂාවක පදයකට වුව ද එම පදය ඇසෙන ආකාරය අනුව අභිමත ඕනෑම අර්ථයක් දීම මොවුන්ගේ ක්‍රමය යි. නිදසුනක් වශයෙන් ඩෙඟා නටන අයට ඩෙන්ගු (එනම් රෝගය) සැදෙන බව කියති. මෙසේ කවර භාෂාවක කවර පදයකට වුව ද තමන්ට හිතෙන ආකාරයට අර්ථ කියමින් විශාල ධර්මකරුණු ප්‍රමාණයක් විකෘති කොට ඇත.

යථෝක්ත පාපී වැඩ පිළිවෙල බුදුසසුනේ පැවැත්මට විශාල හානියක් සිදු කරමින් පවතී. අවිධිමත් අර්ථකථන ක්‍රමයක් සමාජයට හඳුන්වා දෙමින් බෞද්ධ ජනතාව මුළා කරමින් සිදු කරන මෙම වැඩ පිළිවෙල හුදු අනවබෝධයෙන් ක්‍රියාත්මක වන දෙයක් නොව කුමණ්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් බව දක්නට ලැබේ.

මෙම ක්‍රියා කලාපයේ යටි අරමුණ වන්නේ බෞද්ධයන් අන්‍යාගමිකකරණයට ලක් කිරීමයි. ඒ සඳහා මූලික පියවර වශයෙන් පන්සල හා බෞද්ධයා අතර ඇති සම්බන්ධය ඉවත් කරනු ලැබේ. එසේ ම විධිමත්ව ධර්ම පුස්තකයක් කියවා ධර්මඥානය ලබා ගැනීමට ඇති ඉඩ අහුරාලීම සඳහා දහම්පද වෙනස් කිරීම, විකෘති ධර්ම අර්ථ පැවසීම ආදිය සිදු කෙරේ. ඉතා සටකපට ක්‍රමෝපායයන්ගෙන් බෞද්ධයන් තමන් වෙත නතු කරගන්නා අතර ක්‍රමානුකූලව අන්‍යාගමික ග්‍රන්ථවල අඩංගු කරුණු සමග බුදුදහමෙහි එන ධර්ම කරුණු සමාන කරමින් දේශනා පවත්වනු ලැබේ. මෙහි ලා තවත් විශේෂිත කරුණක් කිව යුතු ය. මෙතෙක් කලක් අන්‍යාගම්වල ඇතුළත් කරුණු කීව ද බෞද්ධයෝ ඒවා විචාර බුද්ධියෙන් සලකා බලා පිළිගැනීමට ඉදිරිපත් නො වූහ. ඒ සඳහා මෙම කුමන්ත්‍රණකාරීන් ගෙන යන වැඩ පිළිවෙල අතිශයින් ම වංචනික ය. මෙහි දී අවිධිමත් ව ත්‍රිපිටකයට අර්ථ කථන කී ක්‍රමයට ම අන්‍යාගමික ග්‍රන්ථවල ඇතුළත් කරුණුවලට ද අවිධිමත් ව අර්ථ සපයමින් බුදුදහමෙහි හා අන්‍යාගමික ග්‍රන්ථවල එක ම අර්ථය ඇතැයි බෞද්ධයන් මුළාවට ලක් කෙරේ. ඒ අනුව බයිබලයෙහි දෙවියන් වහන්සේ යනුවෙන් සඳහන් වන පදවලට සිත යනුවෙන් යොදා කියවා ගත් කල ආගම් දෙකේ ම එක ම දේ ඇතැයි පවසනු ලැබේ. මෙසේ බෞද්ධයාගේ අනන්‍යතාව බිඳ ඔහු සර්වාගමිකයෙක් හෝ අන්‍යාගමිකයෙක් බවට පත් කරයි. එසේ ම බුදුදහමේ ලෞකික ජීවිත සාරවත් කරගැනීමට දක්වා තිබෙන දේශනා වැරැදි අර්ථ විවරණ ක්‍රම ඔස්සේ විකෘති කොට ඒවා ද නිවන සඳහා ම දේශනා කොට ඇති බණ යැයි කියති. එසේ ම බුදුරදුන් ලෞකික ජීවිත සාර්ථක කරගැනීමට දහම් නොදෙසා ඇති බවත්, එබඳු කරුණු දේශනා කොට ඇත්තේ ජේසුස් වහන්සේලා වැනි බෝධිසත්වයන් වහන්සේලා යැයි ද පවසමින් ගිහිජීවිත ගෙවන බෞද්ධයන් අන්‍යාගම් කරා යොමු කිරීම ද සීරුවෙන් සිදු කරනු ලැබේ.

බුදුසසුනට වින කරන බුදුසතුරෝ අතීතයෙහි ද සිටියහ. එහෙත් ශාසනමාමක ගිහිපැවිදි උතුමෝ දිවි දෙවැනි කොට බුදු සසුන රැකගත්හ. එබැවින් වර්තමානයෙහි ද තථාගත භාෂිතය විනාශ කොට බෞද්ධයන් වනසා දමමින්, බෞද්ධයන් අන්‍යාගමිකකරණය සඳහා යොමු කරන, බටහිර බලවතුන්ගේ මුදලට ක්‍රියාකරන ගිහි හා පැවිදි වෙස් ගත් අහිරිකයන්ගෙන් ශාසන ධර්මයත්, බෞද්ධයන්වත් රැක ගැනීමට ක්‍රියා කිරීම මහාසංඝරත්නයේත්, ගුණගරුක ගිහි පින්වතුන්ගේත් වගකීමක් වේ.

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]