[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුත්ත නිපාතයෙන් - ආළවක සූත්‍රය: අළව් යකුගේ දමනය

සුත්ත නිපාතයෙන්:

ආළවක සූත්‍රය:

අළව් යකුගේ දමනය

එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අළව් නුවර අළව් යකුගේ වාස භවනයෙහි ය. එවිට භාග්‍යවතුන් වහන්සේ වෙත අළව් යකු පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසී ය.

“ශ්‍රමණය මෙතැනින් පිටත් වෙනු” (නික්ඛම සමණා) “හොඳයි ආයුෂ්මතුනි” යි කියා භාග්‍යවතුන් වහන්සේ පිටතට වැඩි සේක.

නැවතත් අළව් යකු “ශ්‍රමණය යළි ඇතුළට පැමිණෙනු.” (පවිස සමණා) කියා පැවසී ය.

“හොඳයි ආයුෂ්මතුනී” කියා භාග්‍යවතුන් වහන්සේ ඇතුළට වැඩමකළ සේක.

දෙවන තුන්වන වතාවක දී අළව්යකු භාග්‍යවතුන් වහන්සේ ව වෙහෙසවීම පිණිස මෙලෙසින් ම පිටව යන ලෙසත්, ඇතුලුවන ලෙසත් නියෝග කළේ ය. අළව් යකුගේ දරුණු සිත මොළොක් කරලීම පිණිස තෙ වතාවක්ම එසේ ඇතුළට පිටතට වැඩම කළ ශාස්තෘන් වහන්සේ, හතරවන වතාවටත් එළියට යන ලෙස පැවසූ විට අළව් යකුට මෙසේ වදාළ සේක.

ආයුෂ්මතුනි, මම මෙතැනින් පිටතට නොයෙන්නෙමි. ඔබට කළ හැකි දෙයක් වේ නම් දැන් එය කරනු කියා ය.

“ශ්‍රමණය, මම ඔබගෙන් ප්‍රශ්න අසන්නෙමි. ඉදින් ඒ ගැන පිළිතුරු නොදෙන්නෙහි නම්, ඔබගේ සිත පෙරළා දමන්නෙමි.” තොපගේ හදවත හෝ පළා දමන්නෙමි. පා වලින් රැගෙන ගෙඟන් එතෙරට හෝ වීසි කරන්නෙමියි. ඝෝෂා කළ සේක.”

එවිට සියලු බිය, තැති ගැනීම් ඉක්මවා ගිය අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ සිංහනාද පැවැත්වූ සේක. “ආයුෂ්මතුනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මාගේ සිත පෙරළා දැමිය හැකි කෙනෙකුන් හෝ හදවත පළා දැමිය හැකි කෙනෙකුන් හෝ පා වලින් ගෙන ගඟින් එතෙරට වීසි කර දැමිය හැකි කෙනෙක් හෝ මම නම් නොම දකින්නෙමි. එනමුදු, ඔබ කැමැති නම් ප්‍රශ්න විමසන්න.

එවිට අළව් යකු ගාථාවකින් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම ප්‍රශ්න හතර විමසා සිටියේ ය.

කවර ධනය ද පුරුෂයා හට උතුම් වන්නේ?
කවර කරුණ ද පුරුදු කළවිට සැප ලැබෙන්නේ?
කවර රසය ද ලොවේ මියුරුම රසය වන්නේ?
කවර දිවියද ගත කරන විට උතුම් වන්නේ?

එවිට සියල්ල ගැන සියල්ල දන්නා භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු ගාථාවෙන් දේශනාකොට වදාළ සේක.

සද්ධීධ චිත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති
සච්චං හවේ සාදුතරං රසානං
පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨං

සැදැහැ ධනයයි පුරුෂයා හට උතුම් වන්නේ
සොඳුරු දහමයි පුරුදු කළවිට සැප ලැබෙන්නේ
ආර්ය සත්‍යයයි ලොවේ මියුරුම රසය වන්නේ
නැණැති දිවියයි ගත කරනවිට උතුම් වන්නේ

එවිට අළව් යකු නැවත මෙසේ ප්‍රශ්න හතරක් ඇසුවේ ය.

සැඩ දියෙන් එතෙර වී පැන ගන්නේ කෙලෙසින්ද?
සමුදුරෙන් එතෙර වී ගොඩ යන්නේ කෙලෙසින්ද?
භව දුකෙන් අත මිදී ගැලවෙන්නේ කෙලෙසින්ද?
දිවි මග ද පිරිසුදුව බබළන්නේ කෙලෙසින්ද?

එම සදහම් පැනයන්ට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දී වදාළේ මෙලෙසිනි.

සද්ධාය තරතී ඕඝං - අප්පමාදේන අණ්ණවං
විරියේන දුක්ඛං අච්චේති - පඤ්ඤාය පරිසුජ්ඣති

සැදැහැයෙනි සැඩ දියෙන් එතෙර වී පැන ගන්නේ
නොම පමාවෙනි සසර සමුදුරෙන් ගොඩ යන්නේ
වීරියෙනි ඉක්මගොස් භව දුකින් ගැලවෙන්නේ
නැණ බලෙන්මය ලොවේ දිවිය පිරිසුදු වන්නේ

එම පිළිතුරෙන් පැහැදීමට පත් අළව් යකු තවත් සදහම් පැන කිහිපයක් මෙසේ විමසීය.

කෙලෙසින්ද දිවිමගට නුවණ ඇතිකර ගන්නේ?
\කෙලෙසින්ද කෙනෙකු ලොව ධනය රැස්කර ගන්නේ?
කෙලෙසින්ද කෙනෙකුගේ හොඳ නමක් පැතිරෙන්නේ?
කෙලෙසින්ද යහපත් මිතුරන් පිරිස ලැබ ගන්නේ?
මෙලොව හැර - පරලොවක ගිය කල කෙලෙසින් ද
ශෝකයක් නොකර කල් ගතවෙන්නේ.
එම පැනයන්ට පිළිතුරු ලබාදෙමින්, භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථා රත්නයන් වදාළ සේක.

සද්දහානෝ අරහතං - ධම්මං නිබ්බාණපත්තියා
සුස්සුසං ලභතේ පඤ්ඤං - අප්පමත්තේ විචක්ඛණෝ

අමා නිවනට පමුණුවාලන දහම් පවසති රහත් මුනිවරු සැදෑ සිත් එහි උපදවාගෙන, මනාකොට ඒ බණ අසාගෙන ඇසූ දහමට සිත යොමාගෙන, පමා නොමවී, එයට නතුවී විමසනා විට නුවණ මතු වේ.

පතිරූපකාරී ධූරවා - උට්ඨානා වින්දතේ ධනං
සච්චේන කිත්තිං පප්පෝති - දදං මිත්තානි ගන්ථති.

බාරගෙන එන වගකීම් හැම - වීරියෙන් කටයුතු කරන
නො පසුබස්නා විරියෙන් යුතු - කෙනෙකු වේ නම්
රැස් කරයි හේ සියලු ධනයම
සැබෑ බස් පවසන කෙනා - ලබයි ලොව හොඳ නම මනා
යහළුවන් සොයනා කෙනා - දිය යුතුය හැම දන් මනා

එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් කරුණු පහදා දෙමින් මෙසේ වදාළ සේක.

සැබෑ බස් පැවසීම, වැටහෙන නුවණ තිබීම, උත්සාහය පැවතීම, දන් දෙන්න හැකිවීම, කියන දහම් සතර ජීවිතය තුළ පවතිනවානම්, පරලොව ගිය කලෙක ඔහු කිසිවිටකත් ශෝක කරන්නේ නැහැ.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අළව් යකුට මෙසේ පැවසූ සේක.අළව් යක්ෂය “ඉතින් ඔබට මේ ගැන තවත් දැන ගන්නට ඕනෑනම්, ලෝකයේ වෙසෙන වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරා ගොස් විමසා බලන්න. සැබෑ බසකට, ඉන්ද්‍රිය දමනයට, දන් පැන් පිදීමට ඉවසීමෙන් වාසය කිරීමට වැඩිතරම් තව දෙයක් ලොව ඇද්දැයි කියා එවිට මහත් වූ පැහැදීමට පත්ව සිටි අළව් යකු භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය. ‘අනේ පින්වත් භාග්‍යවතුන් වහන්ස, ලොවේ සිටිනා වෙන ශ්‍රමණ බමුණන්ගෙන් කුමට නම් මග යළිත් අසන්ටද? මෙලොව සැපත ලැබදෙන සියලු කරුණු ම සිතූ ලෙසට ම මම දැනගත්තෙමි.” ඉන්පසු භාග්‍යවතුන් වහන්සේට ස්තූති ප්‍රශංසා කරමින් සේ තවදුරටත් මෙසේ පැවසී ය. “සැබවින් ම බුදු සමිඳුන් මා කෙරෙහි කරුණාවෙන් මේ අළව් නුවරට වැඩි සේක. යම් උතුම් කෙනෙකුට දුන් දෙයින් මහත්ඵල ලැබේ නම් පිදිය යුතු ඒ උතුමාව මම අද දින දැන ගනිමි.

එදින සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ අළව් යකු පහන් සිතින් තෙරුවන් සරණ ගොස් මෙසේ ද පැවසී ය.

සෝ අහං විචරිස්සාමි - ගාමාගාමං පුරා පුරං
නමස්සාමානෝ සම්බුද්ධං - ධම්මස්සච සුධම්මතන්ති
නමදිමින් සම්බුදු රජාණන් - අසිරිමත් දම්රස අමාවන්
පවසමින් ලොව යමි ගමින් ගම
ඇවිද කියනෙමි මම - රටින් රට

විස්මිත ප්‍රඥාවකින් හෙබි, මහා කාරුණික, අනුත්තර පුරුසධම්ම සාරථි වූ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]