[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සරු නිසරු දෙයතේරුම් ගනිමු

සරු නිසරු දෙයතේරුම් ගනිමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අසාරේ සාර මතිනො
සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා

සාරංච සාරතො ඤත්වා පප
අසාරංච අසාරතො
තෙ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝ
චර

සුපින්වත්නි,

සිරි සුගත තාථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙක සංජය නම් පිරිවැජියාගේ මිත්‍යා අදහස් නිමිති කරගෙන ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක.

රජගහ නුවරට නුදුරු උපතිස්ස කෝලිත යන බමුණු ගම් දෙකේ මෙම සම්බුදු සසුන විරාජමාන කළ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම කුඩා කාලයේ පටන් එක්වන් ව හැදී වැඩී යොවුන් විය දක්වා සියලු සම්පත් ඇති ව කල්ගත කළහ. ගමේ නමින් ම උපතිස්ස, කෝලිත නමින් ම ප්‍රකට ව දිනක් මේ දෙදෙනා ගිරග්ග සමජ්ජ නම් නාට්‍යයක් බලන්නට ගියහ.

නාට්‍ය බැලීමෙන් මෙම දෙදෙනාට ම කිසිම වින්දනයක්, සතුටක් නොවීය. එකල ඉතා ප්‍රසිද්ධව සිටි සංජය නම් පරිබ්‍රාජකයා වෙත ගොස් විමුක්ති මාර්ගය දැන ගැනීමේ අභිලාෂයෙන් දෙදෙනාම සංජයගේ ශිෂ්‍යයන් වශයෙන් ඔහුගේ ධර්මය හදාරන්නට වූ හ. ඔහුගේ ධර්මය සම්පූර්ණයෙන් ම ඉගෙන ගත් නමුත් එයින් ද අර්ථයක් නොදැන දෙදෙනාම සංජයගෙන් බැහැරවගොස් මෝක්ෂ මාර්ගය දන්නා කෙනෙකුන් සොයමින් නගරයෙන් නගරයට සංචාරය කළහ. දිනක් ගෙයින් ගෙට ඉතා සංවර ලීලාවෙන් පිඬු සිඟා වඩින අස්සජි මහරහතන් වහන්සේ දැක සොම්නස්ව, උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ වෙත පැමිණ තොරතුරු විමසා දැනගත්තේ ය.

අස්සජි මහරහතන් වහන්සේ ‘යේ ධම්මා හේතුප්පභවා’ ආදී ගාථාවෙන් උපතිස්ස පරිබ්‍රාජකයාට ධර්මය දේශනා කරනවාත් සමඟ ම සෝවාන් මගපල ලබා වහාම ගොස් තම යහළු කෝලිතට ද එම දහම දේශනා කළහ. ඔහු ද සෝවාන් මගපල ලබා දෙදෙනා ම සංජය පිරිවැජියා ළඟට ගොස් තමන් ලැබූ ලෝකෝත්තර සම්පත දක්වා බුදුරදුන් වෙත යමුයැයි දැක්වූහ. එවිට සංජය පිරිවැජියා එයට එකඟ නොවී ‘බුදුන් වෙත පණ්ඩිතයෝ යති. මා වෙත මෝඩයෝ එති. එබැවින් මම නොයන්නෙමියි කීහ. අනතුරුව සංජයගෙන් සමුගෙන වහාම උපතිස්ස, කෝලිත දෙදෙනා බුදුන් වෙත පැමිණ, පැවිදි ව රහත් ව අගසව් තනතුරු ලබා ගත්හ.

නිසරු දේ සරු ලෙස සිතන, සරුදේ නිසරුලෙස සිතන මිත්‍යා සංකල්පයන්ට ගොදුරු වන අය සරු දෙයක් නොලබති. සරු දේ සරු ලෙස සිතන, නිසරු දේ නිසරු ලෙස සිතන අය සම්මා සංකල්පයට ගෝචර ව සාරවත් දෙය ලබති.

මිනිසා ලෝකය හඳුනා ගන්නේ උපන් පරිසරයේ පවතින ස්වභාවය අනුව ය. එබැවින් සාරය හෝ අසාරය හෝ වෙන්කොට හොඳින් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සමාජය තුළ පැවතිය යුතු ය. එසේ හඳුනා ගැනීමට නොහැකිනම් මිනිසා යොමු වන්නේ තිරිසන් ගතියට බැවින් මනුෂ්‍යත්වය මෙලොව දී ම නැති වන්නේ ය.

මානුෂික ගුණාංගවලින් උත්තමතම ධර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය දැනීම ශ්‍රැතියට සීමාවන දෙයක් නොවන උත්තරීතර මිනිසාගේ අර්ථාන්විත ප්‍රතිපත්තියයි.

වසර දහස්’ ගණනක් තුළ යාගයට, යාඥාවට, කන්නලව්වට නිරතවන මිනිස් චින්තන වැයවන කාලය ශ්‍රමය, ධනය නිස්සාර බව මානව පරපුරට අවබෝධ නොවන්නේ අතීත සංසාරික වශයෙන් ඔවුනොවුන් පුරුදු කරගෙන එන මිත්‍යා පිළිවෙත් නිසා ම ය.

‘ප්‍රාගේව ධර්මඞ චින්ත්‍යඞ’ ‘ප්‍රථම කොට සද්ධර්මය සිතිය යුතුය’, යන සිද්ධාන්තය අනුව මිනිසා සෑම දේකටම වඩා ධර්මය ප්‍රධාන කොට ක්‍රියා කළ යුතු ය.

“පින්වත්නි, ධර්මයේ ප්‍රධාන අදහස් දෙකක් ඇත. එනම් සොබා දහම හා සද්ධර්මයයි. සොබාදහමේ ප්‍රධාන ක්‍රියාකාරී ප්‍රවණතාවයට අනුගුණවන පරිදි නිර්වාණ අවබෝධයෙන් බාහිර වූ සියල්ල බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන්, කරුණාවෙන් විශේෂයෙන් මානව පරපුරටත් සමස්ත සත්ව ප්‍රජාවටත් දේශනා කළ සේක.

මිනිසාගේ චින්තනයේ සාරවත් බව රඳා පවතින්නේ සම්මා සංකල්පය මත බව ලෝක නායකයන් පැවිදි නායකයන්, විද්‍යාඥයන්, දේශපාලනඥයන්, විචාරාත්මක ව සිතා බැලිය යුතු සිතා ක්‍රියා කළ යුතු අවස්ථාව පැමිණ ඇත.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මානව පරපුරේ පැවැත්මට, දෙලොව අභිවෘද්ධියට, සදා සැනසීමට දේශනා කළ සම්මා දිට්ඨියෙන් ආරම්භවන මධ්‍යම ප්‍රතිපදාව ම මානව සමාජයේ පැවැත්මට හා සැනසීමට එකම සාරවත් මාර්ගය යි. මෙය අවබෝධ කරගත් තැනැත්තා උදාර මනුෂ්‍යත්වයේ ප්‍රතිඵල ලබන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි.

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසෙලාස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]