[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අමාවක 2020.02.23

නැණ පහන් දැල්වීමට යුග මෙහෙවරක්

උපන් රටට, ජාතියට ආඩම්බරයක්, ගෞරවයක් ලෙස ජීවත්වන්නට හැකිනම් එය මිනිසෙක් ලෙස ලබන්නා වූ මහත් භාග්‍යයකි. එහෙත්, ඒ ශක්‍යතාව සියල්ලන්ටම පිහිටන්නේ නැත. උපන්නාට මේ ලොව ජීවත් වන්නෝ ද වෙති. එසේ වුව ද සම්බුදු දහමින් සුපෝෂිත මේ ධර්මද්වීපයේ බොහෝ දනන් මනුසත් ගුණ හඳුනන්නෝ වූහ. ලාංකේය ජාතික වීර නාමාවලියේ එවන් චරිතයෝ බොහෝ වෙති.

ස්වාර්ථයෙන් බැහැර ව, පරාර්ථය වෙනුවෙන් ජීවත කැප කළ එවැනි උදාරතර මිනිසුන්ගේ උත්කෘෂ්ඨ කැපවීම නිසා ම අද අපට සාඩම්බර ජාතියක් ලෙස ලොව අභිමුව නිර්භය ව නැගී සිටින්නට හැකියාව ලැබී ඇත.

විදේශීයයන්ගේ අඩම්තේට්ටම්වලට ගොදුරු වෙමින් අතීතයේ අඳුරු යුග ගණනාවක් ගෙවා දමන්නට අපේ මුතුන් මිත්තන්ට සිදු විය. විශේෂයෙන් 1815 දී මෙරට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු වීමත් සමඟ ම ජන ජීවිතය උඩු යටිකුරු විය. එක් පැත්තකින් අධිරාජ්‍යවාදීහු සිය බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමේ පහසුව පිණිස ජාතීන් අතර භේද භින්නතා නිර්මාණය කළහ. අහිංසක ජනතාව බදු බරින් පීඩිත වුණි. ශ්‍රමය සූරා කෑමට බඳුන් වුණි. මිත්‍යා දෘෂ්ටික මතවාද ව්‍යාප්ත වුණි.

දේශ හිතෛෂීහු, ජාති ප්‍රේමීහු එක් රැස්ව අධිරාජ්‍ය විරෝධී අරගලය දියත් කළහ. ඒ ජාතික වීර නාමාවලියේ බැබළෙන චරිත අතර ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ නාමය අපට කිසිදා අමතක කළ නොහැකි ය. නිදහස් සටන වෙනුවෙන් ජාතිය පුබුදුවාලීමට, සැබෑ චින්තනමය වෙනසක් ඇති කිරීමට, ප්‍රබල ජනමතයක් ඇති කරවීමට එතුමා තෝරා ගත්තේ ශක්තිමත් අවියකි. ඒ පෑන ය. භාෂා ප්‍රාඥයන්, දැන උගතුන්, විශිෂ්ට ලේඛකයන් එක් රැස් කරමින් අධිරාජ්‍ය විරෝධී අරගලය බල ගන්වන්නට එතුමා ගත් උත්සාහය අමරණීය ය.

තරුණ වියේ දී එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබ අධිනීතිඥවරයෙකු ලෙස මෙරටට පැමිණි එතුමාතුළ රට, ජාතිය, පිළිබඳ වූ හැඟීම ප්‍රබල වූවක් විය. රටේ තොටේ සිදුවන දෙයක් දැන ගන්නට, තොරතුරු සොයා යන්නට සිංහල කියවන ජනතාවට ශක්තිමත් මාධ්‍යයක් තිබුණේ නැත. 1914 වර්ෂයේ දී වැසී යාමට ආසන්නව තිබූ ‘දිනමිණ’ දිනපතා සිංහල පුවත්පත මිලදී ගෙන එය ජාතිය පුබුදු කරන පුවත්පතක් ලෙස මුද්‍රණය කරගෙන යාම ආරම්භ කිරීමත් සමඟ මෙරට සිංහල කියවන ජනතාව තුළ නව ප්‍රබෝධයක් ඇති විය. ඉන්පසු ඉංගී‍්‍රසි හා දෙමළ බසින් ද පුවත්පත් අරඹා ලාංකේය පුවත්පත් කර්මාන්තය ශක්තිමත් කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරට ආර්ථික, දේශපාලනික, සමාජමය වශයෙන් මෙන් ම භාෂා සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් ද කළ සේවය මිල කළ නොහැකි ය. එතුමා ආරම්භ කළ පත්තර මහ ගෙදර, ලේක්හවුස් පුවත්පත් ආයතනය දකුණු ආසියාවේ ශක්තිමත් ම පුවත්පත් ආයතනයක ආරම්භය ද විය.

එදා සිට අද දක්වා ලේක්හවුස් පුවත්පත් මේ රටේ ජනතාවගේ ආදරයට, ගෞරවයට පාත්‍ර ව ඇත. ප්‍රධාන පුවත්පත්වලට අමතර ව සතිපතා නිකුත්වන වාර ප්‍රකාශන තුළින් ලබා දෙන දැනුම් සම්භාරය අපමණ ය. ධර්ම සන්නිවේදකයන් බිහි කිරීමෙහිලා, ධර්ම ඥානය බෙදා දීමෙහිලා ‘බුදුසරණ’ පුවත්පත වසර ගණනාවක් පුරා පවත්වාගෙන යාමට හැකි වූයේ ද විජයවර්ධන ශි‍්‍රමතාණන්ගේ දූර දර්ශී දැක්ම මල්ඵල ගැන්වීම නිසා ය.

මෙවන් චරිත උදාර ය. කිසිදා නොමියෙන්නේ ය. මේ චරිත අප නැවත කියවිය යුතුව තිබේ. අපේ දරුවන්ට ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන් ගැන කියා දිය යුතුව තිබේ. ඒ තමන්ගේ රට, ජාතිය ගැන, හැඟීමක් ඇති කරවීමට ය. යුතුකම්, වගකීම් හඳුන්වා දීමට ය.

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]