[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්දර ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙබරවාරි මස 18 වන දින සිව් අසූවන වියට පා තැබුහ.

1937 පෙබරවාරි මස 18 වන දින සත්කෝරළයේ වැලමිටියාවේ දී ජන්ම ලාබය ලද නා හිමියෝ මිනුවන්ගොඩ හපුවලානේ විහාරයේ පැවිදි කරවීම සඳහා හුරුක්ගමුව රාජමහා විහාරාධිපති හුරුක්ගමුවේ ගුණරතන නාහිමියන් විසින් හුරුක්ගමුව රාජමහා විහාරයට කැඳවාගෙන එනු ලැබූහ. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උනන්දුව මත පණ්ඩිත සාර්වභෞම රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ අභිධර්ම විශාරද මීවැවේ යූ. බී. රාජකරුණා මැතිතුමාගේ මැදිහත්වීමෙන් එම දරුවා විද්‍යාලංකාරයට රැගෙනවිත් පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ගේ ආචාර්යයත්වයෙන් පැවිදි බව ලබා 1957 දී මල්වතු මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

විද්‍යාලංකාර ගුරුකුලයෙහි ස්වර්ණමය අවධියෙහි ශික්ෂණය ලැබීමට වරම් ලද නාහිමිපාණෝ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධි ලබා ඉනික්බිතිව 1963 දී මාපිටිගම ගුණරතන හිමියන් විසින් විද්‍යාලංකාරයට පූජා කළ පන්නිපිටිය බිම්කඩෙහි ආරම්භ කළ පන්නිපිටිය විද්‍යාලංකාර පිරුවනෙහි කෘත්‍යාධිකාරී පදවිය සහ පරිවේණාධිපති පදවිය හෙබවූහ.

විද්‍යාලංකාර පරිවේණාධිපති යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගිලන්භාවයට පත්වීමෙන් පසු නැවත පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනට වැඩම කළ නාහිමිපාණන් මීළඟ පරිවේණාධිපති පදවිය සඳහා යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් විසින් විද්‍යාලංකාර සභාව වෙත නිර්දේශ කළහ. නිරතුරුව ඇදුරු බැතියෙන් කටයුතු කළ නාහිමිපාණෝ එම පදවිය ඒ වනවිට වයෝවෘද්ධව වැඩ සිටි නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමියන් වෙත පිළිගන්වා විද්‍යාලංකාර පරිවේණාධිපති නාහිමියන් වෙත සිරිතක් ලෙස මල්වතු මහාවිහාරයෙන් පුද දෙන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවියත් ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ගෞරව නාම සම්මුතිය සහිතව උපාධ්‍යාය පදවියත් පිරිනැමීමට කටයුතු යෙදූහ.

1990 නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවියට පත්ව ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් සහ මල්වතු මහාවිහාරයේ උපාධ්‍යාය පදවියෙන්ද වල්පොල රාහුල හිමියන්ගේ ඇවෑමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් ද පුද ලැබූහ.

රත්මලානේ පුරාණ විහාරය, හුණුපිටියේ විජයසුන්දරාරාමය, කෑරගල පද්මාවතී පිරුවන ඇතුලු සතළිහකට අධික විද්‍යාලංකාර පිරුවනට අයත් විහාරස්ථානයන්හි විහාරාධිපති පදවිය හොබවන නාහිමිපාණෝ බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්මජෝතිකාධජ නාමයෙන් පිදුම් ලැබූහ.

අනතිමානී ගුණයෙන් අගතැන්පත්ව, තමන් හමුවට පැමිණෙන කාහටත් සත්කාර දක්වන නාහිමිපාණෝ තෛ‍්‍රනිකායික මහාසංඝ රත්නයෙහි සම්භාවනාවට පත්ව වැඩ වෙසෙති. නිරතුරුවම රටේ ආගමික කටයුතු සඳහා ආරාධනා ලබන නාහිමිපාණෝ සෑමවිටම එම කටයුතු සඳහා දායකත්වය ලබාදීමට උත්සුක වෙති. ඉසුරුමුණි රාජමහා විහාරයෙන් නාහිමියන් වෙත පුද කළ දශක හතරක් වල්බිහිව පැවති අනුරාධපුර ශ්‍රාවස්තිපුර මහාදාඨික මහානාග යුගයට අයත් විහාරස්ථානයෙහි පමණක් නොව එම ප්‍රදේශයෙහි සංවර්ධනයටද කැප වූහ. විද්‍යාලංකාර ගුරුකුලයේ ආදිකර්තෘවරුන්ගේ සිහිපත් කිරීමද අඛණ්ඩ ව සිදු කළහ. විද්‍යාලංකාර ගුරුකුලයෙන් ශික්ෂණය ලබන සාමණේර හිමිවරුන්ගේ අනාගතාභිවෘද්ධිය පිණිස උත්සුක වූයේ මතු නොව දේශන සම්මන්ත්‍රණ ආදියට සතරදිග් භාගයෙන් දැනුම සොයා වැඩමවන සාමණේර හිමිවරුන් වෙත ද ප්‍රත්‍ය පහසුකම් සැලසීමට කටයුතු කළ සේක.

තමන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වයද නොතකමින් දිවා රාත්‍රී ශාසනික සංග්‍රහයෙහි නිරතවන සංඝරාජයෙකු වන් විද්‍යාලංකාර පරිවේණාධිපති නාහිමියන්ට නිදුක් නිරෝගී සම්පත් චිරජීවනය ලැබේවායි පතමු.


වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමි

කැනඩාවේ ප්‍රධාන සංඝ නායක, මත්තක, ශ්‍රී සුමන ශෛලාරාමාධිපති, ශ්‍රී සුමංගල විද්‍යාවතංශ, ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, වැයිහේනේ පඤ්ඤාලෝකාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

1930 දී දක්ෂිණ ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම, වැයිහේන ග්‍රාමයේ දී උපත ලද නාහිමිපාණන් වහන්සේ, ගිහි කල ‘කරුණාසේන ජයසේකර’ නම් වූහ. සම්භාව්‍ය ප්‍රභූ නිවසක උපත ලද කරුණාසේන ජයසේකර කුමරුගේ මවුතුමිය, එච්. ඩබ්ලිව්. ඇලන් විතානාච්චි උපාසිකාව වූ අතර වැයිහේන ග්‍රාමයේ රෙජිස්ට්‍රාර් ධුරය දැරූ, ඩී. ජී. ජයසේකර රාළහාමි පියතුමන් විය. ගාල්ල, මාපලගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ කරුණාසේන කුමරු, 1945 දී මත්තක, පෝද්දිවල, ශ්‍රී සුමන ශෛලාරාමාධිපති, බද්දේගම සිරි ගුණරතනාභිධාන මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ බඹරවාන, ශ්‍රී සුසීලාරාමාධිපති, මත්තක සිරි පඤ්ඤාසාර නායක මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් යුක්ත ව මත්තක, ශ්‍රී සුමන ශෛලාරාම පුරාණ විහාරයේ දී ‘වැයිහේනේ පඤ්ඤාලෝක’ නමින් ප්‍රව්‍රජ්‍යාභූමියට ඇතුළත් විය.

උන්වහන්සේ ගාල්ල, ශ්‍රී විද්‍යාලෝක පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබ කොළඹ, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් ව පාලි හා ත්‍රිපිටක ධර්මය ද තදනුගත බෞද්ධ අධ්‍යයන විෂය ක්‍ෂේත්‍රයට ආලෝකය සපයන සංස්කෘත, ප්‍රාකෘත, සිංහල, වැනි භාෂා ශාස්ත්‍ර ද මැනවින් ප්‍රගුණ කරමින් ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය උසස් ලෙස සමත් ව රාජකීය පණ්ඩිත උපාධිය හිමි කර ගත්හ. එසේ ම විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය ද ලැබූ පඤ්ඤාලෝක හිමිපාණන් වහන්සේ, රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය ආරම්භ කළ මුල් අවධියෙහි ම එහි පළමු භික්ෂු පිරිසට ද අයත් වූවෙක් ව එමගින් ද දෙවසරක පමණ ගුරු පුහුණුව ලැබූහ. මෙසේ උසස් අයුරින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබූ නාහිමිපාණන් වහන්සේ විසි වයස් සම්පූර්ණ ව 1950 දී පමණ එවකට ස්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරය දරමින් වැඩසිටි වැලිවිට ශ්‍රී සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සමයෙහි මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ද ලැබූහ.

රාජකීය පණ්ඩිත උපාධිය උසස් අයුරින් සමත් වීමෙන් පසු නාහිමිපාණන් වහන්සේ 1959 දී රජයේ ගුරු සේවයට අවතීර්ණ වූහ. ඒ අනුව, පඤ්ඤාලෝක නාහිමිපාණෝ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන, දෙණියාය මධ්‍ය මහා විද්‍යාලය, හික්කඩුව මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, අනුරාධපුර කටුකැලියාව මහා විද්‍යාලය, මානම්පිට මහා විද්‍යාලය ආදී විවිධ විද්‍යාස්ථානයන්හි ශාස්ත්‍ර ප්‍රදානයෙහි නියුක්ත වූහ. කොළඹ නාලන්දා විද්‍යාලය වැනි සිරිලක සුපතළ උසස් විද්‍යාලයන්හි සේවය කරමින් සිට අතිශයින් දුෂ්කර අනුරාධපුර කටුකැලියාව මහා විද්‍යාලයට පැමිණ විදුහල්පති ධුරය ද දරමින් සිදුකළ 15 වසරක විශිෂ්ට සේවය නාහිමිපාණන් වහන්සේගේ දිවිමගෙහි නො මැකෙන සන්ධි ස්ථානයකි. කටුකැලියාව මහා විද්‍යාලයෙන් මානම්පිට මහා විද්‍යාලයට පැමිණ එහි කලක් සේවය කොට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් බැහැර වීම නාහිමිපාණන්ට නො සිත් වූවක් ම විය. එබැවින් විශ්‍රාම යාමෙන් අනතුරු ව ද නාහිමිපාණන් වහන්සේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට හා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට සම්බන්ධ වී විශිෂ්ට පැවිදි පරපුරක් බිහි කිරීමෙහිලා ස්වකීය දායකත්වය නො අලස් ව දැක්වූහ.

නාහිමිපාණන් වහන්සේගේ 90 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන නාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කරනු පිණිස විශේෂ පින්කම් මාලාවක් ඇමරිකාවේ වොෂිංටන් බෞද්ධ මහා විහාරයේ දී මේ මස 23 වැනි දින පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට ඇත. අනුපමේය ලෝක ශාසනික මෙහෙවරක නිරත වන වැයිහේනේ පඤ්ඤාලෝක නාහිමිපාණන් වහන්සේට තෙරුවන් සරණින් කායික මානසික සුවයෙන් පිරි, නිදුක් නිරෝගිමත් සුභ උපන් දිනක් වේවා...!

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]