[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසමසම ගුණ මහිම: පිරූ දම් පාරමී

අසමසම ගුණ මහිම: පිරූ දම් පාරමී

“මහණෙනි, තථාගතයන් වහන්සේ පෙර ජාතීන් හි, පෙර භවයන් හි, පෙර මනුෂ්‍යයෙක් ලෙසින් ජීවත්වන කාලයන්හි දී බොහෝ ජනයාට සැපගෙන දෙන්නා වූ උතුමෙක් වූ සේක”.

භාග්‍යවතුන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව පැහැදිලි කරමින් ආරම්භයේ දී ම දේශනා කළා එනම්, සෑම දෙනාට ම උදව් උපකාර කරන පුද්ගලයෙක් බවට පත් වූවා. එසේ වූ උන්වහන්සේ පුණ්‍ය කර්මයක් සිදු කළා. ඒ මනුෂ්‍යයන් ළඟ තිබෙන “උබ්බේග බය” සහ “උත්ත්‍රාස බය” නැති කිරීමයි. මනුෂ්‍යයන් ධාර්මිකව රක්ෂාවරණයකින් සංවිධානය කළා. මනුෂ්‍යයන් විසින් සිදුකරන්නා වූ සෑම දේම ධාර්මිකව සිදු කරන්නට උපකාර කළා. ඒ වගේ ම උන්වහන්සේ ධාර්මිකව, පිරිවර සහිතව දන් දුන්නා.

අට්ඨ කතාවේ මෙම බය පිළිබඳව මෙසේ විස්තර කෙරෙනවා. සොරුන්ගෙන් හෝ, රජතුමාගෙන් හෝ, මංකොල්ලකරුවන්ගෙන් හෝ එසේත් නැති නම් මොනයම් හෝ වැරැද්දක් නිසා හෝ රටවැසියන්ට සිරගත වෙන්නට සිදුවෙනවා; නම් එවැනි යම් කිසි පීඩාවකට මනුෂ්‍යයන් පත් වෙනවා නම් එය “උබ්බේග බයයි”. එවැනි බියකින්, උවදුරකින් මනුෂ්‍යයන් බේරා ගැනීම පුණ්‍ය කර්මයක්. ඒ වගේ ම දරුණු ඇතෙක්, අශ්වයෙක්, යක්ෂයෙක්, නාගයෙක් හේතුවෙන් එකවර ලොමු ඩැහැ ගැන්වෙන බියක් ඇතිවෙනවා. අන්න එවැනි බය “උත්ත්‍රාස බය” ලෙස හඳුන්වනවා. ඒ බයත් උන්වහන්සේ දුරු කර තිබෙනවා. මනුෂ්‍යයන්ගේ මේ බය නැති කර තිබෙන්නේ සංවිධානය කිරීමෙනුයි.

එම සංවිධානය පිළිබඳව අට්ඨ කතාවේ මේ ආකාරයෙන් පැහැදිලි කරනවා. කැලෑවන් හි උවදුරු සහිත ස්ථාන තියෙනවා. ඒවගේ යම් මාර්ග පවතිනවා. ටික දුරක් ගිය පසු වනය මැදින් ඒ මාර්ගය වැටී තිබෙන්නේ. ඒ වන මැද සමහර විට මංකොල්ලකරුවන්, වන සතුන්, යක්ෂයන් ඉන්නට පුළුවනි. බෝධිසත්වයන් වහන්සේ අන්න එවැනි විශේෂ ස්ථානවල, දාන ශාලා එනම් දන් සැල් ගොඩනඟා තියෙනවා. එවන් ස්ථානවලට ජනයා පෝළිමේ එනවා. නිතරම ජනයා ගැවෙසෙන හෙයින් උවදුරු පවතින ස්ථානවල කැළෑව සහිත මාර්ගවල පවතින පාළු ස්වභාවය මඟහැරී යනවා. නිතර මනුෂ්‍යයන් ගැවසීම නිසා මනුෂ්‍යයන් අතර පවතින බය නැතිවෙනවා. ඒවගේ ම කාට හෝ කැළෑවේ තනියම යන්න අවස්ථාවක් ඇති වුණොත් බෝධිසත්වයන් වහන්සේ ඒ පුද්ගලයා අදාළ තැනට උපද්‍රවයක් ඇති නොවෙන්නට යවා තියෙනවා. මෙන්න මේ ආකාරයට කටයුතු කිරීම සංවිධානය කරනවා යැයි කියනවා. එනම් සියලු ම ආරක්ෂාව ඒ වෙනුවෙන් සපයා දී තිබෙනවා.

උන්වහන්සේ මෙසේ මනුෂ්‍යයන්ට ඇතිවන බිය දුරු කිරීමෙන් පමණක් සෑහීමකට පත්වූයේ නෑ. “සපිරිවරංච දානං” පිරිවර සහිතව දන් දීලා තිබෙනවා. මෙතැන පිරිවර යැයි සඳහන් කළේ මනුෂ්‍යයන් යන්න නොවෙයි. පිරිකර යන්නයි. එනම් දස දාන වස්තුව ම පූජා කළා යන්නයි. උදාහරණයක් වශයෙන් අපි යම් කෙනෙකුට තේ එකක් පමණයි පිළිගන්වන්නේ. උදව්වක් කළත් ඒ උදව්ව පමණයි සිදු කරන්නේ. නමුත් බෝධිසත්වයන් වහන්සේ යමෙකුට උදව්වක්, උපකාරයක් කළොත්, උන්වහන්සේ ඒ පුද්ගලයාට ඒ මොහොතේ අවශ්‍ය උපකාරය කරනවා. ඊට පසුවත් ඒ පුද්ගලයා පිළිබඳව තව තවත් සොයා බලා ඒ සියලු අඩුපාඩුකම් සපයා තිබෙනවා. සකසා දන් දෙනවා කියන කාරණයට මේ කරුණ හොඳම උදාහරණයක්. අප මේ ආකාරයෙන් සිතුවොත්, ස්වාමීන් වහන්සේ නමකට අපි විදුලි පන්දමක් පූජා කරනවා. එයට අවශ්‍ය බැටරි පූජා නොකළොත් ස්වාමීන් වහන්සේට සිදුවෙනවා බැටරි කඩයකින් මිල දී ගන්නට. අපි බැටරි සමඟ එය පුජා කළා නම් උන්වහන්සේට ඒ වෙනුවෙන් අමුතුවෙන් වෙහෙසෙන්නට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ.

අන්න ඒ වගේ බෝධිසත්වයන් වහන්සේ සසරේ කාටහරි යමක් දුන්නා නම්, ඒක ඒ වෙලාවේ අවශ්‍ය වන්නේ වතුර වීදුරුවක් ද, වතුර වීදුරුව පමණක් දීලා නැහැ. වතුර වීදුරුවත් දීල ඉන්න තැනක්, කන්න දෙයක්, වස්ත්‍රයක් ආදී වශයෙන් සෑම දෙයක් ම සංග්‍රහ කර තිබෙනවා. එයයි සියලු පිරිකර සහිතව, එසේ නැතිනම් දස දාන වස්තුව ම දුන්නැයි කියා සඳහන් කර තියෙන්නේ.

බෝධිසත්වයන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින ස්වාමීන් වහන්සේට වැඩ ඉන්න ස්ථානයක් පිළියෙළ කරනවා. ඒ ස්ථානය විලඳ එසේ නැතිනම් පොරි, සමන්පිච්ච මල් අතුරා පළසක් සාදනවා පය තබන්න. ආසනයක් පනවනවා. උඩුවියන් බඳිනවා. සුවඳ දුම් ආදී දෙයින් සුවඳවත් කරනවා. ඉන් පසුව භික්ෂූන් වහන්සේ වඩම්මවා පළමුව කැඳ ආදී දේ එනම්, ආහාර රුචිය ඇති කරන පාන වර්ගයක් පූජා කරනවා. ඉන් අනතුරුව පාද තෙල් ගල්වා සම්බාහනය කරනවා. තෙල් සම්බාහනය විශේෂ පින්කමක්. වර්තමානයේ සිදුවන්නේ පාද දෝවණය පමණයි. නමුත් විය යුත්තේ පාද දෝවනයෙන් අනතුරුව හොඳින් පිස දමා පාදයේ ගල්වන්නට සකස් කළ තෙල් වර්ගයක් ගෙන හොඳින් සම්බාහනය කිරීමයි. මෙය වර්තමානයේ සිදු නොවන්නකි. ඉන් පසුව නොයෙක් කැවිලි වර්ග, සුප් වර්ග, මෙන් ම දන් ද පූජා කර උන්වහන්සේට අවශ්‍ය කරන උපස්ථානය කරනවා. මෙය දස දාන වස්තුවේ සඳහන් පළමු කාරණය වන “අන්න” යන්නයි.

දස දාන වස්තුවේ සඳහන් දෙවැනි කාරණය වන්නේ “පාන” පිළිගැන්වීමයි. එනම් අෂ්ඨපාන. වර්ග අටක් විනය පිටකයේ මහා වග්ග පාලියේ දෙවැනි පොතේ හයසිය දාහතර වැනි පිටුවේ සංග්‍රහ කර තිබෙනවා. අෂ්ඨ පාන වර්ග නම් අඹ පානය, ජම්බු පානය, ඇටි කෙසෙල් පානය, කෙසෙල් ගෙඩි පානය, මී පැණි පානය, මිදි පානය, ඕලු ඇට පානය, උගුරැස්ස පානය යන්නයි.

දස දාන වස්තුවේ තුන්වැනි කරුණ වන්නේ වස්ත්‍ර දන්දීම. වස්ත්‍ර දන් දීමේ දී විවිධ විවිධ වස්ත්‍ර වර්ග දන් දී ඇත. විශේෂයෙන් ම සුදු වස්ත්‍ර වැඩිපුර දන් දී ඇති බව සඳහන් වෙනවා. භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය කරන තනිපට, දෙපට සිවුර, අඳනකඩය, වැනි වස්ත්‍ර ද දන් දී තිබෙනවා. එපමණක් නොවෙයි ඒවා පිරිසුදු කර ගැනීමට අවශ්‍ය දේ පවා පූජා කර තිබෙනවා. ඊළඟට ඉදිකටු, නූල් වෙන ම දන් දී තිබෙනවා. ස්වාමීන් වහන්සේලා ඒවා මසා ගන්නවා නම් කොහේ හරි ස්ථානයකට යන්න ඕනෑ. ඒ වගේ ස්ථානවල ආසන පනවා තියෙනවා. උන්වහන්සේලාට කැඳ බත් ආදිය දන් දී තිබෙනවා. උන්වහන්සේලාගේ පාද සම්බාහනයට අවශ්‍ය කරන තෙල් වර්ග සපයා පිරිස් යොදවා තිබෙනවා. ඒවගේ ම පිට සම්බාහනයට අවශ්‍ය උපස්ථායකයන් සපයා තිබෙනවා. ඊළඟට සිවුරු පඬුපොවන්න අවශ්‍යකරන පොතු, අතු වර්ග මෙන් ම කහට වර්ග, පඬුපොවන ඔරුව, මේවා සිදු කිරීමට අවශ්‍ය කැපකරුවන් ආදී වශයෙන් සියලු දේ දන් දී තිබෙනවා. භික්ෂූන් වහන්සේ නමකට වස්ත්‍ර දන් දීමේ දී සියලු දේ සහිතව ම මේ ආකාරයෙන් දෙන අතර යමෙකුට වස්ත්‍ර දීමේ දී වෙනම දන් දී තිබෙනවා.

“යාන” දස දාන වස්තුවේ ඊළඟ කාරණය යි. යාන යන්නෙන් විශේෂයෙන් සඳහන් කර ඇත්තේ පාවහන්. මෙහිදීත් පාවහන් පමණක් දන් දී නැත. එය බහා ගැනීමට කවරයක් ද දන් දී ඇත. ඒ වගේ ම සෙරෙප්පු සාදන යම් යම් සම්වර්ග නිසාවෙන් ඒ සෙරෙප්පු අව්වට පිච්චෙනවා. එය වළක්වා ගැනීමට පාවහන්වල ගල්වන තෙල් වර්ග පැවති අතර ඒවා දන් දී තිබෙනවා.

“මාලන්” මාලන් යනු මල් දන්දීමයි. සුවඳ ම ල්, මල් මාලා ඒ වගේ ම ඒවා සුවඳවත් කරන සුවඳ වර්ග දන් දී තිබෙනවා. දස දාන වස්තුවේ පස්වැනි කරුණයි.

ඊළඟට දන් දී තිබෙනවා, බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථාන, චෛත්‍ය, චෛත්‍ය වටා තිබෙන ආසන, ධර්ම ග්‍රන්ථ තබා ගැනීමට හැකි ස්ථාන වැනි දේ සකස් කර දන් දීම. ඊළඟට චෛත්‍යඝර සාදා දන් දීම. එම ස්ථාන සුවඳවත් කරන සුවඳ දන් දීම. එදා වර්තමානයේ මෙන් නොවෙයි සුවඳ වර්ග ඒ අවස්ථාවේ දී ම සාදා පූජා කිරීම විශේෂයි. ඒවා සකස් කර ගැනීමට අවශ්‍ය සෑම දේ ම මෙන් ම ඒවා තැන්පත් කිරීමට අවශ්‍ය භාජන උන්වහන්සේ දන් දී තිබෙනවා. මේ ආකාරයෙන් සුවඳ වර්ග භික්ෂූන් වහන්සේලාට දන් දෙන්නේ, භාග්‍යවතුන් වහන්සේට, චෛත්‍ය, බෝධිඝර සුවඳ පූජාවෙන් පූජාපවත්වන්න අවශ්‍ය නිසයි.

දස දාන වස්තුවේ ඊළග කාරණාව මේස, ඇඳපුටු ආදියයි. ඇඳ පුටු ආදිය දන් දෙන විට කොන්දට එලන පලසක්, පසතුරුණු, ඇඳට අවශ්‍ය කරන දේ මෙන් ම ඇඳට අවශ්‍ය ආධාරක, පිරිසුදු කරන දේ මෙන් ම ඇඳ පුටුවල හට ගන්නා පුස්, දිලීර, සතුන් හට ගැනීම වළක්වන දේ වෙන ම දන් දී තිබෙනවා.

“ආවාස” පිළිගැන්වීමේ දී ආවාස සකස් කර එයට අවශ්‍ය සෑම දේ ම සකස් කර දන් දීම ඊළඟ කරුණ හැටියට සඳහන් ව ඇත. “පහන් ආලෝකය” දන් දීම දස දාන වස්තුවේ ඊළඟ කරුණයි. පහන්, පහනට අවශ්‍ය තෙල්, තිර ආදිය මෙන් ම, ආලෝක පූජාවට පහනක් පමණක් නොව එනම් ඒ ඒ තැන අදාළ වෙන ම ඒ ඒ ආකාරයේ ආලෝක පූජාවන් සිදු කරනවා.

මේ ආකාරයට දස දාන වස්තූන් ම බෝධිසත්වයන් වහන්සේ පූජා කර තිබෙනවා. “කඨත්ථා, උපචිතප්පා, උස්සන්නත්ථා, විපුලන්ථා යන ආකාර හතරට මෙම පුණ්‍ය කර්මය සිදු කර තිබෙනවා. මේ පින්කම් සිදු කළා කියන්නේ “කඨත්ථා” විශේෂයෙන් ම සිදු කළා. “උපචිතප්පා” දාන පූජාව අධික ලෙස සිදු කළා “උස්සන්නත්ථා” පැතිරෙන ආකාරයට දන් දීම සිදු කළා කියන්නේ “විපුලත්ථා” සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට එක ආත්මයකදීවත් සිදුකර ගැනීමට නොහැකි පින්කම් රාශියක්. අපගේ බෝධිසත්වයන් වහන්සේ සංසාරේ දන් දීමේ දී මේ පින්කම එක වතාවක් පමණක් සීමා කළේ නෑ. ඒ පිළිබඳව ඉහත වචන හතරෙන් මනාව පැහැදිලි වනවා.

උදාහරණයක් ලෙස එක ගල් කැටයක්, ඒක එක ගල් කැටයක් ලෙස හඳුන්වනවා. ගල් කැට දහයක් පමණ ගත් විට එය පළමු ගල්කැටවල වඩා ටිකක් ලොකු ප්‍රමාණයක්. ඊළඟට ගල් කන්දක් සේ විශාලව ගොඩගැසුවොත්, එය දෙවැනි ප්‍රමාණයටත් වඩා විශාල ප්‍රමාණයක්. ඊළඟට ඒ ගල් කන්ද වගේ කඳු සියයක් පමණ වටේට පැතිරිලා තිබුණේ නම් අපි එය හඳුන්වනවා කඳු යායක් කියා. මෙන්න මේ වගේ තමයි මේ උදාහරණයක් ලෙස ගත් විට බෝධිසත්වයන් වහන්සේ මේ පින්කම සිදු කළා කියන කරුණ ගත්විට, එක ගල් කැටයක් හැටියට හඳුන්වන්න පුළුවණි. ගල් කැට දහයක් විතර ගත්තොත් “උපචිතප්පා” කියන තැනට පැමිණිය හැකියි. කන්දක් සේ යැයි කියන තැනට “උස්සන්නත්ථා” යැයි පැවසිය හැකියි. “විපුලත්ථා” අර කඳු පැතිරීම වගේ සිදු කළා යැයි කියන තැනට පැමිණිය හැකියි.

බෝධිසත්වයන් වහන්සේ මේ පින්කම් කෙලෙස සිදු කළා ද කියන කාරණාවට අට්ඨ කතාවේ උදාහරණයකින් දක්වනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්න සිදු කළ සෑම පින්කමක් ම සංසාරයේ සියලු ම දේ කළා යන්නයි. එනම් “සතපුංච ලක්ෂණයෙන් යුක්තයි. “සතපුංච” ලක්ෂණයෙන් යුක්තයි කියා පවසන්නේ, දෙදෙනෙකු තනි තනිව සාංඝික දාන සියයක් බැගින් දෙනවා. මේ සාංඝික දාන දෙක ම එක ගොඩකට ගැසුවොත් දෙසීයයි. ඒ වගේ අනන්ත සක්වල ගත්විට ලෝක තිස් එකක් වනවා. එක සක්වලක ජීවත්වන්නා වූ සත්වයෝ කොපමණ ද කියා අප දන්නේ නැහැ. අඩුම වශයෙන් අප ජීවත්වන භූමියේ සත්වයන් කොපමණ ජීවත්වෙනවා ද කියා දන්නේ නැහැ. අනන්ත සක්වලයන්හි ජීවත්වන අනන්ත සත්වයෝ එක් කෙනෙක් සාංඝික දාන සියය බැගින් දෙනවා. ඒ දුන් දාන එක ගොඩකට ගත් විට එය අපට හිතා ගන්නවත් බැරි ප්‍රමාණයක්. භාග්‍යවතුන් වහන්සේ සසරේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්න අදාළ සෑම පින්කමක් ම උන්වහන්සේ ඉහත සඳහන් ආකාරයෙන් සිදුකර තිබෙනවා.

මේ පුණ්‍යකර්ම එකක්වත් එක් වතාවක් පමණ සිදු කර නැවතී නැහැ. අර ගොඩවගේ සිය ගුණයක් පූජා කර තියෙනවා. මෙයට හොඳම උදාහරණය වන්නේ “සතපුඤ්ඤ” ලක්ෂණයයි. සසරේ කොපමණ පින්කම් කළා ද කියන දේ මෙයින් හොඳින් පැහැදිලි වනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස වෙසක් පුර අටවක පත්‍රයේ (මැයි 12 )පළවේ.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana[email protected]